27/02/2023
“ඡන්දය පැවැත්වීම පරක්කු වන දවසක් දවසක් පාසා සිදුවෙන්නේ පොලීසිය හමුදාව පවා අපේ පැත්තට එක්වෙන එක“
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් කල් දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය ඊයේ (26දා) පැවැත්වූ විරෝධතා පා ගමනට කොළඹ යුනියන් පෙදෙසේදී පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නෙළුම් පොකුණ අසල සිට කොළඹ පිටකොටුව දෙසට පාගමනක් පැවැත්වුණු අතර, රෝහල් චතුරශ්‍රය අසලින් මරදාන දෙසට ගමන් කිරීමට නොහැකි ආකාරයට පොලිස් නිලධාහු මාර්ගය අවහිර කරගෙන සිටිමින් එම ස්ථානයෙන් පා ගමන ඉදිරියට යෑම වැළැක්වීමට කටයුතු කළහ.
මේ නිසා පෙළපාළිය ලිප්ටන් වටරවුම හරහා යුනියන් පෙදෙස ඔස්සේ ඉදිරියට ගමන් කළ අතර, එහෙත් යුනියන් පෙදෙස අසලදී පොලිස් නිලධාහු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාර්න් සහ හමුදා නිලධාර්න් විශාල පිරිසක් යොදවා මාර්ගය අවහිර කර පාගමන ඉදිරියට යාම වැළැක්වීමට කටයුතු කෙරිණි.
එහෙත් පාගමනින් පැමිණි අති විශාල පිරිසක් අදාළ ස්ථානයෙන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අතර, එම අවස්ථාවේදී පොලීසිය විසින් කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ගමන ඉදිරියට යෑම වැළැක්වීමට කටයුතු කළේය. කදුළු ගෑස් එල්ල කිරීමේදී ජාබ් පාක්ෂිකයන් පිරිසක් ජාජබ නායක අනුර කුමාර දිසානායක මහතාව ආරක්ෂිත ස්ථානයකට කැඳවාගෙන යන ලදී.
මෙහිදී කඳුළු ගෑස් හා අධිපීඩන ජල ප්‍රහාර එල්ල වීම නිසා 28කට ආසන්න පිරිසක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පසුව ලිප්ටන් වටරවුමේදී විරෝධතා රැලියක් පැවැති අතර, එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,
"ජාතික ජනබලවේගය වටා විශාල වශයෙන් ජනතාව ඒකරාශී වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහලා ගොඩක් කලබල වී සිටිනවා, විටින් විට රනිල් වික්‍රමසිංහලාට, රාජපක්ෂලාට, බණ්ඩාරනායකලාට ජනතාව බලය ලබාදුන් එක දැන් ඉවරයි.
ලංකාවේ පළමු වතාවට දැන් පීඩිත පන්තියේ ජනතාවගේ ආණ්ඩුවක් සකස් කර ගැනීමට ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා, පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත්වෙලා දින 36ක් ගතවෙලා තියෙනවා. ඡන්ද විමසීම පැවැත්වීමට දින කිහිපයක් තිබියදී ඡන්දය නැති කරලා තියෙනවා.
දැන් තියෙන තත්ත්වය අනුව වික්‍රමසිංහලාට, රාජපක්ෂලාට බලය හිමිවෙන්නේ නෑ, ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්න තිබුණේ මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන්, ඒකට තමයි. මේ කණ්ඩායම් බයවෙලා තියෙන්නේ.
රනිල් හිතනවා නම් ඡන්දය දවස් කිහිපයකට පහු කරලා මේ ජනතාවගේ නැගිටීම පාලනය කර ගන්න පුළුවන් කියලා, ඒක සිදුවෙන්නේ නෑ, ජාතික ජනබලවේගය සකස් කර තිබෙන්නේ ඡන්ද කාලයට විතරක් නොවෙයි. ජනතාවට අසාධාරණයක් වන අවස්ථාවලදීත් ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ඒ නිසා ඡන්දය පැවැත්වීම පරක්කු වන දවසක් දවසක් පාසා සිදුවෙන්නේ පොලීසිය හමුදාව පවා අපේ පැත්තට එක්වෙන එක” යනුවෙන් කියා සිටියේය.
- ඉන්දික හේවාවිතාරණ (අද)
#අද