19/08/2026
පැලවත්ත – නෙළුව මාර්ගයේ බස් සේවක ආරවුලකින් කොන්දොස්තර මහතා රෝහලේ !
පැලවත්ත – නෙළුව මාර්ගයේ බස් රථ සේවකයින් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කොන්දොස්තරවරයෙකුට අතින්, පයින් සහ පොලුවලින් පහරදී බරපතල තුවාල සිදුකළ බවට තිනියාවල පොලිසිය පවසයි.
පහරකෑමට ලක්ව ඇත්තේ පැලවත්ත, ගොරකදූව, 01 කණුව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඔහු මීගහතැන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, පසුගිය 16 වැනිදා සවස 4.30ට පමණ පැලවත්ත – නෙළුව මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇත.
තිනියාවල 07 කණුව ප්‍රදේශයේ පැවැති සාදයකට සහභාගී වී තවත් දෙදෙනෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, ත්‍රීරෝද රථයකින් පැමිණි බස් රථ හිමිකරුවෙකු ඇතුළු තිදෙනෙකු මාර්ගය හරස් කර යතුරුපැදිය නවතා මෙම පහරදීම සිදුකර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
පහරදීම හේතුවෙන් තුවාලකරුට විවිධ ආබාධ සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
තිනියාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් සුරංග රණවීර මහතාගේ මෙහෙයවීම යටතේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
පුවත් මූලාශ්‍රය - Bentota Puwath - බෙන්තොට පුවත්