15/05/2026
කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මර්ස්ක් (Maersk) සහ වරාය අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක්
ලොව ප්‍රමුඛතම ඒකාබද්ධ නැව් සහ ප්‍රවාහන සේවා සපයන්නෙකු වන මර්ස්ක් (Maersk) සමාගමේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ හමුවක් පසුගියදා කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ කොළඹ වරාය තුළ මර්ස්ක් නෞකා මෙහෙයුම් සහ පර්යන්ත කටයුතුවල ඵලදායීතාව ඉහළ නැංවීමයි.
මෙම සාකච්ඡාව සඳහා මර්ස්ක් සමාගම වෙනුවෙන් එහි ඩුබායි මධ්‍යස්ථානයේ ප්‍රධානී කරන් තාරියාල්, ශ්‍රී ලංකා සහ මාලදිවයින් දේශීය කළමනාකරු බිජු රවී සහ කොළඹ වරාය මෙහෙයුම් ප්‍රධානී තිළිණ පෙරේරා යන මහත්වරුන් සහභාගී වූහ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, උප සභාපති ඉංජිනේරු හේරත් එම්. පී. ජයවර්ධන, කළමනාකාර අධ්‍යක්ෂ ඉංජිනේරු ගානක හේමචන්ද්‍ර සහ අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්) ප්‍රභාත් ජේ. මාලවිගේ යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී නෞකා හැසිරවීමේදී පවතින කාලීන බාධාවන්, නැංගුරම් පොළ සැලසුම් කිරීමේ කාර්යක්ෂමතාව, නියමිත කාලසටහන් පවත්වා ගැනීම සහ ප්‍රතිඅපනයන (Transshipment) සම්බන්ධීකරණය වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු විය. විශේෂයෙන්ම පර්යන්ත අතර සිදුවන බහලුම් ප්‍රවාහන (ITT) මෙහෙයුම්වල වේගය සහ සමස්ත වරාය මෙහෙයුම් ක්‍රියාවලියේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම පිළිබඳව දෙපාර්ශවය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
ඉන්දීය අර්ධද්වීපය, මැදපෙරදිග සහ අප්‍රිකානු කලාපය යා කරන මර්ස්ක් ජාලය තුළ කොළඹ වරාය සතු මූලෝපායික වැදගත්කම මෙහිදී යළිත් තහවුරු විය. දිනෙන් දින ඉහළ යන භාණ්ඩ පරිමාව කළමනාකරණය කරමින්, කලාපීය ප්‍රතිඅපනයන මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට නම්:
පර්යන්ත අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම
කාර්යක්ෂම ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම
බහලුම් හැසිරවීමේ වේගය ඉහළ නැංවීම
යන කරුණු අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.
මිලියන හතරකට අධික බහලුම් (TEU) ධාරිතාවයකින් යුත් ලොව විශාලතම නෞකා බලඇණියකට හිමිකම් කියන මර්ස්ක් සමාගම, ජාත්‍යන්තර නැව් මාර්ග ජාලය තුළ කොළඹ වරාය ප්‍රධානතම සන්ධිස්ථානයක් ලෙස සලකනු ලබයි. මෙම සහයෝගීතාවය හරහා මෙහෙයුම් ශක්තිය ඉහළ නංවා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ කාර්යක්ෂමතාවක් ළඟා කර ගැනීම වරාය අධිකාරියේ අපේක්ෂාවයි.