03/07/2026
ඩෙංගු උවදුර පාලනයට නුවරඑළිය මහනගර සභාවෙන් ක්‍රියාමාර්ග: යුද හමුදාව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් අරඹයි
රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට විශාල රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 30 ඉක්මවා ගොස් ඇත. මෙම අවදානම් සහගත තත්ත්වයෙන් නගරවාසීන් මෙන්ම නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නුවරඑළිය මහනගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය මූලිකත්වය ගෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ මෙහෙයුම යටතේ නගර සභා බලප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සහ අවදානම් කලාප පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
ක්‍රියාත්මක වන ප්‍රධාන පියවර:
ක්ෂේත්‍ර පරීක්ෂණ සහ සොදිසි මෙහෙයුම්: නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ ආරක්ෂක අංශ සාමාජිකයින් කණ්ඩායම් වශයෙන් බෙදී නිවාස, හෝටල්, සංචාරක නිකේතන, ඉදිකිරීම් භූමි මෙන්ම පොදු ස්ථාන පරීක්ෂා කරනු ලබයි.
නීතිමය පියවර ගැනීම: මදුරුවන් බෝවන අයුරින් පරිශ්‍රයන් පවත්වාගෙන යන, අවවාද නොතකා කටයුතු කරන පුද්ගලයන්ට සහ ආයතන ප්‍රධානීන්ට විරුද්ධව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු සිදු කරනු ලබයි.
මහජනතාවගෙන් කෙරෙන කාරුණික ඉල්ලීම:
නුවරඑළිය ප්‍රදේශයට පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බැවින්:. ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය සහ අවට පරිසරය සතියකට වරක්වත් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ජලය රැඳෙන බඳුන් (ටින්, බෝතල්, වැහි පිහිලි, ටයර්, මල් පෝච්චි ආදිය) වහාම ඉවත් කිරීමට වගබලා ගන්න.
උණ හෝ වෙනත් ඩෙංගු රෝග ලක්ෂණ ඇත්නම් ස්වයං ප්‍රතිකාරවලින් වැළකී වහාම ළඟම ඇති රෝහලෙන් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
ඩෙංගු රෝගයෙන් තොර සෞඛ්‍ය සම්පන්න නුවරඑළියක් නිර්මාණය කිරීම සඳහා ක්‍රියාත්මක වන මෙම ජාතික වගකීමට රාජ්‍ය නිලධාරීන්ට සහ ආරක්ෂක අංශ වෙත ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න.