02/08/2026
2025 නොවැම්බරයේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවත් සමගින් ගලා ආ සැඩ ජල පහරට ඔරොත්තු දිය නොහැකිවූ ජා-ඇල ඇලේ පැති බැම්ම දුබල වෙමින් බිඳී ගියේය.
එම ස්ථානයෙන් ගලා ආ ජලයෙන් ජනාකීර්ණ ප්‍රදේශ යටවීමෙන් විය හැකි අනතුරුදායක තත්ත්වය තුරන් කිරීමේ අභියෝගයට මුහුණ දුන් ජා-ඇල නගර සභාවේ නිලධාරීන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා වෙහෙසකර කාර්යයක නියැලෙමින් වැලි කොට්ට යොදා බාධක ගොඩනගමින් ප්‍රශංසනීය මෙහෙවරක් ඉටුකලේය. පසුගිය අප්‍රේල් වැසි සමය ඇරඹීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයද ලබා ගනිමින් විය හැකිව තිබූ අනතුර වලක්වා ගැනීමට පියවර ගන්නා ලදි.
මෙම අභියෝගයන් ජය ගැනීමේදී ජා-ඇල නගර සභාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට වාරිමාර්ග දෙපාර්තමේන්තුව , පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාව , ආරක්ෂක අමාත්‍යාංශය , ආපදා කළමනාකරණ ඒකකය , ජා-ඇල ප්‍රාදේශීය සභාව , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ... ආදී විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සහ පුද්ගලයන්ගේ සහයෝගය මෙන්ම ස්ටෙෆ්නි ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඇතුළු දේශපාලන අධිකාරියේ සහයෝගයද නොමදව ලැබිණි.
පෙර නොවූ විරූ ආකාරයේ දරුණු ස්වභාවික විපතකට ගොදුරු වී සිටි මෙවන් මොහොතක අනතුර අවම කර ගැනීමේ අභියෝගය ජයගැනීමට වෙර දරන්නන්ට අබ ඇටයක තරම් සහයෝගයක් නොදුන් ඇතැමුන් ව්‍යාජ පුවත් මවමින් අපහාස උපහාස කරමින් ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ කුහක පිළිවෙතක නියැලීම කණගාටුදායකය.
හානි වූ ඇල බැම්ම ප්‍රතිසංස්කරණයට අදාළ ඉංජිනේරුමය සැලසුම් සකස් කිරීම , ඒවා ඇස්තමේන්තු ගත කිරීම සහ මූල්‍යමය ප්‍රතිපාදන සපයා ගැනීම යනාදී අභියෝගාත්මක කටයුතු සඳහා ගත වූ අත්‍යවශ්‍ය කාලයෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ දැන් ආරම්භ වී තිබීම සොම්නස දනවන්නකි.
ඇල බැම්ම පිළිසකර කළ පමණින් සියල්ල විසඳෙන්නේ නැති බවත් , හෙට දිනයේද නොයෙකුත් බාධක ගැටලු පැමිණිය හැකි බවත් අපි දනිමු.
අත්වැල් බැඳ නොසැලී ශක්තිමත්ව අභියෝගයන්ට මුහුණ දී එය ජයගැනීම විනා උසුළු විසුළු කරමින් මගහැර යෑම අපට අදාල නැත.