26/08/2026
පින්බර නිකිණි පුන් පොහෝ දිනයක් වේවා! 🤍☸️
“චරං චේ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනෝ
ඒකචරියං දළ්හං කයිරා - නත්ථි බාලේ සහායතා”
"කල්‍යාණ මිත්‍රයෙකු සොයන්නා හට තමාට වඩා ගුණයෙන් උසස් අයෙකු හෝ සමාන අයෙකු නොලැබෙන්නේ නම් තනිව විසීමට අදිටන් කරගත යුතුය. ඒ ගුණවතාගෙන් ලැබෙන සහාය බාලයාගෙන් නොලැබෙන නිසාවෙනි."
(ධම්ම පදය - බාල වග්ගය)
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් පර්යාප්ති ධර්මය සුරක්ෂිත කිරීමේ මූලාරම්භය සනිටුහන් කළ උතුම් නිකිණි පුන් පොහෝ දිනය අදයි.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ගත වූ තැන, අජාසත්ත රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණී ගුහා ද්වාරයේදී පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ අදවන් උතුම් පොහෝ දිනකය.
එමෙන්ම ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන් සිව් ඉරියව්වෙන් තොරව උතුම් අරහත් ඵලයට පත්වීමත්, රාහුල තෙරණුවන් බුදුරදුන් දේශනා කළ රාහුලෝවාද සූත්‍රය අසා රහත්භාවයට පත්වීමත් නිකිණි පුන් පොහෝ දිනය හා බැඳුණු තවත් ශාසනික සන්ධිස්ථාන වේ.
ඇසළ පොහොයට පෙරවස් විසීමට නොහැකි වූ මහා සංඝරත්නය පසුවස් සමාදන් වීම මෙන්ම, ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහර වීදි සංචාරය කරමින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන උසස් පුද පූජා නිමාවට පත්වන්නේද නිකිණි පොහොය කේන්ද්‍ර කරගනිමිනි.
සැමට මෙලොව පරලොව සෙත සලසන, ධර්ම ඥානය හා සැනසීම උදාකරන පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!
🪷🪷🪷🪷🪷🪷🪷
--------------------
🔰 රචනය - දමිත් දර්ශන බණ්ඩාර
🔰 ග්‍රැෆික් නිර්මාණය - පවිත් මින්දක (දෙවන වසර)
--------------------
බෞද්ධ සංගමය,
තාක්ෂණ පීඨය,
කොළඹ විශ්වවිද්යාලය.