23/08/2026
ඵලදායිතාවය හරි තැනින් – 08 වන කොටස
අපි රාජ්‍ය සේවකයෝ... අපි ඉතිරි කර යන්නේ මොනවාද?
පසුගිය වසර කිහිපයේම රජයේ සේවකයන් විදියට හෝ නැතිව ප්‍රජාව කේන්ද්‍ර කරගත් ගම්මාන සංවර්ධන වැඩසටන් සමග ඔබත් මමත් සම්බන්ධ වුණු අවස්ථාව ඕනෑ තරම් තියෙනවා වෙන්න පුළුවන්.
එහිදී ගම්මාන ගැන කතා කළා.
ගමේ මිනිසුන් ගැන කතා කළා.
ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන කතා කළා.
ඔවුන්ගේ ආදායම් ගැන කතා කළා.
ඔවුන්ගේ අනාගතය ගැන කතා කළා.
ඔවුන්ගේ සදාචාරය, සංස්කෘතිය ගැන කතා කළා..
අපි මේ තරම් කාලයක් ජනතාව වෙනුවෙන් වැඩසටහන් කළා. ව්‍යාපෘති කළා. මුදල් වියදම් කළා. නිලධාරීන්ගේ කාලය, බුද්ධිය සහ ශ්‍රමය යෙදෙව්වා.
ඒ සියල්ලට සාපේක්ෂව අපි ඇත්තටම ඉතිරි කරලා තියෙන්නේ මොනවාද?
අපි නිදහස ලබාගෙන දශක ගණනාවක් ගතවෙලා.
මේ කාලය තුළ අපේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් විවිධාකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා.
ගෙවතු වගා වැඩසටහන්.
ස්වයං රැකියා වැඩසටහන්.
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්.
ගම්මාන සංවර්ධන ව්‍යාපෘති.
පුහුණු වැඩසටහන්.
උපකරණ බෙදාදීම්. වගේ බොහෝ කාර්යයන්..
මේ සියල්ලටම රාජ්‍ය මුදල් වැය වුණා.
රාජ්‍ය නිලධාරීන්ගේ කාලය වැය වුණා.
ඔවුන්ගේ බුද්ධිය සහ ශ්‍රමය වැය වුණා.
ප්‍රජාවේ කාලයත් වැය වුණා.
සමහර ව්‍යාපෘති සාර්ථක වුණා.
සමහර ව්‍යාපෘති කාලයක් හොඳින් ක්‍රියාත්මක වුණා.
සමහර ව්‍යාපෘති කාලයත් සමඟ අතුරුදහන් වුණා.
ඒ නිසා අද අපි අපෙන්ම අහන්න ඕනේ...
අපි යොදවපු සම්පත්වලට සාපේක්ෂව, අපිට ලැබුණු තිරසාර ප්‍රතිඵලය ප්‍රමාණවත්ද?
රටක් ආර්ථිකමය අතින් වෙනස් වෙමින් තිබෙන මොහොතකත් අපි මේ සාම්ප්‍රදායික රටවටම ක්‍රියාත්මක වීම ප්‍රමාණවත්ද?
අද ශ්‍රී ලංකාව ඉන්නේ තවත් වැදගත් හැරවුම් ලක්ෂයක.
2022 ආර්ථික අර්බුදයෙන් පසුව රට ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් හරහා ගමන් කරමින් සිටිනවා.
IMF වැඩසටහන යටතේ ණය තිරසාරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ආර්ථික ස්ථාවරත්වය සහ විදේශ සංචිත නැවත ගොඩනැගීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5%කින් වර්ධනය වී තිබෙනවා.
2025 අවසානයේ රටේ දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.84ක් පමණ වුණා.
දැනට පවතින IMF ඇස්තමේන්තු අනුව එය,
2026 – ඩොලර් බිලියන 8.65ක්
2027 – ඩොලර් බිලියන 11.78ක්
2028 – ඩොලර් බිලියන 13.94ක්
දක්වා ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබෙනවා.
මේවා අනාගතයට අදාළ ඇස්තමේන්තු මිස සහතික කළ ප්‍රතිඵල නොවන බවත් අපි මතක තබා ගත යුතුයි.
ඒත්...
මෙතැන තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.
2028 වන විට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 14කට ආසන්න වුණොත්...
ඒ ආර්ථික ශක්තිය ගමේ ඉන්න මිනිසුන්ගේ ජීවිත පරිවර්තනයකට කොපමණ බලපෑමක් සිදු කරයිද?
රටේ සංචිත වැඩිවීම අවශ්‍යයි.
ආර්ථික ස්ථාවරත්වය අවශ්‍යයි.
ණය තිරසාරත්වය අවශ්‍යයි.
ඒවා නැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
නමුත්...
ඒවා අවසාන ඉලක්කය නෙවෙයි.
අවසානයේ අපිට අවශ්‍ය,
වැඩි ආදායමක් උපයන මිනිසුන්.
වැඩි ඵලදායිතාවක් ඇති ව්‍යාපාර.
වැඩි රැකියා අවස්ථා.
වැඩි ආර්ථික වටිනාකමක් නිර්මාණය කරන ගම්මාන.
වැඩි අපනයන.
වඩා හොඳ ජීවන තත්ත්වයක්.
මොකද රටේ ආර්ථිකය වර්ධනය වුණත්, ඒ වර්ධනය සාමාන්‍ය පවුලේ ජීවිතයට පරිවර්තනයක් ලෙස ළගා වෙන්නේ එතකොටයි..
එහෙම නොවුණොත්...
අපේ කතාව තවම සම්පූර්ණ නැහැ.
එහෙනම් අපි ගම ගැන නැවත හිතමු
අපි ගමකට යනවා.
“ගෙවත්තක් හදමු” කියනවා.
එළවළු වගා කරනවා.
පලා වගා කරනවා.
පලතුරු වගා කරනවා.
තවත් ගෙදරක කෙනෙක් මහන මැෂිමකින් ඇඳුම් මහනවා.
අත්කම් නිර්මාණ කරනවා,
සත්ව පාලනය සිදු කරනවා.
තවත් කෙනෙක් කෑම හදනවා.
තවත් කෙනෙක් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා.
මේ හැම දෙයක්ම ගමක ජීවන තත්වය වර්ධනය වෙනුවෙන් හොඳ වැඩ.
ඒවායේ අගය කිසිසේත්ම අඩු කරලා බලන්න බැහැ.
හැබැයි අපි බොහෝ කාලයක් තිස්සේ මේ වගේ වැඩ හරහා ගම්මාන වල ජීවන තත්වය ඉහළ නංවන්න උත්සාහ කරලා තියෙනවා..
අපිට පුලුවන්නම් මේ පුංචි පුංචි වැඩ එකිනෙකට සම්බන්ධ කරලා, ගමක විශාල ආර්ථික ක්‍රියාකාරකමක් නිර්මාණය කරන්න,
එතැනදී අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න නිර්මාණශීලිව, ඵලදායිව වෙනස් වෙන්න උත්සාහ කරලා තියෙනවා..
ගමේ කෙනෙක් මිරිස් වගා කරනවා.
තවත් කෙනෙක් එළවළු වගා කරනවා.
තවත් කෙනෙක් පලතුරු වගා කරනවා.
තවත් කෙනෙක් ඒවා සැකසීම දන්නවා.
තවත් කෙනෙක් ඇසුරුම් කරන්න දන්නවා.
තවත් කෙනෙක් online marketing දන්නවා.
තවත් කෙනෙක් ප්‍රවාහනය කරනවා.
මේ හැමෝම එකට සම්බන්ධ කළොත්?
එතකොට අපිට ලැබෙන්නේ ගෙවතු කිහිපයක් නෙවෙයි.
වටිනාකම් දාමයක්.
වගාව → එකතු කිරීම → සැකසීම → ඇසුරුම් කිරීම → වෙළඳපොළ → සන්නාමය → විශාල වෙළඳපොළ
එතකොට ගමක් කියන්නේ,
උදව් බලාගෙන සිටින පිරිසක් සිටින තැනක් විතරක් නෙවෙයි.
නිෂ්පාදනය කරන, වටිනාකමක් නිර්මාණය කරන, ආදායම උපයන ආර්ථික ඒකකයක්.
දකුණු කොරියාවේ ග්‍රාමීය සංවර්ධනය ගැන කතා කරන විට Saemaul Undong හෙවත් “New Village Movement” ගැන අපිට අහන්න ලැබෙනවා.
එහිදී ගම්මානවල යටිතල පහසුකම්, ජීවන තත්ත්වය, කෘෂිකාර්මික ඵලදායිතාව සහ ආදායම් උත්පාදනය වර්ධනය කිරීමට උත්සාහ කළා.
නමුත් කොරියාවේ සම්පූර්ණ ආර්ථික පරිවර්තනය සිදුවුණේ ඒ එක වැඩසටහනකින් පමණක් නොවෙයි.
කාර්මිකකරණය.
අපනයන.
තාක්ෂණය.
ආයෝජන.
මානව සම්පත් සංවර්ධනය.
මේ සියල්ල එකට ගමන් කළා.
ඒ නිසා අපි කොරියාවෙන් ගන්න ඕන පාඩම,
“කොරියාව වගේ වෙමු හෝ නොවෙමු" කියන දේ නෙවෙයි.
“අපේ ගමේ මිනිස්සු සතුව තියෙන දැනුම, කුසලතාව, ශ්‍රමය සහ සම්පත් රටේ ආර්ථික වටිනාකමක් බවට පත් කරන්නේ කොහොමද?”
මෙතැනදී රාජ්‍ය සේවකයාගේ භූමිකාව ඵලදායී ලෙස වෙනස් වෙන්න අවශ්‍යයි.
අපි මහජන සේවකයෝ.
අපේ රාජකාරිය ප්‍රතිපාදන අවසන් කිරීම විතරක් නෙවෙයි.
ව්‍යාපෘතියක් අවසන් කිරීම විතරක් නෙවෙයි.
පුහුණුවක් පැවැත්වීම විතරක් නෙවෙයි.
වාර්තාවක් සකස් කිරීම විතරක් නෙවෙයි.
ඒ සියල්ල අපේ රාජකාරියේ කොටස්.
නමුත් ඒවා අවසානය නොවෙයි.
අපි මිනිසුන් සමඟ වැඩ කරන විට,
“මම මේ රාජකාරිය කළාද?”
කියන ප්‍රශ්නයෙන් එහාට ගිහින්,
“මම කළ වැඩෙන් මේ මිනිසාගේ ජීවිතයට මොන වගේ වෙනසක් වුණාද?”
කියලා අහන්න පටන් ගන්න ඕන.
ඊළඟට,
“මේ වෙනස තවත් පවුල් 100කට ගෙන යන්න පුළුවන්ද?”
ඊටත් එහාට,
“අපි නැති වුණත් මේ වෙනස ඉදිරියට ගෙන යන්න පුළුවන් පද්ධතියක් හදන්න පුළුවන්ද?”
කියලා අහන්න ඕන.
මෙන්න මෙතැන තමයි රාජ්‍ය සේවයේ Productivity mindset එක, පටන් ගන්නේ.
රාජ්‍ය සේවකයෙක් අවංක වෙන්න ඕන.
මිනිසුන්ට ආදරයෙන් කතා කරන්න ඕන.
ඔවුන්ගේ දුක තේරුම් ගන්න ඕන.
ඔවුන්ගේ කඳුළක් දැකලා සංවේදී වෙන්න ඕන.
ඒත්...
හොඳ හදවතක් තිබුණාට විතරක් පරණ ක්‍රමයකින් අලුත් ප්‍රතිඵලයක් ගන්න බැහැ.
ඒ නිසා අපට අවශ්‍යයි,
අවංකභාවය + මනුෂ්‍යත්වය + වෘත්තීයභාවය + ඵලදායිතාවය + නව්‍යකරණය
යන සියල්ල එකට.
එතකොට රාජ්‍ය සේවය කියන්නේ මිනිසුන්ට “සේවයක් ලබාදෙන” ක්‍රමයක් විතරක් නොවෙයි.
මිනිසුන්ගේ හැකියාවන් අවදි කරලා, ඔවුන්ගේ ජීවිත වෙනස් කරන ක්‍රියාවලියක් බව ඔප්පු වෙන්න පටන් ගන්නවා.
අපි හැමෝම කවදාහරි විශ්‍රාම යනවා
එදාට...
අපේ තනතුර අපිට නැහැ.
අපේ කාර්යාල කාමරය අපිට නැහැ.
අපේ පුටුව වෙන කෙනෙකුට ලැබෙනවා.
අපේ files වෙන කෙනෙකුගේ මේසයට යනවා.
ඒත්...
අපි මිනිසුන් වෙනුවෙන් කළ දේවල් අපිත් එක්ක තියෙනවා.
අපි නිසා කෙනෙකුගේ ආදායම වැඩි වුණාද?
අපි නිසා කෙනෙකුට රැකියාවක් ලැබුණාද?
අපි නිසා කෙනෙකුගේ පුංචි ව්‍යාපාරයක් විශාල වුණාද?
අපි නිසා ගමක නිෂ්පාදනයකට වෙළඳපොළක් ලැබුණාද?
අපි නිසා කෙනෙකුගේ දරුවෙකුට හොඳ අනාගතයක් ලැබුණාද?
අපි නිසා ගමක් තමන්ගේ පාද මත නැගී සිටියාද?
එදා මේ ප්‍රශ්නවලට...
“ඔව්”
කියන්න පුළුවන් නම්...
අපි රාජ්‍ය සේවයේ ගත කළ වසර ගණන නිකම්ම ගතවෙලා නැහැ.
රටේ ඩොලර් සංචිත වැඩිවීම ආර්ථික ස්ථාවරත්වයේ ලකුණක් විය හැකියි.
නමුත් ගමේ මිනිසාගේ ආදායම, ඵලදායිතාවය සහ ජීවන තත්ත්වය ඉහළ යාමයි ඒ ස්ථාවරත්වයේ සැබෑ අර්ථය.
ව්‍යාපෘතියක් අවසන් කිරීම අපේ ජයග්‍රහණය නොවේ.
අපි නැති වුණත් ඉදිරියට යන වෙනසක් නිර්මාණය කිරීමයි සැබෑ ජයග්‍රහණය.
අපි රාජ්‍ය සේවයට පැමිණියේ රැකියාවක් කරන්න විතරක් නම්, එක් දවසක අපි විශ්‍රාම යනවා.
නමුත් මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න පැමිණියා නම්, අපේ සේවය අපි විශ්‍රාම ගිය දවසින් අවසන් වෙන්නේ නැහැ.
ඵලදායිතාවය පටන් ගන්න හරි තැන ක්‍රියාවලිය විය හැකියි.,
නමුත් රටක් වෙනස් කරන්නේ ඒ ක්‍රියාවලිය පිටුපස සිටින මිනිසාගේ ඵලදායි මනසයි.
සටහන — අමිල අතුකෝරල