05/10/2026
2026 ආසියානු ක්රීඩා උළෙල අද ජපානයේදී අවසන් වෙන්නේ ශ්රී ලංකාව එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනාගෙන සමස්ථ පදක්කම් සටහනේ 28 වෙනියා විදිහට අවසන් කරමින්.
ඇත්තටම මේ පදක්කම් සටහන දැක්කම ශ්රී ලාංකිකයෙක් විදිහට මටනම් දැනෙන්නේ සෑහෙන ලැජ්ජාවක් සහ කලකිරීමක්.
2026 ආසියානු ක්රීඩා උළෙලට ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවන් 156 ක් තරග වැදුණා. එතනින් කාන්තා සහ පිරිමි ක්රිකට් හැරුණම ශ්රී ලංකාවට ලැබුණේ රුමේෂ් තරංගගේ රන් පදක්කම විතරයි. ක්රීඩක ක්රීඩිකාවෝ 100 කට වඩා ආපහු හැරිලා එන්නේ හිස් අතින්.
මේ ඔලිම්පික් නෙමෙයි, මේ ලෝක ශූරතාවයන් නෙමෙයි. මේ ආසියානු ක්රීඩා උළෙල. මේ ඇවිල්ලා ආසියාව.
යුද්ධේ මැද්දේ හිටියත් ඉරානය රන් පදක්කම් 19 ක් එක්ක පදක්කම් 52 ක් දිනනවා, ශ්රී ලංකාවට වඩා පොඩි හොංකොං රන් පදක්කම් 11 ක් එක්ක පදක්කම් 54 ක් දිනනවා, අපේ කලුතර දිස්ත්රික්කේ තරම් සයිස් සිංගප්පූරුව 2026 ආසියානු ක්රීඩා උළෙල අවසන් කරන්නේ රන් පදක්කම් 2 ක් එක්ක සමස්ථ පදක්කම් 18 ක් දිනාගෙන.
හරිහමන් රටක්, ආණ්ඩුවක් වත් නැති ඇෆ්ගනිස්තානයත් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනනවා. ඒ පාපැදි සහ වූෂු ක්රීඩා වලින්.
අසල්වැසි ඉන්දියාව රන් පදක්කම් 21 ක් එක්ක සමස්ථ පදක්කම් 85 ක් දිනනවා. ඉන්දියාව මෑත කාලයේ ක්රීඩාව සම්බන්ධයෙන් ගත්ත ක්රියාමාර්ග වල ප්රතිඵලයන් ඇස් පනාපිට පේන්න තියෙනවා.
අපේ කලාපයේ පාකිස්තානය වුණත් රන් පදක්කමක් දිනුවේ නැති වුණාට ක්රීඩා 7 කින් පදක්කම් 10 ක් දිනනවා. ක්රිකට් නැත්තන් ශ්රී ලංකාවට ඉතුරු රුමේෂ්ගේ රන් පදක්කම විතරයි.
රුමේෂ් කියන්නෙත් හරියටම සුසන්තිකා ජයසිංහ වගේ කාලෙකට සැරයක් මේ රටින් බිහිවෙන අසාමාන්යය දක්ෂයෙක්. එහෙම අසාමාන්යය දක්ෂයන් රටවල් වලින් පැටවු ගහන්නේ නෑ. එතකොට අනිත් පදක්කම් වලට යන්න නම් ක්රීඩකයන්ව නිර්මාණය කරන්න වෙනවා. ඒක රටේ ක්රීඩා පද්ධතියේ වගකීමක්.
හැමදාම අපි කියනවා වගේ මේ රටේ ක්රීඩා කරන ළමයින්ට හරියට පහසුකම් නෑ. කන්න කෑම නෑ. ලෝකෙත් එක්ක හැප්පෙන්න තරග කරන්න ගියාම ශරීර ශක්තිය, තාක්ෂණය, මානසිකත්වය මේ හැමදේම ගව් ගණනක් එහා තියෙන්නේ. එහෙම තැනක හැප්පෙන්න බෑ.
ඊළඟට අපිට පදක්කම් දිනන්න පුළුවන් ක්රීඩා මොනවද කියලා හරිහැටි අධ්යනයක් වෙන්නේ නෑ. ලෝකේ යාවත්කාලීන කිරීම් මොනවද කියලා බැලෙන්නේ නෑ. ඉන්දියාව රන් පදක්කම් 5 ක් දිනන්නේ දුනු විදීමෙන්. ඉන්දියාවේ ජාන වලට සමාන ජාන තියෙන ලංකාවේ මිනිස්සුන්ට මේවා ක්රීඩාවක් විදිහට ඉදිරියට වර්ධනය කරන්න බැරිද? ඒක එක උදාහරණයක් විතරයි.
ඊළඟට පාකිස්තානය දිනපු පදක්කම් 10 න් එකක් E sport medal එකක්. ඒ කියන්නේ ගේම් ගහලා දිනපු මෙඩල් එකක්. එහෙම දේවල් වලට ගමනක් තියෙනවා කියලා අඩුම මෙහෙයවීමක් ශ්රී ලංකාවේ තියෙනවද?
ක්රිකට් වලට අපේ අවධානය 95% යි. රග්බි වලට 3% යි. මළල ක්රීඩාවට 1% යි නම් අනිත් හැම ක්රීඩාවකටම තියෙන්නේ 1% යි. ඔන්න ඕක තමයි මේ රටේ ක්රීඩාවේ ඇත්තම තත්ත්වය.
අපි හරි පොඩි රටක්, අනේ අපේ ජනගහනය අඩුයි වගේ බොළඳ කතා තවදුරටත් වලංගු නෑ. ඔලිම්පික් පදක්කම් සටහනක් අරන් බැලුවොත් ශ්රී ලංකාවට වඩා භූමියෙන් පොඩි, ජනගහනය අඩු හැබැයි පදක්කම් මල්ලක් ගෙදර අරන් යන ඕනි තරම් රටවල් ඉන්නවා. ඔලිම්පික් ඕනි නෑ මේ ආසියාව නේ.
මළල ක්රීඩාව ගත්තත් හරි දක්ෂයෝ ඉන්නවා ගෙදර තියලා යන. ඒක වෙන්නේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. සමහර වෙලාවට දක්ෂයෝ ගෙදර. සංගමයට ඕනි අයව අරන් යනවා. ගිහින් ෆ්රී ටුවර් එකක් දාලා එනවා මිසක් රටට ලැබෙන දෙයක් නෑ.
මේ සටහන ලිව්වේ ශ්රී ලාංකිකයෙක් විදිහට සෑහෙන කලකිරීමකින්. ක්රීඩා ගොඩක් එක්ක ඉන්න ප්රේක්ෂකයෙක් විදිහට මට තේරෙන්නේ හැමදාම සහභාගීත්වයෙන් සතුටු වෙලා, අපි ගිය එකත් මදැයි කියලා හිතන තරම් පොඩි ජාතියක් අපි. කවදාවත් ජයග්රහණයක් ගැන ලොකුවට හීන දකින්නේ නෑ.
ක්රීඩා සංගම්, අමාත්යංශ ඔක්කොම රුමේෂ් තරංගගේ රන් පදක්කමෙන් දැන් ගොඩ යනවා. රටේ මිනිස්සුත් ආසියාවත් හරිම ලොකුයි අපි හරි පොඩියි කියලා හිතෙන නිසා ඕවා අමතක කරලා අහක බලාගන්නවා. අඩුම ගානේ ආසියාවත් එක්ක කරට කර හැප්පෙන්න තරම් ක්රීඩකයෝ 10 ක් අපිට නෑ. රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕනි කාරණා මේවා.
ක්රීඩාව ගැන හරි හමන් ප්රතිපත්තිමය ගමනක් (මේක කරන්නන් වාලේ නෙමෙයි, ජාත්යන්තරයත් එක්ක ගැලපෙන ගමනක්) නැති තාක් හැමදාම ඔච්චරයි.
T h o r a Q u o t e s 🖤