17/07/2026
Super mom
ජාතික වස්තුවක් බඳු රණවිරුවෙකුගේ සහ මවකගේ නිශ්ශබ්ද කඳුළු කතාව...
මේ පින්තූරය දෙස මොහොතක් බලා සිටින්න. මෙහි ඇත්තේ හුදෙක් නිල ඇඳුමකට ලාංඡනයක් පළඳවන තවත් එක් උත්සව අවස්ථාවක් නොවේ. මෙය, අතිශය දුෂ්කර හා මාරාන්තික "ස්නයිපර්" (Sniper) පාඨමාලාව නිම කර, හෙට දිනයේ මරණය සහ ජීවිතය අතර සටනට - යුධ පෙරමුණට යාමට සූදානම් තම එකම ලේ බිඳුවට, මවක විසින් අවසන් වරට ආශිර්වාද කරන අතිශය දුක්ඛිත, එහෙත් අභිමානවත් මොහොතයි.
ස්නයිපර් බලකායක සෙබළෙකු යනු රටකට සාමාන්‍ය මිනිසෙකු නොවේ; ඔවුන් රටක "ජාතික වස්තුවකි". වසර ගණනාවක කැපවීමෙන්, කටුක පුහුණුවකින් නිර්මාණය වන මෙවැනි වටිනා මිනිසුන්ගේ අගය අප සමාජය මීට වඩා ගැඹුරින් වටහා ගත යුතුය.ඔවුහු රැක ගත යුතුය .
මේ මොහොතේ ඒ අභිමානවත් මෑණියන්ගේ හදවතේ හැඬුම:
"මා දස මසක් කුස දරා, ලෙයින් කිරි කර පොවා හැදූ මගේ පුතු අද මුළු රටක්ම රකින වීරයෙක්. මට ඔහු ගැන නිම් හිම් නැති අභිමානයක් දැනෙනවා. නමුත්... මගේ දෑතින්ම මේ පළඳවන ලාංඡනය, හෙට ඔහුව රැගෙන යන්නේ යම රජුගේ දොරටුව අසලට නේදැයි සිතෙද්දී මගේ පපුව පැලෙන්නට හදනවා. 'පුතේ, උඹ රටට වීරයෙක් වුණත්, මට තවමත් මගේ කිරි සුවඳ නොගිය දරුවා...' මේ ඇගේ හදවතේ නිශ්ශබ්ද විලාපයයි."
යුධ බිම වෙත හෙට දිනයේදී පියවර තබන සොල්දාදුවා ද මෙලෙස සිතනු ඇත.
"මා මේ අඳින්නේ මගේ මිනී පෙට්ටිය වුවද විය හැකි සේවා ඇඳුමයි. මගේ මවගේ දෑසේ කඳුළු සහ මගේ උරහිස මත තැබූ ඇගේ වෙව්ලන දෑත් මට පවසන්නේ ඇගේ බිය නොව, මට ඇති ආදරයයි. ඇය මා රටට පූජා කර අවසානය. ජාතික වස්තුවක් ලෙස මගේ මාතෘභූමිය මා කෙරෙහි තැබූ විශ්වාසය මම රකිමි. මවගේ ආශිර්වාදය මැද, මම මරණයට අභියෝග කරමින් පෙරමුණට යමි!"
අපේ කාලයේ සැබෑ වීරත්වය...
රටක සැබෑ වස්තුව නිලතල හෝ ධනය නොවේ; රට වෙනුවෙන් තම ජීවිතය මරණයේ අභිමුව තබා සටන් වදින මෙවැනි අසමසම පුතුන් සහ ඔවුන් රටට දන් දුන් මෙවැනි උදාර මව්වරුන්ය.ඔවුන් රැක ගැනීම රටක අවශ්‍යතාවක් බව එක හෙලා පසක් කර ගත යුතුය .
ඔබට අපගේ උත්තමාචාරය...!
සටහන සහ සේයාරුව :- නිමල්සිරි ජයසේන ..
Nimalsiri Jayasena