07/06/2026
අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා.....!
2026 ලෝක පරිසර දිනය
දිනය-2026 ජූනි 5, සිකුරාදා
සත්කාරක රට: අසර්බයිජානය - බාකු නගරය
"Inspired by Nature. For Climate. For Our Future"
“ස්වභාවයෙන් ආභාෂය ලැබෙමු.. ...දේශගුණය වෙනුවෙන්. අපේ අනාගතය වෙනුවෙන්"
තේමාවේ අදහස
පෘථිවිය අපට එවන අනතුරු ඇඟවීම් සංඥා තේරුම් ගෙන අප විසින් ආපසු යවන සංඥා"
( Climate Action + Nature-based Solutions)
වනාන්තර, තෙත්බිම්, සාගර ඇතුළු ජල මූලාශ්‍ර වැනි ස්වභාවික පද්ධති ආරක්ෂා කර හෝ යළි ඇති කර ,
දේශගුණික විපර්යාස වලට පිළියම් සොයන්නේ කෙසේදැයි කටයුතු කිරීම මෙහි අදහසයි .
පරිසරය සුරැකීමේ වගකීමෙන් බොහෝ බරක් පැටවෙන්නේ මිනිසා මතයි.තම අවශ්‍යතා සඳහා පරිසරය වෙනස් කරන ප්‍රධාන සාධකය වන්නේ ද මිනිසාමය.
මාලබේ ශ්‍රී යසෝදරා මහා විද්‍යාලය ඉතාම සුන්දර පරිසරයක පිහිටා තිබේ. අර්ධ නාගරික වටපිටාවක් මැද වුවත් විවිධ ශාක විශේෂ ගණනාවක් පාසල් භූමියේ ඇත. ගම්මාලු , නා , අත්තික්කා, අඹ වැනි තුංග දේහ දරන ශාක ද , යකි නාරං වැනි ඒකදේශික ශාක ද ආසියානු කළු වඳුරා වැනි ඒක දේශික සතුන් ද විවිධාකාර පක්ෂීන් ද මේ බිම දැකගත හැක.
තවද උදෑසන ළා හිරු රැස් මැද ක්‍රීඩාපිටියේ නිල්වන් තණපලස මත දිදුලන පිණි කැට මවන්නේ මනහර දසුනකි.
එහෙත් අප පාසලේ ශිෂ්‍ය ප්‍රජාවෙන් වැඩි පිරිස වසරකට වරක් දෙකක් පහත් බිම් පුරවාලන කැලණි ගඟේ දැඩි ගං වතුර තත්ත්වයෙන් පීඩා විඳිති . සිය ගේ දොර දේපල...පොත් පත්... පමණක් නොව ඇස් පනාපිට ජීවිත පවා අහිමි වී ගිය දුක්බර කතන්දර ඔවුන් සතුව ඇත.
මේ නිසාම මෙවර ජගත් පරිසර දින තේමාව ඔවුන්ට වඩා සංවේදී විය. එබැවින් පරිසර දින වැඩසටහන් සඳහා දරුවන් මහත් උනන්දුවකින් කටයුතු කළ බව පෙනුණි.
උදෑසන දැනුවත් කිරීමේ වැඩසටහනෙන් පසුව අප පාසලේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එසේම පාසල හා ප්‍රජාව දැනුවත් කරන බැනර් කීපයක්ද දරුවන් අතින් පාසල් බිමේ සවි කරන ලදී. පාසල් බිමේ ඇති ශාක විද්‍යාත්මකව නාමකරණය කිරීමේ මූලික පියවර ගනු ලැබිණි. තවද පාසල හා අවට ප්‍රදේශයන්හි අපරික්ෂාකාරී ලෙස ඉවත දමන ප්ලාස්ටික් බෝතල් එක් රැස්කර ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩසටහක් පිළිබඳවද ළමුන් දැනුවත් කරන ලදී.