20/08/2026
දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම. - මොනරාගල දිස්ත්‍රික්කය
===================================
මොණරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අද දින පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව දිසාපතිතුමා අදහස් දැක්වීය.මේ වන විට දිස්ත්‍රික්කයේ වී ගබඩා පිරී පවතින බැවින්; ව්‍යාපාරය ලියාපදිංචි කර ඇති,ගබඩා පහසුකම් සහිත,කෙටුම් ධාරිතාව උපරිමය මෙට්‍රික් ටොන් 25 ක් පවතින කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටත්,සමූපකාර සමිති වලටත්, වී මිලදී ගැනීම සඳහා රජය මගින් මූල්‍ය පහසුකම් ලබා දෙන බව පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි ලියාපදිංචි වී මුදල් ලබා ගැනීමෙන් අනතුරුව,ඔවුන්ට වී මිලදී ගැනීමේ අවස්ථාව උදාවන බවත්,මේ වන විට කතරගම 07,බුත්තල 24,සෙවනගල 12,මොනරාගල 05,සියඹලාණ්ඩුව 30,බඩල්කුඹුර 05,වැල්ලවාය 26,තණමල්විල 12 ක් ආදී ලෙස වී මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති ගණන 121ක් වන බවත්, අද දිනයේ මුදල් ලැබුනහොත් හෙට දින සිටම වී මිලදී ගැනීම් සිදුවන බවත් දිසාපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්කයේ අර්ධ වාර්ෂික හාල් පරිභෝජන අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 26,000 ක් වන අතර ඒ සඳහා වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000 ක් වන බවත්,අඩු වයස් භෝග සඳහා අවධානය යොමු කළ යුතු බවත්,ගොඩ බෝග වගා කරන්නේ නම් ජල අවශ්‍යතාවය සපුරා ගත හැකි ප්‍රදේශවල වගාව සිදු කළ යුතු බවත්,කන්න රැස්වීම් වලදී ගන්නා ලද තීරණ වලට පටහැනි නොවන පරිදි කන්නය ඉදිරියට ගැනීමට අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.
දිස්ත්‍රික්කය පුරා පවතින කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත්,වල් වී ප්‍රභේද තුළින් මතුව පවතින ගැටලුව පිළිබඳවත්,කෘෂි ව්‍යාප්තිය හා පුහුණු වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත්,එල්නිනෝ තත්ත්වය සඳහා පවතින සූදානම පිළිබඳවත් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
මෙහිදී,කෘෂි අපනයන හා වැවිලි බෝග ප්‍රවර්ධනය පිළිබඳව සාකච්ඡා කළ අතර,බඩල්කුඹුර හා සියඹලාණ්ඩුව ප්‍රදේශවල පවතින නියඟය හමුවේ ගම්මිරිස් වගාව සඳහා වගා හානි සිදුවී ඇති බවත් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බවත් සාකච්ඡා කරන ලදී.
වගා හානි සඳහා රක්ෂණ වන්දි ගෙවීම් කඩිනම් කරන ලෙසත්,පවතින නියගය හමුවේ පොල් වගාවට සිදුවන සුදු මැස්සා රෝගය සඳහා කොහොඹ තෙල් ඉසීම මේ වන විට ආරම්භ කර ඇති බවත්,තේ ගම්මාන 500 වැඩසටහන පිළිබඳවත්,දිට්වා හානියෙන් ආපදාවට ලක් වූ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය පිළිබඳවත් එම ප්‍රතිසංස්කරණයන් කඩිනම් කිරීම අනිවාර්යෙන් කළ යුතු බවත්, මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදී.
ගිණි ගැනීම් සිදුවිය හැකි ස්ථාන පිළිබඳව හඳුනාගෙන,කඩිනම් වාර්තාවක් සපයන ලෙස දිසාපතිතුමා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා අලි,රිලව්,වඳුරන් වැනි සතුන්ගෙන් කෘෂි ආපදා වැඩි වශයෙන් සිදුවන බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී .
මොනරාගල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.ඩී.ඩබ්.ගුණසේකර මහතා සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්,සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරි මහත්ම මහත්මීන් පිරිසක් හා ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් කාර්යාලයේදී හා මාර්ගගත ක්‍රමය යටතේ මෙම අවස්ථාවට සහ සම්බන්ධ විය.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
මොනරාගල.