Divisional Secretariat Office Ibbagamuwa - Media Unit

Divisional Secretariat Office Ibbagamuwa - Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Office Ibbagamuwa - Media Unit, Government Official, Divisional Secretariat Office Ibbagamuwa, Ibbagamuwa.

මහජන සේවය පිණිසයි රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවය සැපයීම, සම්පත් සම්බන්ධීකරණය කරමින් කාර්යක්ෂම, නිවරැදි හා තිරසාර සැලසුම්සහගත ක්‍රියාවලියක් තුළින් ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින මහජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඊට සේවය කිරීමයි

2026.08.25 වන අද දින දී උපන්දිනය සමරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නතාලි මහත්මිය වෙත පරිපාලන නිලධාරී  සහ පරිප...
25/08/2026

2026.08.25 වන අද දින දී උපන්දිනය සමරන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නතාලි මහත්මිය වෙත පරිපාලන නිලධාරී සහ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන් ඇතුළු කාර්යාලයීය නිලධාරීන්ගේ සුභ පැතුම් එක්කළ අවස්ථාව....

2026.08.22 වන අද දින දී උපන්දිනය සැමරූ  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ සොනාලි මහත්මිය වෙත සහකාර ප්‍රාදේශීය ලේකම...
24/08/2026

2026.08.22 වන අද දින දී උපන්දිනය සැමරූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ සොනාලි මහත්මිය වෙත සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය සහ පරිපාලන නිලධාරී ඇතුළු කාර්යාලයීය නිලධාරීන්ගේ සුභ පැතුම් එක්කළ අවස්ථාව....

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 10 වන කොටස

විසදුම ආරම්භ කළ යුත්තේ ගැටලුව පේන තැනින්ද? ගැටලුව උපදින තැනින්ද?

මේ අපගේ “ඵලදායිතාවය හරි තැනින්” ලිපි මාලාවේ 10 වන කොටසයි.

මුලින්ම, මේ ලිපි මාලාව සමඟ මෙතෙක් එකතු වී සිටින ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පළ කිරීම යුතුකමක් ලෙස සලකමි.

මෙම ලිපි මාලාවේ බොහොමයක් ලිපි නැරඹුම් වාර 15,000 පවා ඉක්මවා යාම, මට ලැබුණු දැවැන්ත ශක්තියක්. ඒ වගේම ඵලදායිතාවය පිළිබඳ ඔබ තුළ ඇති උනන්දුවේ වටිනා සාක්ෂියක්. සමහර ආයතන වල දැන්වීම් පුවරු වල පවා මෙම ලිපි මාලාව ප්‍රදර්ශනය කරන බව ද පාඨක ඔබ විසින් මා වෙත දන්වා තිබිණ.

ඒ නිසාම අද 10 වන කොටසින් අපි ඉතා වැදගත් කරුණක් ගැන කතා කරමු.

**අපි ගැටලුව විසඳනවාද?

නැත්නම් ගැටලුවේ බලපෑම් විසඳනවාද?**

අපි හැමෝටම මේ අත්දැකීම තියෙනවා.

කාර්යාලයක ලිපිගොනු ගොඩ ගැහෙනවා.

විසඳුමක් ලෙස...

තවත් සේවකයෙක් රාජකාරිය ඉටු කරන්න වැඩට ගන්නවා.
තව ලිපිගොනු අල්මරි අරන් ලිපි ගොණු තැන්පත් කරනවා.

ඒත් මොහොතකට නතර වෙලා අහලා තියෙනවාද?

ඇයි මේ ලිපිගොනු මෙතරම් එකතු වෙන්නේ?

ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස දිගුද?

එකම තොරතුර කිහිප වතාවක් ලියනවාද?

අනුමැතිය ලබාගැනීමට අනවශ්‍ය පියවර තිබෙනවාද?

එහෙම නම් අපි විසදුම් ගත්තේ ගැටලුවට නොවෙයි.

ගැටලුවේ ප්‍රතිඵල වලට.

හිතන්න...

පාසලක දරුවන්ගේ විභාග ප්‍රතිඵල අඩුයි.

අපි අමතර පන්ති පටන් ගන්නවා.

හැබැයි අපි අහලා තියෙනවාද?

දරුවන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

ඉගැන්වීමේ ක්‍රමය ගැළපෙනවාද?

දරුවන්ගේ සැබෑ දුර්වලතාවය මොකක්ද?

අපි සැබෑ ගැටලුව හඳුනාගෙනද විසඳුම තෝරා ගත්තේ?

තවත් තැනක ව්‍යාපාරයක පාරිභෝගිකයන් අඩු වෙනවා.

අපි වෙළඳ දැන්වීම් ක්‍රම වැඩි කරනවා.

නමුත්...

පාරිභෝගිකයා එන්නේ නැත්තේ ඇයි?

මිල නිසාද?

ගුණාත්මකභාවය අඩු නිසාද?

සේවාව නිසාද?

පාරිභෝගික අත්දැකීම ඍණාත්මක නිසාද?

අපි ඒක හොයලා බැලුවාද?

මේක කාර්යාලයකට විතරක් අදාළ දෙයක් නෙවෙයි.

කර්මාන්ත ශාලාවකටත් අදාළයි.

ව්‍යාපාරයකටත් අදාළයි.

පාසලකටත් අදාළයි.

රෝහලකටත් අදාළයි.

රාජ්‍ය සේවයටත් අදාළයි.

ගමක ව්‍යාපෘතියකටත් අදාළයි.

අපේ පෞද්ගලික ජීවිතයටත් අදාළයි.

අපි බොහෝ වෙලාවට ප්‍රශ්නයක් දැක්ක ගමන් විසඳුමකට දුවනවා.

නමුත් ඵලදායී චින්තනය කියන්නේ...

නතර වීම.
බැලීම.
ඇසීම.
දත්ත විශ්ලේෂණය සිදු කර බැලීම.
හේතුව හඳුනා ගැනීම.
ඊට පස්සේ විසඳුම තෝරා ගැනීම.

එහෙනම් අපි මොකක්ද කරන්න ඕනේ?

ඊළඟ වතාවේ ප්‍රශ්නයක් දැක්කම, ඉක්මනින්ම “මොකක්ද විසඳුම?” කියලා අහන්න කලින්,

මේ ප්‍රශ්න ටික අහමු.

🔹 ඇත්තටම සිදුවෙන්නේ මොකක්ද?

🔹 මේ තත්ත්වයට හේතුව මොකක්ද?

🔹 මේ ගැටලුවෙන් බලපෑමට ලක්වෙන්නේ කවුද?

🔹 අපි මේක විසඳන්න කලින් ප්‍රමාණවත් තොරතුරු ලබා ගත්තාද?

🔹 අපි තෝරාගන්න විසඳුම ගැටලුවේ මූලයට යනවාද?

මෙතැනින් පස්සේ ගන්න තීරණය වෙනස් වෙන්න පුළුවන්.

මතක තබා ගනිමු...

පෙනෙන ගැටලුව විසඳීම පහසුයි.
නමුත් සැබෑ ගැටලුව හඳුනාගැනීමයි වැදගත්.

ගසක කොළ කහ වෙනවා නම්, කහ පාට වෙන කොළ කඩා ඉවත් කළාට ගස නිරෝගී වෙන්නේ නැහැ..සමහර විට ගස රෝගයෙන් මිය යන්නත් පුළුවන්. ඒ නිසා

මෙහෙම වෙන්න මුල හේතුව මොකක්ද කියලා බලන්න ඕන.

ඵලදායිතාවයත් ඒ වගේ.

ප්‍රතිඵලය වෙනස් කරන්න කලින්,
එයට බලපෑ හේතුව වෙනස් කරන්න.

අපි විසඳුම් සොයන මිනිසුන් වෙමු.

නමුත් ඊට කලින්...

නිවැරදිව ගැටලුව සොයන මිනිසුන් වෙමු.

ඵලදායිතාවය හරි තැනින්...

**“ගැටලුවෙන් ඇතිවූ ප්රතිඵල නොව,

ගැටලුව තියෙන තැනින් පටන් ගනිමු.”**

සටහන – අමිල අතුකෝරාල
Amila Prabath Athukorala

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 09 වන කොටස

අලුත් දෙයක් කළා කියලා... නව්‍යකරණය සිදු වෙනවාද?

අපි බොහෝ වෙලාවට අලුත් දේවල් කරන්න හරි කැමතියි.
අලුත් Machine එකක් ගන්නවා.
අලුත් Software එකක් දානවා.
අලුත් ක්‍රමයක් හඳුන්වා දෙනවා.
අලුත් වැඩසටහනක් පටන් ගන්නවා.

ඒත්...

ඒකෙන් අපේ වැඩේ ඇත්තටම ඵලදායීව නවයකරණය වුණාද?

මෙන්න මෙතැන තමයි අපි ටිකක් නතර වෙලා බලන්න ඕනේ.
නව්‍යකරණය කියන්නේ මොකක්ද?
සරලව කිව්වොත්,
තිබෙන ගැටලුවක් පෙරට වඩා හොඳින් විසඳන්න අලුත් හෝ වඩා හොඳ ක්‍රමයක් සොයාගෙන ක්‍රියාත්මක කිරීම තමයි නව්‍යකරණය.

ඒ නිසා අලුත් දෙයක් කළා කියලා එපමණකින් ක්‍රිවලිය නව්‍යකරණය වෙන්නේ නැහැ.
ප්‍රතිඵලය වෙනස් වෙන්න ඕන.
අපි පුංචි උදාහරණයක් බලමු.

බේකරියක දවසකට පාන් 1,000ක් නිෂ්පාදනය කරනවා.
අලුත් Machine එකක් අරන් නිෂ්පාදන කාර්යයට එකතු කළා.
ඒත් නිෂ්පාදනය තවමත් 1,000යි.
වියදමත් වැඩියි.
නාස්තියත් අඩු වෙලා නැහැ.
එහෙනම්...
අපි අලුත් Machine එකක් ගත්තා.
හැබැයි,
අපි නව්‍යකරණය සිදු කළාද?

දැන් හිතන්න...

එම Machine එකත්, වැඩ කරන ක්‍රමයේ වෙනස්කම් කිහිපයකුත් එක්ක,
පාන් 1,000 වෙනුවට 1,300ක් නිෂ්පාදනය කරනවා.
නාස්තිය අඩු වෙනවා.
කාලය ඉතිරි වෙනවා.
ගුණාත්මකභාවය වැඩි වෙනවා.
පාරිභෝගිකයාත් වඩා සතුටු වෙනවා.
අන්න එතැන නව්‍යකරණයක් තියෙනවා.

එතකොට ඵලදායීතාවය කොහොමද නාවකරණය එක්ක සම්බන්ධ වෙන්නේ?

මෙතැනදී නව්‍යකරණය හා ඵලදායිතව අතර සම්බන්ධය පැහැදිලි කර ගන්න පුළුවන්.
නව්‍යකරණය
→ වඩා හොඳ ක්‍රමයක් සොයාගැනීම.

ඵලදායීතාවය
→ ඒ වඩා හොඳ ක්‍රමයෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගැනීම.

ඒ නිසා,
නව්‍යකරණය වෙනස ඇති කරනවා.
ඵලදායීතාවය ඒ වෙනසෙහි ප්‍රතිඵලයේ වර්ධනය නිර්මාණය කර පෙන්වනවා.

මේක කර්මාන්තයකට විතරක් නෙවෙයි.
රෝහලකටත් පුළුවන්.
හෝටලයකටත් පුළුවන්.
පාසලකටත් පුළුවන්.
කාර්යාලයකටත් පුළුවන්.
කුඩා ව්‍යාපාරයකටත් පුළුවන්.
ගමක ප්‍රජා වැඩසටහනකටත් පුළුවන්.

මේ ඕනෑම තැනක අපට එකම ප්‍රශ්නය අහන්න පුළුවන්.
“අපි ඊයේට වඩා අද මේ වැඩේ හොඳින් කරනවාද?”

ඒක තමයි වැදගත්.

ක්‍රියාවලියක් තුළට ක්‍රියාවලියේ වැඩි දියුණුවට හේතු නොවන අලුත් දෙයක් එකතු කරන එකට වඩා...

අනවශ්‍ය වැඩ පියවරක් ඉවත් කිරීමත් නව්‍යකරණයක්.

වැඩ පියවරකට යන කාලය අඩු කිරීමත් නව්‍යකරණයක්.

නාස්තිය අඩු කිරීමත් නව්‍යකරණයක්.

ගුණාත්මකභාවය වැඩි කිරීමත් නව්‍යකරණයක්.

පාරිභෝගිකයාට වැඩේ පහසු කිරීමත් නව්‍යකරණයක්.

වැඩ කරන කෘවලිය තවත් වැඩි දියුණු කිරීමයි වැදගත්.

ඒ නිසා අපිට නව්‍යකරණය ගැන හිතනකොට,
“අපිට අලුතින් මොනවද කරන්න පුළුවන්?”
කියන ප්‍රශ්නයට වඩා,

“අපි දැන් කරන වැඩේ මීට වඩා හොඳින් කරන්න පුළුවන් කොහොමද?”
කියන ප්‍රශ්නය අහන්න පුරුදු වෙමු.

එතැනින් තමයි නව්‍යකරණය ආරම්භ වෙන්නේ.
ඒ නව්‍යකරණය නිවැරදිව ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල මැනලා, නැවත නැවත වැඩිදියුණු කළාම...
ඵලදායීතාවය ඉහළ යනවා.

“නව්‍යකරණය කියන්නේ අලුත් දෙයක් කිරීමම විතරක් නොවෙයි.
ඊයේ කළ දේ අද තවත් හොඳින් කිරීමයි.”

ඵලදායිතාවය හරි තැනින්...

අලුත් දේ සොයන්න කලින්,
තියෙන දේ තවත් හොඳින් කරන්න බලමු.
– අමිල අතුකෝරාල

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 08 වන කොටස

අපි රාජ්‍ය සේවකයෝ... අපි ඉතිරි කර යන්නේ මොනවාද?

පසුගිය වසර කිහිපයේම රජයේ සේවකයන් විදියට හෝ නැතිව ප්‍රජාව කේන්ද්‍ර කරගත් ගම්මාන සංවර්ධන වැඩසටන් සමග ඔබත් මමත් සම්බන්ධ වුණු අවස්ථාව ඕනෑ තරම් තියෙනවා වෙන්න පුළුවන්.

එහිදී ගම්මාන ගැන කතා කළා.
ගමේ මිනිසුන් ගැන කතා කළා.
ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන කතා කළා.
ඔවුන්ගේ ආදායම් ගැන කතා කළා.
ඔවුන්ගේ අනාගතය ගැන කතා කළා.
ඔවුන්ගේ සදාචාරය, සංස්කෘතිය ගැන කතා කළා..

අපි මේ තරම් කාලයක් ජනතාව වෙනුවෙන් වැඩසටහන් කළා. ව්‍යාපෘති කළා. මුදල් වියදම් කළා. නිලධාරීන්ගේ කාලය, බුද්ධිය සහ ශ්‍රමය යෙදෙව්වා.
ඒ සියල්ලට සාපේක්ෂව අපි ඇත්තටම ඉතිරි කරලා තියෙන්නේ මොනවාද?

අපි නිදහස ලබාගෙන දශක ගණනාවක් ගතවෙලා.
මේ කාලය තුළ අපේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් විවිධාකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා තියෙනවා.
ගෙවතු වගා වැඩසටහන්.
ස්වයං රැකියා වැඩසටහන්.
ජීවනෝපාය සංවර්ධන වැඩසටහන්.
ගම්මාන සංවර්ධන ව්‍යාපෘති.
පුහුණු වැඩසටහන්.
උපකරණ බෙදාදීම්. වගේ බොහෝ කාර්යයන්..

මේ සියල්ලටම රාජ්‍ය මුදල් වැය වුණා.
රාජ්‍ය නිලධාරීන්ගේ කාලය වැය වුණා.
ඔවුන්ගේ බුද්ධිය සහ ශ්‍රමය වැය වුණා.
ප්‍රජාවේ කාලයත් වැය වුණා.
සමහර ව්‍යාපෘති සාර්ථක වුණා.
සමහර ව්‍යාපෘති කාලයක් හොඳින් ක්‍රියාත්මක වුණා.
සමහර ව්‍යාපෘති කාලයත් සමඟ අතුරුදහන් වුණා.

ඒ නිසා අද අපි අපෙන්ම අහන්න ඕනේ...

අපි යොදවපු සම්පත්වලට සාපේක්ෂව, අපිට ලැබුණු තිරසාර ප්‍රතිඵලය ප්‍රමාණවත්ද?

රටක් ආර්ථිකමය අතින් වෙනස් වෙමින් තිබෙන මොහොතකත් අපි මේ සාම්ප්‍රදායික රටවටම ක්‍රියාත්මක වීම ප්‍රමාණවත්ද?

අද ශ්‍රී ලංකාව ඉන්නේ තවත් වැදගත් හැරවුම් ලක්ෂයක.
2022 ආර්ථික අර්බුදයෙන් පසුව රට ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් හරහා ගමන් කරමින් සිටිනවා.
IMF වැඩසටහන යටතේ ණය තිරසාරත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, ආර්ථික ස්ථාවරත්වය සහ විදේශ සංචිත නැවත ගොඩනැගීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5%කින් වර්ධනය වී තිබෙනවා.
2025 අවසානයේ රටේ දළ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 6.84ක් පමණ වුණා.
දැනට පවතින IMF ඇස්තමේන්තු අනුව එය,
2026 – ඩොලර් බිලියන 8.65ක්
2027 – ඩොලර් බිලියන 11.78ක්
2028 – ඩොලර් බිලියන 13.94ක්
දක්වා ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබෙනවා.

මේවා අනාගතයට අදාළ ඇස්තමේන්තු මිස සහතික කළ ප්‍රතිඵල නොවන බවත් අපි මතක තබා ගත යුතුයි.

ඒත්...
මෙතැන තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.
2028 වන විට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 14කට ආසන්න වුණොත්...
ඒ ආර්ථික ශක්තිය ගමේ ඉන්න මිනිසුන්ගේ ජීවිත පරිවර්තනයකට කොපමණ බලපෑමක් සිදු කරයිද?

රටේ සංචිත වැඩිවීම අවශ්‍යයි.
ආර්ථික ස්ථාවරත්වය අවශ්‍යයි.
ණය තිරසාරත්වය අවශ්‍යයි.
ඒවා නැතිව රටකට ඉදිරියට යන්න බැහැ.
නමුත්...
ඒවා අවසාන ඉලක්කය නෙවෙයි.
අවසානයේ අපිට අවශ්‍ය,
වැඩි ආදායමක් උපයන මිනිසුන්.
වැඩි ඵලදායිතාවක් ඇති ව්‍යාපාර.
වැඩි රැකියා අවස්ථා.
වැඩි ආර්ථික වටිනාකමක් නිර්මාණය කරන ගම්මාන.
වැඩි අපනයන.
වඩා හොඳ ජීවන තත්ත්වයක්.
මොකද රටේ ආර්ථිකය වර්ධනය වුණත්, ඒ වර්ධනය සාමාන්‍ය පවුලේ ජීවිතයට පරිවර්තනයක් ලෙස ළගා වෙන්නේ එතකොටයි..

එහෙම නොවුණොත්...
අපේ කතාව තවම සම්පූර්ණ නැහැ.
එහෙනම් අපි ගම ගැන නැවත හිතමු
අපි ගමකට යනවා.
“ගෙවත්තක් හදමු” කියනවා.
එළවළු වගා කරනවා.
පලා වගා කරනවා.
පලතුරු වගා කරනවා.
තවත් ගෙදරක කෙනෙක් මහන මැෂිමකින් ඇඳුම් මහනවා.
අත්කම් නිර්මාණ කරනවා,
සත්ව පාලනය සිදු කරනවා.
තවත් කෙනෙක් කෑම හදනවා.
තවත් කෙනෙක් පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නවා.
මේ හැම දෙයක්ම ගමක ජීවන තත්වය වර්ධනය වෙනුවෙන් හොඳ වැඩ.
ඒවායේ අගය කිසිසේත්ම අඩු කරලා බලන්න බැහැ.

හැබැයි අපි බොහෝ කාලයක් තිස්සේ මේ වගේ වැඩ හරහා ගම්මාන වල ජීවන තත්වය ඉහළ නංවන්න උත්සාහ කරලා තියෙනවා..

අපිට පුලුවන්නම් මේ පුංචි පුංචි වැඩ එකිනෙකට සම්බන්ධ කරලා, ගමක විශාල ආර්ථික ක්‍රියාකාරකමක් නිර්මාණය කරන්න,
එතැනදී අපි සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න නිර්මාණශීලිව, ඵලදායිව වෙනස් වෙන්න උත්සාහ කරලා තියෙනවා..

ගමේ කෙනෙක් මිරිස් වගා කරනවා.
තවත් කෙනෙක් එළවළු වගා කරනවා.
තවත් කෙනෙක් පලතුරු වගා කරනවා.
තවත් කෙනෙක් ඒවා සැකසීම දන්නවා.
තවත් කෙනෙක් ඇසුරුම් කරන්න දන්නවා.
තවත් කෙනෙක් online marketing දන්නවා.
තවත් කෙනෙක් ප්‍රවාහනය කරනවා.
මේ හැමෝම එකට සම්බන්ධ කළොත්?
එතකොට අපිට ලැබෙන්නේ ගෙවතු කිහිපයක් නෙවෙයි.
වටිනාකම් දාමයක්.
වගාව → එකතු කිරීම → සැකසීම → ඇසුරුම් කිරීම → වෙළඳපොළ → සන්නාමය → විශාල වෙළඳපොළ
එතකොට ගමක් කියන්නේ,
උදව් බලාගෙන සිටින පිරිසක් සිටින තැනක් විතරක් නෙවෙයි.

නිෂ්පාදනය කරන, වටිනාකමක් නිර්මාණය කරන, ආදායම උපයන ආර්ථික ඒකකයක්.

දකුණු කොරියාවේ ග්‍රාමීය සංවර්ධනය ගැන කතා කරන විට Saemaul Undong හෙවත් “New Village Movement” ගැන අපිට අහන්න ලැබෙනවා.
එහිදී ගම්මානවල යටිතල පහසුකම්, ජීවන තත්ත්වය, කෘෂිකාර්මික ඵලදායිතාව සහ ආදායම් උත්පාදනය වර්ධනය කිරීමට උත්සාහ කළා.

නමුත් කොරියාවේ සම්පූර්ණ ආර්ථික පරිවර්තනය සිදුවුණේ ඒ එක වැඩසටහනකින් පමණක් නොවෙයි.
කාර්මිකකරණය.
අපනයන.
තාක්ෂණය.
ආයෝජන.
මානව සම්පත් සංවර්ධනය.
මේ සියල්ල එකට ගමන් කළා.
ඒ නිසා අපි කොරියාවෙන් ගන්න ඕන පාඩම,
“කොරියාව වගේ වෙමු හෝ නොවෙමු" කියන දේ නෙවෙයි.

“අපේ ගමේ මිනිස්සු සතුව තියෙන දැනුම, කුසලතාව, ශ්‍රමය සහ සම්පත් රටේ ආර්ථික වටිනාකමක් බවට පත් කරන්නේ කොහොමද?”
මෙතැනදී රාජ්‍ය සේවකයාගේ භූමිකාව ඵලදායී ලෙස වෙනස් වෙන්න අවශ්‍යයි.

අපි මහජන සේවකයෝ.
අපේ රාජකාරිය ප්‍රතිපාදන අවසන් කිරීම විතරක් නෙවෙයි.
ව්‍යාපෘතියක් අවසන් කිරීම විතරක් නෙවෙයි.
පුහුණුවක් පැවැත්වීම විතරක් නෙවෙයි.
වාර්තාවක් සකස් කිරීම විතරක් නෙවෙයි.
ඒ සියල්ල අපේ රාජකාරියේ කොටස්.
නමුත් ඒවා අවසානය නොවෙයි.

අපි මිනිසුන් සමඟ වැඩ කරන විට,
“මම මේ රාජකාරිය කළාද?”
කියන ප්‍රශ්නයෙන් එහාට ගිහින්,
“මම කළ වැඩෙන් මේ මිනිසාගේ ජීවිතයට මොන වගේ වෙනසක් වුණාද?”
කියලා අහන්න පටන් ගන්න ඕන.

ඊළඟට,
“මේ වෙනස තවත් පවුල් 100කට ගෙන යන්න පුළුවන්ද?”

ඊටත් එහාට,
“අපි නැති වුණත් මේ වෙනස ඉදිරියට ගෙන යන්න පුළුවන් පද්ධතියක් හදන්න පුළුවන්ද?”

කියලා අහන්න ඕන.
මෙන්න මෙතැන තමයි රාජ්‍ය සේවයේ Productivity mindset එක, පටන් ගන්නේ.

රාජ්‍ය සේවකයෙක් අවංක වෙන්න ඕන.
මිනිසුන්ට ආදරයෙන් කතා කරන්න ඕන.
ඔවුන්ගේ දුක තේරුම් ගන්න ඕන.
ඔවුන්ගේ කඳුළක් දැකලා සංවේදී වෙන්න ඕන.
ඒත්...
හොඳ හදවතක් තිබුණාට විතරක් පරණ ක්‍රමයකින් අලුත් ප්‍රතිඵලයක් ගන්න බැහැ.
ඒ නිසා අපට අවශ්‍යයි,
අවංකභාවය + මනුෂ්‍යත්වය + වෘත්තීයභාවය + ඵලදායිතාවය + නව්‍යකරණය
යන සියල්ල එකට.
එතකොට රාජ්‍ය සේවය කියන්නේ මිනිසුන්ට “සේවයක් ලබාදෙන” ක්‍රමයක් විතරක් නොවෙයි.
මිනිසුන්ගේ හැකියාවන් අවදි කරලා, ඔවුන්ගේ ජීවිත වෙනස් කරන ක්‍රියාවලියක් බව ඔප්පු වෙන්න පටන් ගන්නවා.

අපි හැමෝම කවදාහරි විශ්‍රාම යනවා
එදාට...
අපේ තනතුර අපිට නැහැ.
අපේ කාර්යාල කාමරය අපිට නැහැ.
අපේ පුටුව වෙන කෙනෙකුට ලැබෙනවා.
අපේ files වෙන කෙනෙකුගේ මේසයට යනවා.
ඒත්...

අපි මිනිසුන් වෙනුවෙන් කළ දේවල් අපිත් එක්ක තියෙනවා.
අපි නිසා කෙනෙකුගේ ආදායම වැඩි වුණාද?
අපි නිසා කෙනෙකුට රැකියාවක් ලැබුණාද?
අපි නිසා කෙනෙකුගේ පුංචි ව්‍යාපාරයක් විශාල වුණාද?
අපි නිසා ගමක නිෂ්පාදනයකට වෙළඳපොළක් ලැබුණාද?
අපි නිසා කෙනෙකුගේ දරුවෙකුට හොඳ අනාගතයක් ලැබුණාද?
අපි නිසා ගමක් තමන්ගේ පාද මත නැගී සිටියාද?
එදා මේ ප්‍රශ්නවලට...
“ඔව්”
කියන්න පුළුවන් නම්...
අපි රාජ්‍ය සේවයේ ගත කළ වසර ගණන නිකම්ම ගතවෙලා නැහැ.

රටේ ඩොලර් සංචිත වැඩිවීම ආර්ථික ස්ථාවරත්වයේ ලකුණක් විය හැකියි.
නමුත් ගමේ මිනිසාගේ ආදායම, ඵලදායිතාවය සහ ජීවන තත්ත්වය ඉහළ යාමයි ඒ ස්ථාවරත්වයේ සැබෑ අර්ථය.
ව්‍යාපෘතියක් අවසන් කිරීම අපේ ජයග්‍රහණය නොවේ.

අපි නැති වුණත් ඉදිරියට යන වෙනසක් නිර්මාණය කිරීමයි සැබෑ ජයග්‍රහණය.
අපි රාජ්‍ය සේවයට පැමිණියේ රැකියාවක් කරන්න විතරක් නම්, එක් දවසක අපි විශ්‍රාම යනවා.
නමුත් මිනිසුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න පැමිණියා නම්, අපේ සේවය අපි විශ්‍රාම ගිය දවසින් අවසන් වෙන්නේ නැහැ.

ඵලදායිතාවය පටන් ගන්න හරි තැන ක්‍රියාවලිය විය හැකියි.,
නමුත් රටක් වෙනස් කරන්නේ ඒ ක්‍රියාවලිය පිටුපස සිටින මිනිසාගේ ඵලදායි මනසයි.

සටහන — අමිල අතුකෝරල

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 07 වන කොටස
එක පාරක් කළාම ඇතිද? නැත්නම් තව තවත් හොදින් කරන්න පුළුවන්ද?
(PDCA – Plan | Do | Check | Act)

අපේ රටේ බොහෝ ව්‍යාපෘති ආරම්භ වෙන්නේ ඉතාමත් උනන්දුවෙන්.

විවෘත කිරීමේ උත්සවයක් තියෙනවා.
පුවත්පත්වල පින්තූර පළ වෙනවා.
සමාජ මාධ්‍යවල පළ කිරීම් යනවා.
ඒත් මාස හය හතකට පස්සේ...
කවුරුත් ඒ ව්‍යාපෘතිය ගැන කතා කරන්නේ නැහැ.ව්‍යාපෘතිය අතීතයට එකතු වෙලා..

ඇයි? එහෙම වෙන්නේ

මොකද බොහෝ දෙනාගේ අවධානය තියෙන්නේ ව්‍යාපෘතිය ආරම්භ කරන එක ගැන මිසක්, ඒක තව තවත් දියුණු කරමින් ඉදිරියට කරගෙන යන එක ගැන නොවෙයි.

මේ ප්‍රශ්නයට ලෝකයම භාවිත කරන ඉතා සරල විසඳුමක් තිබෙනවා.
ඒ තමයි PDCA Cycle.

PDCA කියන්නේ මොකක්ද?
PDCA කියන්නේ අඛණ්ඩව වැඩිදියුණු වීම සඳහා භාවිත කරන සරල ක්‍රමවේදයක්.
එහි පියවර හතරක් තිබෙනවා.
🟦 P – Plan (සැලසුම් කරන්න)
🟩 D – Do (ක්‍රියාත්මක කරන්න)
🟨 C – Check (පරීක්ෂා කරන්න)
🟥 A – Act (වැඩිදියුණු කරන්න)
වැදගත්ම දේ...
A වලින් වැඩේ ඉවර වෙන්නේ නැහැ. වැඩි දියුණු කිරීම් එකතු කරමින්
නැවතත් P වලට යනවා.

ඒ නිසා මේක චක්‍රයක් (Cycle).

අපි ගමේ ජල ව්‍යාපෘතියක් බලමු.
🟦 PLAN – සැලසුම් කරන්න
ගමේ පිරිසිදු ජලය නැහැ.
මුලින්ම...
ගැටලුව හඳුනාගන්නවා.
ජල මූලාශ්‍ර බලනවා.
පවුල් කීයකට අවශ්‍යද කියලා බලනවා.
මුදල්, කාලය සහ වගකීම් සැලසුම් කරනවා.
හොඳ සැලසුමක් කියන්නේ සමස්ථ ව්‍යාපෘතියේ සාර්ථකත්වයෙන් අඩක්.

🟩 DO – ක්‍රියාත්මක කරන්න
දැන් වැඩ පටන් ගන්නවා.
ටැංකිය හදනවා.
නළ එළනවා.
ජලය සපයනවා.
ප්‍රජාව දායක කරගන්නවා.
මෙතැනදී බොහෝ ව්‍යාපෘති නතර වෙනවා.
ඒත් PDCA එකේ මේක මැද පියවරක් විතරයි.

🟨 CHECK – පරීක්ෂා කරන්න
මෙතැන තමයි බොහෝ දෙනා අමතක කරන කොටස.
අපි අපෙන්ම අහන්න ඕනේ...
✅ හැම ගෙදරකටම ජලය ලැබෙනවද?
✅ පීඩනය ප්‍රමාණවත්ද?
✅ ජලය අපතේ යනවද?
✅ ප්‍රජාව සතුටුද?
✅ මුලින් තිබුණු ගැටලුව ඇත්තටම විසඳුණාද?
මැනීමක් නැත්නම්, දියුණුවක් නැහැ.

🟥 ACT – වැඩිදියුණු කරන්න
පරීක්ෂා කළාට පස්සේ,
අඩුපාඩු තියෙනවා නම්...
✔ නළ මාර්ග වෙනස් කරනවා.
✔ නඩත්තු කමිටුව ශක්තිමත් කරනවා.
✔ ජලය ඉතිරි කරන ක්‍රම හඳුන්වා දෙනවා.
✔ ඒ වෙන කම් එක්ක අලුත් සැලැස්මක් හදනවා.
ඊට පස්සේ...
නැවතත් PLAN.
මේ චක්‍රය දිගටම යනවා.
ඝන අපද්‍රව්‍ය ව්‍යාපෘතියක් ගනිමු.

🟦 PLAN
කුණු වෙන් කිරීමේ වැඩසටහන සැලසුම් කරනවා.

🟩 DO
ගෙදර ගෙදර කුණු බඳුන් දෙනවා.
දැනුවත් කිරීම කරනවා.

🟨 CHECK
ඇත්තටම කුණු වෙන් කරනවද?
ප්ලාස්ටික් වෙනම එකතු වෙනවද?
කොම්පෝස්ට් හදනවද?

🟥 ACT
නොකරන ගෙවල්වලට නැවත දැනුවත් කිරීම.
එකතු කරන දින වෙනස් කිරීම.
පාසල් සහ තරුණ කණ්ඩායම් සම්බන්ධ කරගැනීම.
නැවතත්...
PLAN.

PDCA ගමකට විතරක්ද?
නැහැ.
ඔබේ නිවසටත් පුළුවන්.
ඔබේ කාර්යාලයටත් පුළුවන්.
ඔබේ ව්‍යාපාරයටත් පුළුවන්.
ඔබේ ජීවිතයටත් පුළුවන්.
දරුවාගේ ඉගෙනීමේ සිට ආයතනයේ සේවා වැඩිදියුණු කිරීම දක්වා, මේ සරල චක්‍රය භාවිත කළ හැකියි.
මතක තබා ගනිමු
බොහෝ අය හිතන්නේ...

"වැරදි නැතිව වැඩ කරන එක තමයි සාර්ථකත්වය."

නමුත් ඵලදායිතාවය කියන්නේ...
"වැරදිවලින් ඉගෙනගෙන, ඊළඟ වතාවේ තවත් හොඳින් කරන එක."

ඒ නිසා...
PDCA කියන්නේ ව්‍යාපෘතියක් කළමනාකරණය කරන ක්‍රමයක් විතරක් නොවෙයි.
එය "අදට වඩා හෙට හොඳ වීම" සඳහා ජීවිත දර්ශනයක්.

🌿 මතක තබා ගනිමු
"සැලසුම් කිරීමෙන් වැඩ ආරම්භ වේ.
ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵල ලැබේ.
පරීක්ෂා කිරීමෙන් සත්‍යය, සාර්ථකත්වය හෙළිවේ.
වැඩිදියුණු කිරීමෙන් ඵලදායිතාවය ගොඩනැගේ.

සකස් කළේ. - අමිල අතුකෝරාල Amila Prabath Athukorala

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 06B වන කොටස
ව්‍යාපෘතියක් සාර්ථක වෙන්නේ කොහොමද?

පසුගිය ලිපියේ අපි කතා කළේ ගමකට අවශ්‍යම ව්‍යාපෘතිය තෝරා ගන්නේ කොහොමද කියලා.
දැන් අපි හිතමු...

ඔබේ ගමේ සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.
උදාහරණයක් ලෙස,
*පිරිසිදු පානීය ජලය ලබාදීම.
*ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීම.
දැන් ප්‍රශ්නය වෙනස් වෙනවා.

"මේ ව්‍යාපෘතිය සාර්ථක කරන්නේ කොහොමද?"

බොහෝ දෙනෙක් හිතන්නේ මුදල් තිබුණොත් ව්‍යාපෘතිය සාර්ථකයි කියලා.

නමුත් වසර ගණනාවක අත්දැකීමෙන් ඔබත් දැකලා ඇති...
අසාර්ථක ව්‍යාපෘති බොහොමයකට මුදල් අඩුවක් තිබුණේ නැහැ.

අඩුව තිබුණේ...
හොඳ සැලසුමක් සහ ප්‍රජා සහභාගිත්වයක් නොමැති වීම.

@පළමු පියවර – සැලසුම හැදීම

ජල ව්‍යාපෘතියක් නම්...
ටැංකිය හදන තැන තීරණය කළාම විතරක් වැඩේ ඉවර නැහැ.
අහන්න ඕනේ,
ජලය ලැබෙන්නේ අවුරුද්ද පුරාමද?
නළ පද්ධතියෙන් හැම ගෙදරකටම ජලය යනවද?
නඩත්තු කරන්නේ කවුද?
විදුලි බිල ගෙවන්නේ කවුද?
වගේ ව්‍යාපෘතියේ ගමන එක්ක බැඳෙන ගැටළු.

ඝන අපද්‍රව්‍ය ව්‍යාපෘතියක් නම්...
කුණු බඳුන් බෙදන එකෙන් විතරක් ගම පිරිසිදු වෙන්නේ නැහැ.
අහන්න ඕනේ,
ගෙවල්වල කුණු වෙන් කරයිද?
කාබනික අපද්‍රව්‍ය කොම්පෝස්ට් කරනවද?
ප්ලාස්ටික් එකතු කරන්නේ කවුද?
අවසානයේ ඒවා යන්නේ කොහෙද?
වගේ ප්‍රශ්න.

සැලසුමක් නැති ව්‍යාපෘතියක් කියන්නේ සිතියමක් නැති ගමනක් වගේ.

@දෙවන පියවර – ප්‍රජාවගේ ව්‍යාපෘතියක් බවට පත් කරන්න

මේක තමයි වැදගත්ම තැන.
බොහෝ ව්‍යාපෘති අසාර්ථක වෙන්නේ...
"අපේ ව්‍යාපෘතිය" කියලා කවුරුත් හිතන්නේ නැති නිසා.

ජල ව්‍යාපෘතියක් නම්...
ගමේම කමිටුවක් පත් කරන්න.
නඩත්තු අරමුදලක් හදන්න.
තරුණයන්ට පුහුණුවක් දෙන්න.
පරීක්ෂණ නිරීක්ෂණ ක්‍රම හා කමිටු හදන්න.
පාර්ශව සහාය ලබා ගන්න.
ව්‍යාපෘතිය ගමේ සම්පතක් වගකීමක් වෙන්න දෙන්න....

ඝන අපද්‍රව්‍ය ව්‍යාපෘතියක් නම්...
පාසලත් එකතු කරගන්න.
කාන්තා සමිති එකතු කරගන්න.
තරුණ සමාජය සම්බන්ධ කරගන්න.
අගය පහදන්න.
ප්‍රචාරණය කරන්න.....

ප්‍රජාව අයිතිකාරයා වුණු තැන ව්‍යාපෘතිය දිගු කාලයක් ජීවත් වෙනවා.

@තුන්වන පියවර – සාර්ථකත්වය මනින්න

අපි තාමත් මනින්නේ...
"ටැංකිය හැදුවා."
"කුණු බඳුන් 200ක් බෙදුවා."
"දැනුවත් කිරීම් 3ක් අවසන් කළා"

ඒත් ඒවා ක්‍රියාකාරකම් (Activities).
අපි මනින්න ඕනේ ප්‍රතිඵල (Results).

ජල ව්‍යාපෘතිය
✔ ජලය ගේන්න ගත වූ කාලය අඩු වුණාද?
✔ පවුල් කීයකට පිරිසිදු ජලය ලැබුණාද?
✔ ජලයෙන් බෝවන රෝග අඩු වුණාද?

ඝන අපද්‍රව්‍ය
✔ විවෘතව කුණු දැමීම අඩු වුණාද?
✔ ගම පිරිසිදු වුණාද?
✔ කොම්පෝස්ට් නිෂ්පාදනය වැඩි වුණාද?
✔ ප්‍රතිචක්‍රීකරණයෙන් ආදායමක් ලැබුණාද?

මේවා තමයි ඵලදායිතාවය මනින සැබෑ දර්ශක.

@අවසාන පියවර – වැඩිදියුණු කිරීම නතර කරන්න එපා

සාර්ථක ව්‍යාපෘතියක් කියන්නේ...
අවසන් කරන ව්‍යාපෘතියක් නොවේ.
අඛණ්ඩව ඉගෙන ගන්න, ඒ අනුව අලුත් වෙන ව්‍යාපෘතියක්.
අද ජල නාස්තිය අඩු කරන්න.
හෙට විදුලි පිරිවැය අඩු කරන්න.
අනිද්දා වැසි ජලය එකතු කරන්න ක්‍රම හොයන්න.

අද කුණු වෙන් කරන්න.
හෙට කොම්පෝස්ට් හදන්න.
ඊළඟට ප්‍රතිචක්‍රීකරණයෙන් ආදායමක් උපයන්න.
මේක තමයි Kaizen කියන්නේ., Innovation කියන්නේ.

මතක තබා ගනිමු
📌 හොඳ ව්‍යාපෘතියක් කියන්නේ ගමට ගොඩනැගිල්ලක් හදන එක නොවේ, .
📌 මිනිසුන්ගේ ජීවිතයට දිගුකාලීන වෙනසක් ඇති කරන එකයි.
📌 ඵලදායී ව්‍යාපෘතියක් කියන්නේ අඩු සම්පත් භාවිතා කර, ප්‍රජාව සමඟ එකතුව වැඩිම ප්‍රතිලාභ තිරසාරව ලබාදෙන ව්‍යාපෘතියයි.
සටහන - අමිල අතුකෝරාල Amila Prabath Athukorala

23/08/2026

ඵලදායිතාවය හරි තැනින් – 06A වන කොටස
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් ඵලදායී ලෙස තෝරා ගනිමු.

පසුගිය සතිවල අපිත් එක්ක එකතු වුණු අපේ පාඨක සහෘදයන් කිහිපදෙනෙක්ම මගෙත් එක්ක කතා කරපු දෙයක් තමයි "ඵලදායීතාව ගලපාගෙන වැඩ කරගන්න පුළුවන් කාර්යාලවල එහෙම නැත්තන් කර්මාන්ත ශාලාවල විතරක්ද ? කියන එක ,
නැහැ, මම ඔබත් එක්ක සාකච්ඡා කරපු විදිහටම ඵලදායීතාවය කියලා කියන්නේ අපි ලෝකය දිහා බලන, දකින, දියුණු දැක්මක්, සංස්කෘතියක්.

අපි උදාහරණයක් විදිහට ගමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් වඩාත් ඵලදායිව ක්‍රියාත්මක කරන විදිහ ඉතාම සරලව සාකච්ඡා කරමු. ඔබේ අදහසුත් පහළ Comment වල ඇතුලත් කරන්න අවස්ථාව තියෙනවා.

රජයේ නිලධාරින්, රාජ්‍ය නොවන ආයතන වල සාමාජිකයන්, ග්‍රාමීය සංගම්, දේශපාලන අධිකාරියේ විවිධ ආයතනික ව්‍යුහයන් ආදී බොහෝ පාර්ශව විවිධ අවස්ථාවල ග්‍රාම සංවර්ධන කටයුතුවල නිරත වන අවස්ථා අපි අනේක වාරයක් දැකලා තියෙනවා.,

ඒත් මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්.
ගමකට අවශ්‍ය ව්‍යාපෘතිය තීරණය කරන්නේ කවුද?
අරමුදල් දෙන ආයතනයද?
නිලධාරියාද?
නැත්නම්... ගමේ මිනිස්සුද?
මේ ප්‍රශ්නයට දෙන පිළිතුර මතම ගමට ව්‍යාපෘතියේ ගැළපීම වගේම සාර්ථකත්වයත් තීරණය වෙනවා.

සමහර අවස්ථාවල අපි ඉක්මන් වෙලා වැරදි තැනින් පටන් ගන්නවා. එහෙම වුණු අවස්ථා ක්ෂේත්‍රයේ ඕනෑ තරම් ඔබටත් හමු වෙලා ඇති.

සමහර වෙලාවට ව්‍යාපෘතියක් ආරම්භ වෙන්නේ, තෝරා ගන්නේ වගේම ප්‍රදේශ තෝරා ගන්නේ මෙහෙමයි.
"මේ අවුරුද්දේ ජල ව්‍යාපෘතියක් කරන්න."
"කුණු බඳුන් බෙදමු."
" පේන්න මේ වැඩේ කරමු."
"මේක කළොත් අපිටත් වාසියි"
" මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන්"
"ගොඩනැගිල්ලක් හදමු."
" අපේ මිනිස්සු ඉන්නේ මේ ගමේ"
" අපිට යන්න පහසු, වැඩ කරගන්න පහසු මේ ගමේ"
" සල්ලි ටික වියදම් කළා නම් වැඩේ හරි"

ඒත් අපි අහන්නේ නැහැ...

"ඇත්තටම මේ ගමට අවශ්‍යම දේ මේකද?"
" අපි කරන්න යන ව්‍යාපෘතිය , අපි තෝර ගත්ත ප්‍රදේශය ඇත්තටම ව්‍යාපෘතියේ උපරිම ඵලදායීතාවයකට අපිව අරගෙන යනවද?

ඵලදායිතාවය ගැන අපි කලින් ලිපිවල කතා කළ වැදගත්ම පාඩමක් මතකද?
නිවැරදි දේ තෝරා නොගෙන, එය කොච්චර හොඳින් කළත් ප්‍රයෝජනයක් නැහැ.

අපි "ව්‍යාපෘතිය" තෝරන්නේ නැහැ... "ප්‍රධාන ගැටලුව" තෝරමු.

හිතන්න...
ගමක පිරිසිදු ජලය නැහැ.
දරුවන්ට උදේ පාසලට යන්න කලින් ජලය ගේන්න කිලෝමීටර් එකක් ඇවිදින්න වෙනවා.
කාන්තාවන් දවසකට පැය දෙකක් වතුර වෙනුවෙන් වැය කරනවා.
මෙතැන ව්‍යාපෘතිය "ජල ටැංකියක් නිර්මාණය" නෙවෙයි.
ගැටලුව තමයි "පිරිසිදු ජලය නොමැති වීම".

තවත් ගමක...
හැම තැනම කුණු ගොඩවල්.
වැසි දවසට කානු හිර වෙනවා.
මදුරුවන් වැඩි වෙනවා.
දුර්ගන්ධය පැතිරෙනවා.
මෙතැන ව්‍යාපෘතිය "කුණු බඳුන් බෙදන එක" නෙවෙයි.
ගැටලුව තමයි "ඝන අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොවීම".

හොඳ වෛද්‍යවරයෙක් බෙහෙත් ලියන්න කලින් රෝගය හඳුනාගන්නවා.
හොඳ ව්‍යාපෘති මෙහෙයවනෙක් ව්‍යාපෘතියක් හදන්න කලින් ගැටලුව හඳුනාගන්නවා.

ඉතින්... ගැටලුව හඳුනාගන්නේ කොහොමද?
කාර්යාලයේ ඉඳගෙන නම් බැහැ.
ගමට යන්න වෙනවා,
මිනිස්සු එක්ක කතා කරන්න.
අහන්න.
බලන්න.
සටහන් කරගන්න වෙනවා.

සමහර විට ගමේ වයසක අම්මා කෙනෙක් කියන වාක්‍යයක්, පිටු 20ක වාර්තාවකට වඩා වටිනවා.
දත්ත කියන්නේ Excel පත්‍රයක් විතරක් නෙවෙයි.
මිනිස්සුන්ගේ අත්දැකීමුත් දත්තයි.

ප්‍රශ්නයක් තියෙනවා කියලා විතරක් ප්‍රමාණවත් නැහැ...
එය සැබෑ ප්‍රමුඛතාවයක්ද?
ඒක තේරුම් ගන්න සරල ප්‍රශ්න පහක් අහන්න.
✅ මේ ගැටලුවෙන් පීඩාවට පත්වෙන්නේ කීදෙනෙක්ද?
✅ ඒ නිසා කාලය, මුදල් හෝ සෞඛ්‍යයට කොච්චර බලපෑමක් වෙනවද?
✅ ගමේ මිනිස්සුන්ට මේක විසඳන්න ඇත්තටම අවශ්‍යද?
✅ ඔවුන් මේ වෙනුවෙන් දායක වෙන්න සූදානම්ද?
✅ මේක විසඳුවොත් ඔවුන්ගේ ජීවිතයේ මොන වෙනසක් වෙයිද?
මේ ප්‍රශ්නවලට හොඳ පිළිතුරු ලැබෙනවා නම්, එය සංඛ්‍යාත්මකව ගමේ මිනිසුන්ට ඉහළ බලපෑමක් කරනවා කියලා තේරෙනවනම්..
ඔබට ව්‍යාපෘතියත් හමුවෙලා.

හොඳ ව්‍යාපෘතියක් ආරම්භ වෙන්නේ ටෙන්ඩර් ලිපියකින්වත්, මුදල් ප්‍රතිපාදනයකින්වත් නොවේ.
එය ආරම්භ වෙන්නේ...
මිනිස්සුන්ගේ සැබෑ ගැටලුව හඳුනාගැනීමෙන්.
ඒ නිසා...
ව්‍යාපෘතිය තෝරන්න එපා.
ගැටලුව තෝරන්න.
ගැටලුව නිවැරදිව තේරුම් ගත්තොත්, විසඳුම ඔබවම හොයාගෙන එනවා.

මතක තබා ගනිමු
"ඵලදායීතාවය ආරම්භ වන්නේ ව්‍යාපෘතියකින් නොව, ගැටලුව නිවැරදිව හඳුනාගැනීමෙන්ය."

අපි මීළග කොටසින් සාර්ථක ලෙස හඳුනාගත් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ මීළඟ ලිපියෙන් කතා කරමු.
සටහන - අමිල අතුකෝරාල Amila Prabath Athukorala

23/08/2026

ඵලදායිතාවය හරි තැනින්
05 වන කොටස - 5S කළාම ඵලදායීතාවය ඇති වෙනවාද?

"අපේ කාර්යාලයේ 5S හොඳට කරනවා."
"අපිට 5S සම්මානයකුත් ලැබුණා."
"අපේ මේස ටික, ලිපිගොනු හරිම පිළිවෙළයි. හැම තැනක්ම නාම කරනය කරලා තියෙන්නේ, ගෙවත්ත අපිම එකතුවෙලා ලස්සනට මල් වවලා තියෙනවා" "මේ වගේ දේවල් නිසා අපේ ඵලදායීතාවය හොඳටම තියෙනවා,"

මේ වගේ වාක්‍ය ඔබත් අසා ඇති. සමහර විට ඔබත් එසේ සිතනාවා වෙන්නත් පුළුවන්.

නමුත් මම ඔබෙන් සරල ප්‍රශ්නයක් අහන්නම්.
ඔබේ නිවසේ කුස්සිය ඉතාමත් පිරිසිදුයි, බඳුන් පිළිවෙළට තබා තිබෙනවා, බිම දිලිසෙනවා. ඒත් උයන්න අනවශ්‍ය ලෙස පැය ගණන් ගත වෙනවා නම්, ගෑස් අනවශ්‍ය ලෙස වැය වෙනවා නම්, උයන කෑම වල රස ගුණ පිරිහෙනවා නම්, අමුද්‍රව්‍ය නාස්ති වෙනවා නම්, ඒ කුස්සිය ඵලදායීද?

බොහෝ දෙනාගේ පිළිතුර "නැහැ" කියන එකයි.

එහෙම නම්, නිෂ්පාදනයක් කරන, සේවාවක් සපයන ඕනම තැනක , තත්වයත් මෙයින් වෙනස් වන්නේ නැහැ.

ගොනු රාක්ක ලස්සනට ලේබල් කර තිබුණත්, පුරවැසියෙකුගේ අයදුම්පතක් අනුමත කිරීමට සති දෙකක් ගත වෙනවා නම්, නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත්සන් අවශ්‍ය වෙනවා නම්, එකම තොරතුර කිහිප වතාවක් ලියන්න සිදුවෙනවා නම්, අපිට ඵලදායීතා වර්ධනයක් ගැන කතා කරන්න බැහැ.

එහෙම නම් 5S කියන්නේ මොකක්ද?
5S යනු වැඩබිම සංවිධානය කිරීමේ ක්‍රමවේදයක්.
*අවශ්‍ය දේ පමණක් තබා ගැනීම. - Sort (Seiri)
*භාණ්ඩ නිසි තැන තැබීම.- Set in Order (Seiton)
*පිරිසිදුකම පවත්වා ගැනීම.- Shine (Seiso)
*සම්මත ක්‍රම හඳුන්වා දීම.- Standardize (Seiketsu)
*එම පුරුදු අඛණ්ඩව පවත්වා ගැනීම.- Sustain (Sh*tsuke)

මේවා ඉතා වැදගත්.

නමුත් අප තේරුම් ගත යුතු කරුණ වන්නේ පිරිසිදු, පිලිවෙල මාර්ගයක් තිබුණ පමණින් සාර්ථක ගමනාන්තයකට ළඟා වෙන්න බැහැ යන්නයි. ඒ මාර්ගයේ නිසි කළමනාකරණයක් සහිතව අපේ ඉලක්කය වෙත. ගමන් කළ යුතුයි.

තවත් උදාහරණයක් බලමු

රෝහලක ඖෂධ ගබඩාව ඉතාමත් පිළිවෙළයි. ඖෂධ සියල්ල ලේබල් කර තිබෙනවා. බිම දිලිසෙනවා.
නමුත් රෝගියෙකුට ඖෂධ ලබා ගැනීමට පැය දෙකක් පෝලිමේ සිටිය යුතු නම්, ලබා දෙන ඖෂධ වර්ග වරදිනවා නම් , එම සේවාව ඵලදායී යැයි කියන්න පුළුවන්ද?
බැහැ
ඵලදායීතාවය කියන්නේ,
අඩු සම්පත් භාවිතා කරමින්, අඩු කාලයකින්, වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමයි.
ඒ සඳහා අවශ්‍ය වන්නේ,
✔ අනවශ්‍ය පියවර ඉවත් කිරීම
✔ ක්‍රියාවලි සරල කිරීම ( E, C, R, S )
✔ බලා සිටීමේ කාලය අඩු කිරීම
✔ තාක්ෂණය භාවිතා කිරීම
✔ දෝෂ අවම කිරීම
✔ පාරිභෝගිකයාට වඩා හොඳ සේවාවක් ලබාදීම
5S මේ ගමනේ පළමු පියවරක් පමණි.
මතක තබා ගනිමු

@ 5S කිරීමෙන් වැඩබිම ලස්සන වෙනවා.
@ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමෙන් ආයතනය ඵලදායී වෙනවා.
@ 5S යනු ඵලදායීතාවය නොවේ. එය ඵලදායීතාවය කරා යන මාර්ගය සකස් කරන මෙවලමක් පමණි.

"ලස්සනට සකස් කළ කාර්යාලයක් තිබීම සහ ඵලදායී ආයතනයක් තිබීම කියන්නේ එකම දෙයක් නොවේ."
සටහන - අමිල අතුකෝරාල Amila Prabath Athukorala

Address

Divisional Secretariat Office Ibbagamuwa
Ibbagamuwa
60500

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Office Ibbagamuwa - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share