17/07/2026
කිතුලහේන වසමට නව සේවා පියසක්..
===============
සේවාදායකයින් හට රාජ්‍ය නිලධාරීන්ගේ සේවාව එකම වහළක් යටදී සිදුකර ගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දීම හා ප්‍රජාවගේ යටිතල පහසුකම් නංවාළීමේ අරමුණින්, රජයේ හා පරිත්‍යාග ශීලීන්ගේ දායකත්වය ඇතිව Clean Sri Lanka වැඩසටහන යටතේ 2025.09.18 වන දින මුල්ගල් තබා අභිනවයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලද කිතුලහේන නව සේවා පියස ගොඩනැගිල්ල 2026.06.24 වන දින සුබ මොහොතින් විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදී.
ඕමත්තගේ ආරියදාස මහතා ඇතුළු ඔහුගේ සහෝදරයින්ට හා ඥාතීත්වයට අයත් ඉඩම කිතුලහේන අවමංගල්‍යාධාර හා සුභසාධන සමිතියට පවරන ලදුව නැවත එම සමිතිය විසින් රජයට පරිත්‍යාග කිරීමෙන් පසු එම භූමියේ ඉදි කෙරුණු මෙම ගොඩනැගිල්ල, දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ අනුමැතියට යටත්ව ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් රජයේ මුදල් ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 43 ක වියදමක් දරා ප්‍රජා දායකත්වය සමග රුපියල් ලක්ෂ 60 ක පමණ වටිනාකමකින් යුක්ත නිමි ව්‍යාපෘතියක් බවට පත් කිරීමට හැකියාව ලැබිණි.
අභිනවයෙන් ඉදිකරන ලද නව සේවා පියස විවෘත කිරීමේ උත්සවය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මැතිතුමා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක මැතිතුමා, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී ප්‍රියංකා දමයන්ති මැතිනිය හා ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුඛිත් හපුආරච්චි මැතිතුමා ඇතුලු මහජන නියෝජිතයින් ද,
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝෂනි දිසානායක, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර , හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, සහකාර ප්‍රාදේශීය ලේකම් චමල් ඩී. තේනුවර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රමසම්පාදන නිලංකා සම්පත් හා පරිපාලන ග්‍රාම නිලධාරී වින්ද්‍යා ලක්ෂිතා යන මහත්ම මහත්මීන් ඇතුලු වසමට අනුයුක්ත රාජ්‍ය නිලධාරීන් සමග තවත් රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව ' නව සේවා පියස ඉදිකිරීම් කමිටුව' විසින් මෙම ව්‍යාපෘතියෙහි මුල්‍ය කටයුතු කළමනාකරණය සිදු කළ අතර,
කිතුලහේන වසමට අනුයුක්ත සියලු රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභාව, Clean Sri Lanka කමිටුව, ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතිය, ග්‍රාම සංවර්ධන සමිතිය, කොට්ඨාස සභාව, සමෘද්ධි සමිතිය, ගොවි සංවිධානය ඇතුලු ස්වේච්ඡා සමිති/සංවිධාන මෙම කාර්යය සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබා දෙන ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මෙම කටයුත්තට අදාළ සියලු සම්බන්ධීකරණයන් හා සංවිධාන කටයුතු වසමට අනුයුක්ත ප්‍රජා සංවර්ධන නිලධාරී ඩබ්.ඩබ්.එල්.පෙරේරා මහතා සහ ග්‍රාම නිලධාරී ඩබ්. ඒ. ආර්. කුමාර මහතා විසින් සිදු කරන ලදී.