Law site නීති අඩවිය சட்டத் தளம்

Law site  නීති අඩවිය சட்டத் தளம் Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Law site නීති අඩවිය சட்டத் தளம், Government Organization, Badulla.

13/02/2026

Mark your calendars!

​Hulftsdorp Book Fest 2026 is happening from February 17th to 20th at the Sri Lanka Law College Main Hall.

Clear your schedule, the books are calling. See you there!

13/02/2026
26/09/2025

පාරට බහින්න කලින් මේ දඩ ගැන දැනගෙන යන්න! 🚗💨 සමාජ මාධ්‍යයේ යන බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා!

ආයුබෝවන් Law Guide අපගේ මිතුරනි! 🙏

සමාජ මාධ්‍ය ජාලා වල ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන දඩ සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් හුවමාරු වන බව අපගේ නිරීක්ෂණයට ලක්වුණා. 😥 එමගින් බොහෝ දෙනෙක් නොමග ගොස් ඇති බවත් අපට පෙනී ගියා.

එබැවින්, ඔබව නිවැරදිව දැනුවත් කිරීමේ අරමුණින්, 2019 අංක 10 දරන මෝටර් වාහන (සංශෝධන) පනතට, අනෙකුත් සංශෝධන පනත් හා ප්‍රධාන පනතට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සත්‍ය සහ නිවැරදි දඩ මුදල් සහ දඬුවම් පිළිබඳ සම්පූර්ණ විස්තරය, Law Guide පිටුව මගින් ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළා. 📜⚖️

වගකීම් සහගත රියදුරෙකු ලෙස මේ ගැන දැනුවත් වී, ඔබගේත් අන් අයගේත් ආරක්ෂාව තහවුරු කරගන්න. 🚦

1. වයසට අනුව රිය පදවමු! 🔞 (බාලවයස්කාර රිය පැදවීම)

මාර්ග ආරක්ෂාවට රියදුරුගේ පරිණතභාවය අතිශයින්ම වැදගත්. ඒ අනුව, රිය පැදවීම සඳහා නව අවම වයස් සීමාවන් හඳුන්වා දී තිබෙනවා.

👉 සැහැල්ලු වාහනයක් (Light Vehicle):

වයස අවුරුදු දහඅට (18) සම්පූර්ණ විය යුතුයි.

👉 බර වාහනයක් (Heavy Vehicle):

වයස අවුරුදු විසි එක (21) සම්පූර්ණ විය යුතුයි.

මෙම නීතිය කැඩුවොත්:

👉 පළමු වරට දඩය රු. 30,000 - රු. 40,000 අතර.

👉 දෙවන වරට දඩය රු. 40,000 - රු. 50,000 අතර.

🛑 සැලකිය යුතුයි:

වලංගු රියදුරු බලපත්‍රයක් නැති කෙනෙකුට ඔබේ වාහනය 🚘 පැදවීමට දුන්නොත්, රියදුරා වගේම වාහනයේ අයිතිකරු වන ඔබත් 👬 වරදකරුවන් වෙනවා! ඒ සඳහා,

👉 පළමු වරට දඩය රු. 25,000 - රු. 30,000 අතර.

👉 දෙවන වරට දඩය රු. 30,000 - රු. 50,000 අතර.

එපමණක් නෙවෙයි, මේ වරදට ඔබව මාස හයක් දක්වා සිරගත ⛓️ කිරීමට පවා නීතියෙන් පුළුවන්!

2. වේගය පාලනය කරගන්න! 🏎️💨 (අධික වේගය)

අධික වේගය කියන්නේ අනතුරුවලට අත වනන එකක්. වේග සීමාව උල්ලංඝනය කිරීමේදී දඩ මුදල තීරණය වෙන්නේ ඔබ වේගය ඉක්මවපු ප්‍රමාණය අනුවයි.

👉 වේග සීමාව 20% දක්වා ඉක්මවීම:

දඩය රු. 3,000 - රු. 5,000 අතර.

👉 වේග සීමාව 20%ත් 30%ත් අතර ඉක්මවීම:

දඩය රු. 5,000 - රු. 10,000 අතර.

👉 වේග සීමාව 30%ත් 50%ත් අතර ඉක්මවීම:

දඩය රු. 10,000 - රු. 15,000 අතර.

👉 වේග සීමාව 50%ට වඩා ඉක්මවීම:

දඩය රු. 15,000 - රු. 25,000 අතර.

🛑 සැලකිය යුතුයි:

සුළු වේගයකින් නම් ස්ථානීය දඩයක් නියම කරන්නත්, අධිවේගී මාර්ගවලදී වගේ බරපතළ ලෙස වේගය ඉක්මවුවොත් අනිවාර්යයෙන්ම අධිකරණයට යොමු කරන්නත් පොලිසියට 👮‍♂️ බලය තියෙනවා.

3. දුම්රිය හරස් මාර්ගයේදී ඉවසීමෙන්! 🛤️🛑

දුම්රිය ගේට්ටුව වසා ඇති විට, සංඥා නොසලකා හරිමින් හෝ නිලධාරී අණට අකීකරු වෙමින් මාර්ගය හරහා යාම මහා විපතකට අත වැනීමක්!

👉 පළමු වරට දඩය රු. 25,000 - රු. 30,000 අතර.

👉 දෙවන වරට දඩය රු. 30,000 - රු. 40,000 අතර සහ මාස 6කට රියදුරු බලපත්‍රය අත්හිටුවීම.

👉 තුන්වන වරට දඩය රු. 40,000 - රු. 50,000 අතර සහ මාස 12කට රියදුරු බලපත්‍රය අත්හිටුවීම.

4. රිය පදවන විට දුරකථනයෙන් ඈත් වන්න! 📱🚫

වාහනයක් ධාවනය කරන විට ජංගම දුරකතනයක් හෝ වෙනත් සන්නිවේදන උපකරණයක් (Bluetooth headset, hands-free ඇතුළුව) භාවිත කිරීම සපුරා තහනම්.

👉 පළමු වරට දඩය රු. 2,500 - රු. 7,500 අතර.

👉 දෙවන වරට දඩය රු. 7,500 - රු. 15,000 අතර.

👉 තුන්වන වරට දඩය රු. 15,000 - රු. 25,000 අතර.

🛑 සටහන

මෙහිදී පනත අදහස් කරන්නේ චංචල ලෙක්ට්‍රොනික උපකරණ ගැනයි. ස්ථිර පද්ධති (In-built Systems) එනම් වාහනය නිෂ්පාදනය කිරීමේදී එහි අන්තර්ගත කර ඇති (in-built) Bluetooth හෝ call answering system එක "චංචල" උපකරණ ගණයට නොවැටේ.

5. බීමත්ව රිය පදවා අනතුරකින් තුවාල සිදු කිරීම 🤕

මෙය ඉතා බරපතළ වරදක් වන අතර, දඬුවම තුවාලයේ ස්වභාවය මත රඳා පවතිනවා.

👉 යම් තැනැත්තෙකුට තුවාලයක් සිදු කළ විට:

දඩය රු. 30,000 - රු. 50,000 අතර හෝ වසරක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම.

👉 යම් තැනැත්තෙකුට බරපතළ තුවාලයක් සිදු කළ විට:

දඩය රු. 50,000 - රු. 100,000 අතර හෝ වසර 5ක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම සහ රියදුරු බලපත්‍රය අවලංගු කිරීම.

6. රක්ෂණයක් නොමැතිව රිය පැදවීම 📄❌

සෑම වාහනයකටම වලංගු රක්ෂණාවරණයක් තිබීම අනිවාර්යයි. රක්ෂණයක් නොමැතිව රිය පැදවීම සඳහා

දඩය රු. 25,000 - රු. 50,000 අතර හෝ මාසයක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම.

🛑 සැලකිය යුතුයි:

මෙහිදී ඔබේ රියදුරු බලපත්‍රය මාස 12ක් දක්වා අවලංගු කළ හැකි නමුත්, අනතුරක් සිදුවී නොමැතිනම් එම කාලය අඩු කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.

7. බීමතින් රිය පැදවීමෙන් වළකින්න! 🍻🥴

බීමතින් රිය පැදවීම ඔබගේත්, අන් අයගේත් ජීවිත අනතුරේ හෙළන ක්‍රියාවක්.

දඩය රු. 25,000 - රු. 30,000 අතර හෝ මාස 3ක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම සහ මාස 12කට රියදුරු බලපත්‍රය අත්හිටුවීම.

8. අපරීක්ෂාකාරීව/අන්තරායදායක ලෙස හෝ නොසැලකිලිමත්ව රිය පැදවීම

👉පළමු වරට දඩය රු. 10,000 - රු. 25,000 අතර.

👉දෙවන වරට දඩය රු. 15,000 - රු. 30,000 අතර සහ රියදුරු බලපත්‍රය අත්හිටුවීම.

👉 තුන්වන වරට දඩය රු. 20,000 - රු. 40,000 අතර හෝ මාස 6ක සිර දඬුවමක් හෝ මේ දඬුවම් දෙකම සහ බලපත්‍රය අවලංගු කිරීම.

9. බීමත්ව රිය පදවා මරණයක් සිදු කිරීම ⚰️💔
මෙය පනතේ ඇති බරපතළම වරදයි.

දඩය රු. 100,000 - රු. 150,000 අතර.

මීට අමතරව, වසර 2ත් 10ත් 😳 අතර සිර දඬුවමක් හෝ දඩය සහ සිර දඬුවම යන දෙකම නියම කළ හැකිය.

රියදුරු බලපත්‍රය ද ස්ථිරවම අවලංගු කෙරේ.❌

10. දුම් සහතිකය 💨 හෝ යෝග්‍යතා සහතිකය 📜 නොමැතිව ධාවනය

👉 පළමු වරට දඩය රු. 2,500 - රු. 7,500 අතර.

👉 දෙවන වරට දඩය රු. 7,500 - රු. 15,000 අතර.

👉 තුන්වන වරට දඩය රු. 15,000 - රු. 25,000 අතර.

11. පනතෙන් විශේෂයෙන් ආවරණය නොවූ වෙනත් වැරදි 😱

👉 පළමු වරට දඩය රු. 2,500 - රු. 7,500 අතර.

👉 දෙවන වරට දඩය රු. 7,500 - රු. 15,000 අතර.

👉 තුන්වන වරට දඩය රු. 15,000 - රු. 25,000 අතර.

අමතක කරන්න එපා! දීමනා අඩු කිරීමේ ලකුණු ක්‍රමය (Demerit Points)

දැන් ඔබ කරන සෑම රථවාහන වරදකටම, දඩ මුදලට අමතරව ඔබේ රියදුරු බලපත්‍රයට දීමනා අඩු කිරීමේ ලකුණු (Demerit Points) එකතු වෙනවා. නියමිත ලකුණු සීමාව ඉක්මවූ විට, ඔබේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට හෝ සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට හැකිය.

මාර්ග නීති යනු ඔබව පාලනය කිරීමට නොව, ඔබව ආරක්ෂා කිරීමට පවතින දෙයකි. වගකීමෙන් රිය පදවා, ඔබගේත්, ඔබගේ ආදරණීයයන්ගේත්, මෙන්ම මග යන අනෙකුත් සියලු දෙනාගේත් ජීවිත ආරක්ෂා කරමු! 🙏

➕ අමතර දැනුවත් කිරීම

දඩ ගෙවන්න දැන් පෝලිම් වල රස්තියාදු වෙන්න ඕන නෑ! 💻📱

🤩 ඉස්සර වගේ දඩ කොළයක් ගෙවන්න තැපැල් කාර්යාල වල, බැංකු වල දිග පෝලිම් වල කාලය නාස්ති කරන්න දැන් අවශ්‍ය වෙන්නේ නෑ.

ශ්‍රී ලංකා රජයේ නිල ගෙවීම් ද්වාරය වන GovPay සේවාව හරහා ඔබට ඕනෑම තැනක සිට, ඔබගේ ජංගම දුරකථනයෙන්ම 🤳 හෝ පරිගණකය 💻 හරහා ඉතාම පහසුවෙන් දඩ මුදල් ගෙවීමේ හැකියාව දැන් හඳුන්වා දී තිබෙනවා.

ගෙවීම් කරන ආකාරය පියවරෙන් පියවර

👉 GovPay සඳහා පහසුකම් සලසන ඔබගේ බැංකුවේ Mobile/Internet Banking App එකට හෝ වෙනත් Fintech App (උදා: FriMi, Genie) එකට ලොග් වන්න.

👉 ගෙවීම් (Payments/Bill Payments) යටතේ ඇති "GovPay" හෝ "Government Payments" තෝරන්න.

👉 ආයතන ලැයිස්තුවෙන් "Sri Lanka Police" 👮‍♂️ තෝරා, සේවා ලැයිස්තුවෙන් "Traffic Fine" යන්න තෝරන්න.

👉 ඔබගේ දඩ පත්‍රිකාවේ ඇති අංකය, වාහන අංකය, රියදුරු බලපත්‍ර අංකය සහ අදාළ පොලිස් ස්ථානය වැනි ඉල්ලා ඇති තොරතුරු නිවැරදිව ඇතුළත් කරන්න.

👉 ගෙවිය යුතු දඩ මුදල තිරයේ දිස්වූ පසු, එය තහවුරු කර (confirm) ගෙවීම සම්පූර්ණ කරන්න.

🛑 විශේෂයෙන් සැලකිය යුතුයි:

මේක දැකලා සතුටු වුණාට පොඩ්ඩක් ඉන්න! 😅 මෙම GovPay ඔස්සේ දඩ ගෙවීමේ ක්‍රමය දැනට වඩාත් පුළුල්ව සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත (විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය) සහ අධිවේගී මාර්ග ආශ්‍රිතවයි. 🛣️
දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට මෙම පහසුකම ක්‍රමයෙන් ව්‍යාප්ත කරමින් පවතින නිසා, එම ප්‍රදේශවලදී මෙම සේවාව ලබාගැනීමේදී ඔබට තවමත් යම් අපහසුතාවයකට මුහුණ දීමට සිදුවිය හැකියි. ඉදිරියේදී රට පුරාම මෙම සේවාව ක්‍රියාත්මක වූ පසු දඩ ගෙවීම තවත් පහසු වේවි! 🙏

එතකම්, මේ පහසු ක්‍රමය කොළඹ අවටදී ඔබට විශාල කාලයක් ඉතිරි කර දෙනු ඇත. 💪

මෙම සවිස්තරාත්මක ලිපිය කියවීමෙන් ඔබගේ දැනුමට යමක් එකතු වුණා නම්, එය අපට මහත් සතුටක්. 😊

ඔබට මෙය වැදගත් යැයි හැඟේ නම්, Like 👍 එකක් දමා, ඔබගේ අදහස් Comment 💬 කරන්න.

වඩාත්ම වැදගත් දේ, සමාජ මාධ්‍යයේ පැතිර යන බොරු ප්‍රචාර නවත්වා, නිවැරදි තොරතුරු සමාජගත කිරීමට ඔබටද වගකීමක් ඇත. ඒ සඳහා, නොමග ගිය තවත් අයෙකු දැනුවත් කිරීමේ අරමුණින් මෙම ලිපිය ඔබගේ Wall එකේ සහ Groups වල Share 🔄 කරන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබගේ එක Share එකකින් තවත් කෙනෙක් අනවශ්‍ය දඩයකින් හෝ නීතිමය ගැටලුවකින් බේරාගැනීමට හැකිවේවි!

Law Guide සමග එක්ව, නිවැරදි තොරතුරු සමාජගත කරමු. 💪

සැකසුම: ✍️ නීතිඥ නාලින්ද දිසානායක.

Admins Law Guide ©️

08/09/2025

පරීක්ෂාවකදී පොලිස් නිලධාරියකු ඔබට පහර දුන්නොත් ඔබේ අයිතිය - මේ දේවල් නොදැන නම් ඉන්න එපා! 👮‍♂️⚖️💪

සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වූ, පොලිස් නිලධාරියෙකු සිවිල් පුද්ගලයෙකුට මුගුරකින් පහර දෙන වීඩියෝව ඔබත් දකින්නට ඇති. 😥 එය දුටු බොහෝ දෙනෙකුට ඇතිවූ ප්‍රශ්න කිහිපයකි:

🤷 පොලිසියට එහෙම ගහන්න පුලුවන්ද? 🤔

🤷 අපිට ආත්මාරක්ෂාවටවත් යමක් කරන්න බැරිද?

🤷 පහර කෑවොත් අපි මොකද කරන්නේ? 🤕

🤷 මේ ගැන වීඩියෝ කළාට කමක් නැද්ද? 📸

මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු, නීතිමය පසුබිම සහ ඔබගේ අයිතිවාසිකම් ගැන සරලව සහ පැහැදිලිව කතා කරන්නයි මේ සූදානම.

👇පෙර කී වීඩියෝවට අදාළ ලින්ක් එක මෙතැනින් බලන්න 🎥

https://www.facebook.com/share/r/1C5p54oC2h/

1. පොලිසියට ඔබට පහර දිය හැකිද? 🤔

මේ ප්‍රශ්නයට ඇති කෙටිම සහ සෘජුම පිළිතුර "නැහැ" යන්නයි. ❌🙅‍♂️

ශ්‍රී ලංකාවේ නීතියට අනුව, කිසිදු පොලිස් නිලධාරියෙකුට විමර්ශනයකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී සැකකරුවෙකුට හෝ සාමාන්‍ය පුරවැසියෙකුට අතින්, පයින් හෝ මුගුරකින් පහර දීමට බලයක් නැත. පොලිස් නිලධාරීන්ට පැවරී ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම, සාමය රැකීම සහ විමර්ශන පැවැත්වීම මිස, දඬුවම් පැමිණවීම නොවේ. දඬුවම් නියම කිරීමේ එකම බලය ඇත්තේ අධිකරණයට පමණි. ⚖️

📜 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව පැහැදිලිවම වධහිංසාවලට ලක් කිරීම, කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් දීම තහනම් කර ඇත.

⚖️ 1994 අංක 22 දරන වධහිංසා සහ වෙනත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම් පිළිබඳ සම්මුති පනත යටතේ, වධහිංසාව ලබා දීම බරපතල අපරාධයකි.

"සෙසු පොලිස් නිලධාරීන්ටත් ආදර්ශයක් වන පරිදි උපරිම දඬුවමක් නියම කරන්න" කියා නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථා සහ, එවැනි වැරදි සිදුකළ නිලධාරීන්ට මරණීය දණ්ඩනය පවා නියම වූ නඩු තීන්දු අප රටේ ඉතිහාසයේ තිබේ.

මෙවැනි ක්‍රියාවන්හි බරපතලකම සහ එහි නීතිමය ප්‍රතිවිපාක ඉතිහාසය දෙස බැලීමේදී මනාව පැහැදිලි වේ. ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ වත්තල පොලිස් නඩු තීන්දුව මීට ඇති හොඳම උදාහරණයකි. ⚖️ මෙම නඩුවේදී, වැරදීමකින් අත්අඩංගුවට ගෙන වත්තල පොලීසියේදී අමානුෂික ලෙස වධහිංසාවට ලක් වූ ජෙරාඩ් මර්වින් පෙරේරා මහතා එම තුවාල හේතුවෙන් පසුව මිය ගියේය. 😢🕊️ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ( SCFR 328/2002), 1994 අංක 22 දරන වධහිංසාවට එරෙහි සම්මුති පනත යටතේ ප්‍රථම වරට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දෙන ලදී. 👨‍⚖️⛓️

තවද, අඟුලාන පොලිස් ස්ථානයේදී තරුණයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ට මරණ දඬුවම හිමි විය. මීට අමතරව, පොලිස් අත්අඩංගුවේදී මියයන පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ (ශ්‍රියානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ) නඩුව සහ අතීතයේ මහත් ආන්දෝලනයට ලක්වූ (දොඩම්පේ මුදලාලි නඩුව) වැනි නඩු තීන්දු ගණනාවක්ම, මෙවැනි අනීතික ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයේ පිහිට පැතිය හැකි බවට ඇති හොඳම උදාහරණ වේ.

2. පොලිස් නිලධාරියෙකු පහර දෙන විට ආත්ම ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කළ හැකිද? 🤺

මෙය ඉතා සංකීර්ණ නමුත් වැදගත් කරුණකි. 🧠💡 සාමාන්‍යයෙන්, "සද්භාවයෙන්" 🛡️ තම රාජකාරිය කරන රාජ්‍ය නිලධාරියෙකුට එරෙහිව ආත්ම ආරක්ෂාවේ අයිතිය භාවිතා කළ නොහැක.

නමුත්, යම් නිලධාරියෙක් "ද්වේශ සහගතව" 😠, එනම් පෞද්ගලික තරහක් මත හෝ නීතියේ සීමාවෙන් එහාට ගොස් ඔබට පහර දෙන්නේ නම්, ඔහු හෝ ඇය "සද්භාවයේ" ආරක්ෂාවෙන් බැහැර වේ. එවැනි අවස්ථාවකදී, ඔබගේ ජීවිතය හෝ ශරීරය ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් බලය යෙදවීමට ඔබට නීත්‍යානුකූලව ඉඩක් තිබිය හැකි වුවත්, මෙය ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. ⚠️ මන්ද, පසුව අධිකරණය හමුවේ එය ඔප්පු කිරීම අතිශයින් දුෂ්කර විය හැක. හැකි සෑම විටම ගැටුම් මගහැර, පසුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් බුද්ධිමත්ය. 🤔🧘‍♂️(මෙය ආත්ම ආරක්ෂාවේ අයිතිය ක්‍රියා නොකර සිටීමට කරන විධානයක් නොවෙයි. එය ඔබට ඇති අයිතියකි, ඔප්පු කිරීමට අවශ්‍ය සාක්ෂි ඔබ ළඟ තබා ගැනීම අනිවාර්ය වේ)

3. ඔබේ දුරකතනයේ බලය - වීඩියෝ කිරීමේ අයිතිය 📱🎥

ඔව්, ඔබට පොලිස් නිලධාරීන්ගේ රාජකාරිමය ක්‍රියාකාරකම් වීඩියෝ කිරීමට පූර්ණ හැකියාව පවතී! ✅

පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM-924/CRTM-762 දරන චක්‍රලේඛයට අනුව, මහජනතාවට පොලිස් ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැත. 📜✍️

🫵 ඇයි මෙය වැදගත්? 💡

👉🔍 එය විනිවිදභාවය සහතික කරයි.

📂 එය පොලිස් නිලධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා සඳහා සාක්ෂියක් වේ.

🎞️ 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතේ 4 වන වගන්තිය යටතේ, සංස්කරණය නොකළ වීඩියෝ පටයක් අධිකරණයේදී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.

නමුත්, මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න! ⚠️

🚫 රාජකාරියට බාධා නොකරන්න

විමර්ශනයකට හෝ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා වන ආකාරයෙන් හැසිරීමෙන් වළකින්න.

🤫 සංවේදී අවස්ථා

පවුල් ආරවුල්, ළමා අපචාර සිදුවීම් හෝ වින්දිතයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථා වැනි සංවේදී කාරණා වීඩියෝ කිරීමෙන් ඔවුන්ව තවත් අගතියට පත් කිරීමෙන් වළකින්න.

😡🔥 වෛරය පැතිරවීමෙන් වළකින්න

ලබාගත් වීඩියෝ පට සංස්කරණය කර, ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි මහජනතාව තුළ වෛරී සහ ද්වේශ සහගත හැඟීම් ඇතිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නීති විරෝධී වන අතර, ඔබට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඉඩ ඇත.

4. ඔබ පහර කෑමට ලක්වුවහොත් ගත යුතුම ක්‍රියාමාර්ග! 📋🚑

ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දුනහොත්, කිසිසේත්ම බිය නොවී, කලබල නොවී, ක්‍රමානුකූලව මෙම පියවර අනුගමනය කරන්න:

▶️ වහාම රෝහල් ගත වන්න! 🏥🚑

👉 සුළු තුවාලයක් යැයි සිතා නොසලකා හරින්න එපා. අභ්‍යන්තර තුවාල තිබිය හැක.

👉 අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (JMO) හමුවන්න. සිදුවූ සියල්ල (පහර දුන් ස්ථාන, වේලාව, නිලධාරීන්ගේ විස්තර) පැහැදිලිව පවසා වෛද්‍ය වාර්තාවේ සටහන් කරවා ගන්න. මෙය ඔබගේ නඩුවේ වටිනාම සාක්ෂියයි! 👨‍⚕️📝

▶️ නීතිඥ සහාය ලබාගන්න! 👨‍⚖️👩‍⚖️

👉 නීතිඥයෙකු නොමැතිව රෝහල් පොලීසියට කටඋත්තර දීමෙන් වළකින්න. ඔබට නීති ආධාර කොමිසමෙන් හෝ මානව හිමිකම් සම්බන්ධව ක්‍රියාකරන සංවිධාන වලින් නොමිලේ සහාය ලබාගත හැක.

▶️ සාක්ෂි එක්රැස් කරන්න! 🕵️‍♂️📂

👉 සිද්ධිය දුටු අයගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගන්න.

👉 අදාළ ස්ථානයේ CCTV දර්ශන ඇත්නම් ඒවා ලබාගැනීමට උත්සාහ කරන්න. 📹

👉 නිසි බලධාරීන් දැනුවත් කරන්න! ☎️📞

👉 ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හදිසි ඇමතුම් අංකය (1996) අමතන්න. 🆘 ඔබ පොලීසියේ රඳවාගෙන සිටී නම්, ඔවුන්ට මැදිහත් වී ඔබව ආරක්ෂා කිරීමට හැකියාව ඇත.

මාර්ගගත ක්‍රමවේදය මගින්ද ඔබට පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. එම දිගුව පහත පරිදි වේ 👇

https://www.hrcsl.lk/make-a-complaint/

▶️ "පොලිස්පතිට කියන්න" ("Tell IGP") ලෙස නම් කර ඇති www.police.lk වෙබ් අඩවියේ කොටස හරහා හෝ අදාළ පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරීවරයාට, පොලිස් අධිකාරීවරයාට මෙන්ම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලිඛිතව පැමිණිලි කරන්න. ✍️

ඔබට පහත දිගුව භාවිතා කළ හැක 👇

https://telligp.police.lk/

දැන් ඔබට පොලිස්පතිවරයාට WhatsApp මාර්ගයෙන් පවා දැනුම් දීමට හැකියාවක් ඇත.

071- 8598888

▶️ අධිකරණයට කියන්න! 🏛️🗣️

👉 ඔබව මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළහොත්, "මට පොලීසිය ගැහුවා, වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍යයි" කියා නිර්භයව පවසන්න.

▶️ කාලසීමා ගැන දැනුවත් වන්න! ⏳🗓️

👉 මූලික අයිතිවාසිකම් නඩුවක් සිදුවීම වී දින 30ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ යුතුය. (නමුත්, ඔබ රෝහල්ගතව හෝ රිමාන්ඩ් භාරයේ සිටියේ නම්, එම කාලය ඉකුත් වූ පසු දින 30 ගණනය කෙරේ). මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් මෙම කාලය දීර්ඝ කර ගැනීමටද අවස්ථාව ඇත.

5. ඔබට දැමිය හැකි නඩු වර්ග මොනවාද? 🏛️

📜 මූලික අයිතිවාසිකම් පෙත්සමක්

වධහිංසාවට එරෙහි අයිතිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරිය හැක. මෙහිදී ඔබට වන්දි මුදලක් ලබාගැනීමටද හැකිය. 💰

⛓️ වධහිංසා පනත යටතේ නඩුවක්

අදාළ නිලධාරියාට එරෙහිව අපරාධ නඩුවක් පැවරීමට නීතිපතිවරයාට බලය ඇත.

✍️ පහරදීම සම්බන්ධයෙන් පෞද්ගලික පැමිණිල්ලක්

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.

💸 වන්දි ඉල්ලා සිවිල් නඩුවක්

ඔබට සිදුවූ ශාරීරික, මානසික සහ මූල්‍යමය හානි සඳහා වන්දි ඉල්ලා දිසා අධිකරණයේ නඩු පැවරිය හැක.

පොලිස් නිලධාරීන්ට සහ මහජනතාවට පණිවිඩයක් 🤝

පොලිස් නිලධාරියෙකු යනු හුදෙක් නිල ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු නොවේ. ඔහු හෝ ඇය නීතියේ සහ මහජන ආරක්ෂාවේ භාරකරුවෙකි. 👮‍♂️🛡️ ඕනෑම ආතතිකාරී මොහොතකදී, ඉවසීමෙන් සහ ඉහළම විනයකින් යුතුව සන්සුන්ව කටයුතු කිරීම ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයේ කොටසකි. නීතිය අතට ගැනීම නොව, නීතිය රැකීම ඔවුන්ගේ පරම යුතුකමයි.

​නීතියේ රැකවරණය ලැබෙන්නේ කාටද? පොලිස් ආඥා පනතේ 📜 මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේද පැහැදිලිවම සඳහන් වන්නේ, පොලිස් නිලධාරියෙකුට නීතියේ ආරක්ෂාව හිමිවන්නේ "සද්භාවයෙන්" (Good Faith), එනම් යහපත් චේතනාවෙන් තම නිල බලය තුළ රාජකාරී කරන විට පමණි. එය නිලධාරියා සතු ආරක්ෂක පලිහයි. 🛡️ නමුත්, යම් නිලධාරියෙකු පෞද්ගලික වෛරයකින්, ද්වේශ සහගතව (Maliciously) 😠 හෝ නීතියේ සීමාව දැනුවත්වම ඉක්මවා ගොස් ක්‍රියා කළහොත්, ඒ මොහොතේම ඔහුට හෝ ඇයට හිමි "සද්භාවයේ" ආරක්ෂක පලිහ බිඳී යයි. 🛡️💥 එවිට ඔවුන් සාමාන්‍ය පුරවැසියෙකු ලෙසම තමන් කරන ක්‍රියාවේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුතුය.

​නීතිය මෙතරම් පැහැදිලි නම්, තවමත් මෙවැනි සිදුවීම් අපට අසන්නට ලැබෙන්නේ ඇයි? 🤔
එයට ප්‍රධාන හේතුවක් වන්නේ, "වධහිංසා කිරීමෙන් තොරව අපරාධ මැඩලිය නොහැකිය" යන ඉතා භයානක සහ වැරදි ආකල්පය 🧠, ඇතැම් පොලිස් නිලධාරීන් තුළ මෙන්ම, පොදුවේ සමාජයේද ගැඹුරටම මුල් බැසගෙන තිබීමයි. ඊටත් එහා ගිය ගැටලුව වන්නේ, නූතන ලෝකයට ගැළපෙන විද්‍යාත්මක අපරාධ පරීක්ෂණ ක්‍රමවේද (Scientific Investigation Methods) 🔬🧬 පිළිබඳව මෙරට පොලිස් නිලධාරීන්ට විධිමත්, අඛණ්ඩ පුහුණුවක් නොලැබීමයි. එම පුරප්පාඩුව, පැරණි ක්‍රමවේද මතම යැපීමට ඔවුන්ව පොළඹවයි.

බොඩි කැමරා (Body Cams) - දෙපාර්ශ්වයම සුරකින නවීන විසඳුම

ගැටුම් අවම කර, විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වන 'බොඩි කැමරා' (Body Cams) 📹 තාක්ෂණය ශ්‍රී ලංකා පොලීසියට හඳුන්වා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කළ යුතුය. පුරවැසියාගේ පැත්තෙන් බලන විට, මෙය බලය අයුතු ලෙස යෙදවීම වැළැක්වීමට සමත්, පාක්ෂික නොවන ඩිජිටල් සාක්ෂිකරුවෙකි. 👁️‍🗨️ එලෙසම, සිය රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරියා, අසත්‍ය සහ අසාධාරණ චෝදනාවලින් ආරක්ෂා කරන ප්‍රබල පලිහක් 🛡️ ලෙසද බොඩි කැමරාව ක්‍රියා කරයි. එබැවින්, මෙය එක් පාර්ශ්වයක් පමණක් ඉලක්ක කළ පියවරක් නොව, පුරවැසියා සහ නිලධාරියා අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගා, සමස්ත පොලිස් සේවයේම වෘත්තීයභාවය ඉහළ නැංවීමට සිදුකරන අත්‍යවශ්‍ය ආයෝජනයකි. ⚖️🤝

​අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ, සෑම විටම පොලිසියට ඇඟිල්ල දික් කරනවාම වෙනුවට මහජනතාව ලෙස, අපගේ අයිතිවාසිකම් ගැන දැනුවත් ව සිට, අපගේ වගකීම් ඉටුකිරීමද වැදගත් වේ. 👥 නීතියට ගරු කරමින්, පොලිස් නිලධාරීන්ගේ නීත්‍යානුකූල රාජකාරි වලට සහාය වෙමු. නමුත්, කිසිදු අවස්ථාවක අනීතික ක්‍රියාවන් සහ බලය අයුතු ලෙස යෙදවීම අනුමත නොකරමු.

අප සැම එක්ව නීතියට ගරු කරන, මානව අයිතිවාසිකම් සුරකින, වඩාත් යහපත් සහ සුන්දර ශ්‍රී ලංකාවක් ගොඩනගමු! 🇱🇰❤️✨

✍️ සැකසුම : නීතිඥ නාලින්ද දිසානායක.

මෙම වටිනා දැනුම ඔබ ළඟම තබා නොගෙන, ඔබගේ ආදරණීයයන් සහ මිතුරන්වත් දැනුවත් කිරීම සඳහා මෙම ලිපිය හැකිතාක් Share කරන්න. 🔄👥

මෙවැනි හරවත් ලිපි ඉදිරියටත් ඔබ වෙත ගෙන ඒමට අපව දිරිමත් කිරීමටත්, නවතම ලිපි පළ වූ සැනින් දැනගැනීමටත් අපගේ Law Guide පිටුවට Like 👍 එකක් දාන්නත් අමතක කරන්න එපා!

දැනුවත් පුරවැසියන් එක්ව ගොඩනගන යහපත් සමාජයක් සඳහා, අපි එක්වෙමු! ✨🇱🇰

#ඔබේඅයිතිය #නීතියදැනගමු #මානවහිමිකම් #යුක්තිය #පුරවැසිබලය #වධහිංසාවටඑරෙහිව #සමාජදැනුවත්කම

Address

Badulla

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Website

Alerts

Be the first to know and let us send you an email when Law site නීති අඩවිය சட்டத் தளம் posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share