Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

  • Home
  • Sri Lanka
  • Bandaragama
  • Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!! Publish only Buddha Darmaya

06/09/2026 දින උදෑසන පින්වත් රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් දියගම සමථ විදර්ශනා සෙනසුනේදී පැවැත් වූ උද...
06/09/2026

06/09/2026 දින උදෑසන පින්වත් රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් දියගම සමථ විදර්ශනා සෙනසුනේදී පැවැත් වූ උදෑසන පිණ්ඩපාත දානය සහ ධර්ම දේශනාවේ පින්බර දසුන්

තමන්ගේ දෑතින් කළා වූ පිංකමක් සේ දැක සතුටු වේවා.. අනුමෝදන් වේවා

05/09/2026 දින උදෑසන පින්වත් රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් දියගම සමථ විදර්ශනා සෙනසුනේදී පැවැත් වූ උද...
06/09/2026

05/09/2026 දින උදෑසන පින්වත් රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ වැඩම කිරීමෙන් දියගම සමථ විදර්ශනා සෙනසුනේදී පැවැත් වූ උදෑසන පිණ්ඩපාත දානය සහ ධර්ම දේශනාවේ පින්බර දසුන්

තමන්ගේ දෑතින් කළා වූ පිංකමක් සේ දැක සතුටු වේවා.. අනුමෝදන් වේවා

මෙත් සිතින් ඔබ සැමට ආරාධනා ..🗺️මාර්ගය සොයා ගැනීමට අපහසු පිංවතුන් සඳහා  මාර්ග සිතියම පහතින් 📍 https://maps.app.goo.gl/bnT...
05/09/2026

මෙත් සිතින් ඔබ සැමට ආරාධනා ..

🗺️මාර්ගය සොයා ගැනීමට අපහසු පිංවතුන් සඳහා මාර්ග සිතියම පහතින්
📍 https://maps.app.goo.gl/bnTarsR8xrALfurD6?g_st=ic

මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්........භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග ...
02/09/2026

මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්........

භික්ෂුව වැඩසිටින කැලෑ පරිසරයට ඉබිගමනින් අඳුර ගලාගෙන එනවා. සීතල සමග මුසුවුන සිහින් වැහිපොද වරින්වර කන්කෙඳිරි ගානවා, දොර වසාගෙන භික්ෂුවට කුටිය තුළට යන්නය කියලා. සිහින් වැහි පොදත් දන්නවා, භික්ෂුව ශීතලට එතරම් ප‍්‍රියමනාප නැහැය කියලා. පරිසරයේ ශීතල, ශරීරයේ සෙම් රෝග අවුස්සන්නේ, හරියට කපුටෙක් කසළ ගොඩක් අවුස්සනවා වගේමයි. පරිසරයේ අව්ව, වැස්ස, පින්න, ශීතල මනුෂ්‍ය අපිට එකිනෙකට වෙනස් කායික සහ මානසික පීඩාවන් ඇතිකොට දෙන්නේ, පටිච්චසමුප්පන්න අතීත ජීවිතවලදී අපි පරිසරයට සිදුකොට ඇති පීඩාවන් නිසාමයි. පාරිසරික විනාශයන් නිසාමයි.

බාහිර පරිසරය අපි පැත්තකින් තියමුකෝ. පිංවත් ඔබේ ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස අවට පරිසරය ගැන සිතන්නකෝ. පිංවත් ඔබේ අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, විඤ්ඤාණයන් ඇසුරෙන් සකස්වෙන, ඵස්සය අවට පරිසරය ගැනම සිතන්නකෝ. මේ සුන්දර ධර්මතාවයන් අවිද්‍යාවෙන් උපදින තෘෂ්ණාවේ කැත කුණුවලින් මොනතරම් නම් අපි දූෂණය කොටගන්නවාද. අතීතයේ වැඩසිටියා වූ උතුම් රහතන් වහන්සේලාගේ ඵස්සය අවට පරිසරය, මොනතරම් නම් නික්ලේෂි ද, මොනතරම් නම් පිරිසිදුද. උන්වහන්සේලාගේ නාමරූප නිරෝධා සළායතන නිරෝධෝ, ධර්මතාවයන් මොනතරම් නම් පිරිසිදුභාවයේම ධර්මතාවයන්ද. අතීත සංස්කාරයන්ට යටත්ව ඒ සළායතනයන් ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වුවත් ඒ දෑස් නිසා කවදාකවත් උන්වහන්සේලාගේ ඵස්සය ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ගෙන් අපවිත‍්‍රවූවේ නැහැ. ඒ නිසාම උන්වහන්සේලා වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන අපද්‍රව්‍යයන් නිරෝධය කරලයි වැඩසිටියේ. උන්වහන්සේලා අධ්‍යාත්මික හෝ බාහිර පරිසරයට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන අවිද්‍යාවේ දුගඳ හමන තෘෂ්ණාවේ අපද්‍රව්‍ය මුදාහැරියේ නැහැ. ඒ නිසාම උන්වහන්සේලා නැවත කවදාකවත් භවගමනේ අව්, වැසි, ශීතල, පින්නෙන් පීඩා ලැබීමකින් තොරවම නිවීගියා.

නමුත් අපි කුමක්ද මේ කරමින් සිටින්නේ. ඇස නිසා, කන, නාසය, දිව, ශරීරය, මනස නිසා, අපේ ඵස්සය අවට පරිසරය, නගරසභාවේ කුණු ලොරියක් වගේමයි. ඵස්සය අවට පරිසරය, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, කැත කුණු පටිච්චසමුප්පන්න භවගමනට පොම්ප කරනවා. අප වටා සිදුවෙන පාරිසරික අව්ව, වැස්ස, ශීතල, පින්න නිසාම එම පාරිසරික තත්ත්වයන්ට ඇලීම් සහ ගැටීම් ඇතිකොටගෙන, අපේම ඵස්සය අවට පරිසරයමයි ලෝභ, ද්වේශ, මෝහ, කැතකුණුවලින් අපි අපවිත‍්‍රකොට ගන්නේ.

මෙය සටහන් තබන භික්ෂුව, තම ඵස්සය දොරටුව අභියස සතිය සිහිය නමැති ඉදල අවදියෙන් තබලයි තිබෙන්නේ. දියුණුවේ නාමයෙන්, සමාජය සංස්කාරයන්ගෙන් තිරිහන් වෙනකොට, අපේ ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට බාහිර කුණු රොඩු වැටෙනවා වැඩියි. මේවා සමාජයේ වැරදි නොවේ, මේවා පටිච්චසමුප්පන්න සංස්කාරයන්ගේ ඇස්බැන්දුම්. බාහිර කුණු රොඩු වැටෙනවා වගේම, අධ්‍යාත්මික කුණු රොඩු ගැනත් අපි හොඳ සිහිනුවණින් ඉන්න ඕනේ. මම ලස්සනයි, මම හැඩයි, මම ධනවත්, උගත්, කුලවත්. මම අවලස්සනයි මම දුප්පත්, මම නූගත් වැනි ඔබ තුළින්ම උපදින කැත කුණු ගැනත් අවධානයෙන් ඉන්න ඕන. මේ සෑම ධර්මතාවයක්ම ඔබේ ඵස්සය අවට පරිසරය, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කැතකුණු වලින්ම දූෂණය කරනවා. මේ අපවිත‍්‍ර කාරකයන්ගේ දුගඳ පටිච්චසමුප්පන්න භවාත‍්‍රය දිශාවටම හමාගෙන යනවා.

මෙය සටහන් තබන භික්ෂුව, ඇසේ ඵස්සය සිදුවන මොහොතේදීම, සතිය සිහිය නමැති ඉදලෙන් ඵස්සයට හේතුවුණ, බාහිර කුණු රොඩු අතුගා දමනවා. භික්ෂුවගේ ඵස්සය දොරකොඩ තබා තිබෙන සතිය සිහිය නමැති ඉදලේ, විදර්ශනාමය ඉරටු බොහෝම තියුණුයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෝෂණයෙන් ජවය ලැබූ, මේ විදර්ශනාත්මක ඉරටු, ඵස්සයට මුල්වෙන ඕනෑම අධ්‍යාත්මික හෝ බාහිර රූපයක් ඇසුරු සැනින් විනිවිද දකිනවා. විදර්ශනාව කියන්නේ විනිවිද දකිනවා. කුමක්ද අපි විනිවිද දකින්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ, අපි විනිවිද දකිනවා. ඇත්ත ඇති සැටියෙන් දකිනවා.

ලෝකයේ ලොකුම බොරු පහක් තිබෙනවා. එම බොරු පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ නිත්‍ය, සැපයි, සුභයි, ආත්මයි කියන බොරු පහ. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ විදර්ශනාවමයි. මේ ලොකුම බොරු පහේ සැඟවුණ ඇස්බැන්දුම ඔබට විවරකොට දෙන්නේ. පිංවත් ඔබට අවශ්‍ය නම් මේ ලොකුම බොරු පහේ ඇත්ත ඇති සැටියෙන් දැනගන්න, කරුණාකර ඔබේ ඵස්සය අවට පරිසරය, තෘෂ්ණාවේ කැත කුණුවලින් නිරතුරුවම පිරිසිදුකොට තබාගන්න.

පිංවත් ඔබ ඉරිදා දිවයින සංග‍්‍රහයේ මේ ධර්ම සටහන කියවීම මොහොතක් නවතා, ඔබ දෑස් පියාගෙන ඔබේ ඵස්සය දෙස බලන්න. සත්තකින්ම මේ ධර්ම සටහන කියවන මොහොතේ, ඔබේ ඵස්සය තාවකාලිකව, නික්ලේශීව ද පවතින්නේ. තෘෂ්ණාව තාවකාලිකව ඔබේ ඵස්සය ආක‍්‍රමණය කොට නැතිද, පිංවත් ඔබ හොඳින් ඔබේ ඵස්සය දෙස බලන්න. මේ ධර්ම සටහන කියවීමෙන් ඔබ සැප වේදනාවක්, එසේත් නැතිනම් උපේක්ෂා විඳීමක් ලබනවා නේද? සද්ධර්මයේ සියුම් ආශ්වාදයකින් ඔබේ සිත ප‍්‍රීතියට, ඵස්සද්ධියට පත්වෙලා නේද? මෙය සටහන් තබන භික්ෂුව කෙරෙහි පුංචි හෝ ආශ්වාදයක් ඔබේ ඵස්සය ආක‍්‍රමණය කළා නේද. පිංවත ධර්මානුකූලව, මේ සියල්ලම ඵස්සය අසල පරිසරය අපවිත‍්‍ර කරන කැත කුණුමය. කරුණාකර පිංවත් ඔබ විදර්ශනාමය ඉදලෙන් ඔය කැත කුණු අතුගා දමන්න.

ගෞරවණීය පිංවත, ”ගෞරවණීය” කියන වචනය භික්ෂුව සටහන් තැබුවේ, අවිද්‍යාවේ කැත කුණු පිරීගිය, අසත්පුරුෂභාවය නැවුම්ව තාරුණ්‍යයෙන් තිරිහන්වෙන ලෝකයක, පිංවත් ඔබලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ, පණගැහෙන ජීවියට, දිවඔසුවක් වන නිසාමය. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක මහා දසපාරමී සාගරයක් වූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් පිරිනිවීගියා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අනාගතයේදී භික්ෂු සමාජය තුළින් ඇතිවෙන පැවිදි පිළිලයන් විසින්, මුලින් විකෘති කොට, දෙවැනිව මේ උතුම් ශ්‍රී සද්ධර්මය අතුරුදන්කොට දමනවා. එදාට මේ පූජනීය මහා සංඝරත්නය කාශායකණ්ඨකලා බවට පත්වෙනවා. මෙය සටහන් තබන භික්ෂුවත්, වැඩි කාලයක් යන්න මත්තෙන්, මහ පොළොවට පස්වෙලා යාවි. පිංවත් ඔබ මේ ධර්ම සටහන කියවීමෙන් යම් සංස්කාරයක් රැස්කොටගත්තාද, යම් විදර්ශනා නුවණක් ජීවිතයට එකතුකොට ගත්තාද, ඒ සෑම සංස්කාරයක්ම වෙනස්වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා, පිංවත් ඔබ සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින්ම, මේ ධර්ම සටහන කියවන්න. එවිට පිංවත් ඔබේ ඵස්සය, අවිද්‍යාවේ කැත කුණුවලින් මේ නිමේෂයේ දී අපවිත‍්‍රවී නොපවතීවි. ඔබ ඔබව, මොහොතක් පූජනීයත්වයට පත්කළා වේවි.

පිංවත් ඔබේ ඵස්සය අවට පරිසරය, අවිද්‍යාවේ කැත කුණු වලින් පිරිසිදුවෙද්දි, පංචඋපාදානස්කන්ධ ලෝකය ඇලීම් සහ ගැටීම්වලින් බැහැරවෙලා, උපේක්ෂාවෙන් තිරිහන්වෙනවා. එවිට ඔබ ලෝකය දකින්නේ පංචනීවරණයන්ට අදාළව නොවේ, සංස්කාරයන්ට අදාළවයි. උපේක්ෂාව පසුපස සෑම විටම සමාධිමත් සිතක් තිබෙනවාමයි. ඒ නිසාම උපේක්ෂාවට පුළුවන්, පිංවත් ඔබට ලෝකය සංස්කාරයන්ට අදාළව කියලා දෙන්න. සමාජයේ ජීවත්වෙන පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන් වැඞී තිබෙන ප‍්‍රමාණයට, බල ධර්මයන් වැඞී තිබෙන ප‍්‍රමාණයට ලෝකය දකින්න. එවිටයි පිංවත් ඔබේ ඵස්සය ඇලීම් සහ ගැටීම්වලින් අනතුරට නොයන්නේ. පිංවත් ඔබට අකුසල් අවම කොටගෙන ලෝකය උපේක්ෂාවෙන් විඳීමට හැකිවෙන්නේ. හැබැයි ඉතිං උපේක්ෂාවන්, අවිද්‍යාවේම වස විස අඩු, කොම්පෝස්ට් පොහොරක් බව, පිංවත් තේරුම්ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය, උදෑසන පිණ්ඩපාතයේ වඩින්නේ, ආයුෂ, වර්ණය, සැපය, බලය සොයාගෙන නොවේ. දුකෙන් මිදීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය, අවම ශක්තිය සොයාගෙනයි. අපි පිණ්ඩපාතයෙන් සොයාගන්නා ආහාරයෙන් නොව, ඉහත උතුම් චේතනාවෙන්මයි අපට ආයුෂ, වර්ණය, සැපය, බලය කුසල් ධර්මයන් විසින්ම මෝදුකොට දෙන්නේ. අපි ඉහත උතුම් චේතනාවන් දුර්වලකොටගෙන ප‍්‍රණීත දානයන් සොයාගෙන ගියොත්, අපි ලබන්නාවූ ආයුෂ, වර්ණය, සැපය, බලය රෝගීභාවයේ දුකටම හේතුවෙන්න පුළුවන්.

අද උදෑසන පිංවතුන්ලා අට දෙනෙක් පමණ භික්ෂුවට පිණ්ඩපාතය බෙදුවා. මේ සෑම පිංවතෙක්ගේම ඉන්ද්‍රිය ධර්මයන් එකිනෙකට හුඟාක් වෙනස්. සමහරක් පිංවතුන්ලාගේ වීර්ය, සතිය, සමාධිය, ප‍්‍රඥාව කියන ධර්මතාවයන් සැඟවිලා ගිහිල්ලා. ඒ නිසාම භික්ෂුව මේ පිංවතුන්ලාගේ සිතට දැනෙන්න පිං අනුමෝදන් කරනවා. ඵස්සය වෙලාගෙන තිබෙන අවිද්‍යාවේ මළකඩ කැඞීයන්න. උතුම් සද්ධර්ම ශ‍්‍රවණය, ශ‍්‍රවණය කළා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් හේතුවෙන්, යම් පිංවතෙකුගේ සති ඉන්ද්‍රිය දුර්වල වුණොත්, ශ‍්‍රද්ධාව සහ වීර්යයට, පංචනීවරණයන්ගේ අළුගසා නැගිටින්න බැහැ. මේ උතුම් ධර්මතාවයන් සැකය, විචිකිච්ඡාව තුළ සිරවෙලයි තිබෙන්නේ. මහා සංඝරත්නයේ ගුණාත්මක හැසිරීම්, සැකය, විචිකිච්ඡාව යටපත්කොටගෙන එම පිංවතුන්ලා තුළ ශ‍්‍රද්ධාව, වීර්යය මෝදුකොට දෙනවා. පිංවත් ගිහි පිංවතුන්ලා තුළ මොහොතකට හෝ විකසිත වෙන ශ‍්‍රද්ධා, වීර්ය දකිද්දී අපේ පිණ්ඩපාත ගමනේ පළමු ජයග‍්‍රහණය අපි ලබාගත්තා වෙනවා. ඒත් මේ සියලූ සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය, අපිට මැජික් පෙන්වද්දී, අපි තාමත් එම මැජික් සංදර්ශනයන් දෙස අවිද්‍යාවේ ඇසෙන්ම බලනවා.

අවිද්‍යාව, පිංවත් ඔබෙන් ප‍්‍රශ්න කරාවි, අපි දන් දෙන්නේ ඇයි කියලා. එවිට ඔබ අවිද්‍යාවට පිළිතුරු දෙන්න. අපි දන් පූජාකරන්නේ, අපේම ආයුෂය, වර්ණය, සැපය, බලය උදෙසා කියලා. අපි අතීතයේ දුන්න දෙය, වර්තමානයේ අපිට ලැබිලා තිබෙනවා. වර්තමානයේ අපි ආයුෂ, වර්ණය, සැපය, බලය සිත්සේ භුක්තිවිඳිත්දි, මේ ධර්මතාවයන් වේගයෙන් ක්ෂයවී යනවා. පිංවත් ඔබ දක්ෂවෙන්න ක්ෂයවී යන ආයුෂ, වර්ණය, සැපය, බලය පෙරළා මහා සංඝරත්නයට ශිල්වත්ව දන් පූජාකිරීමෙන් අයිතිකොට ගන්න. ජීවිතය කියන්නේ අවිද්‍යාවේ සුපිරි වෙළඳසලක්. ඔබ දක්ෂවෙන්න ඕනේ සුපිරි වෙළඳසලේ ආයුෂ, වර්ණය, සැපය, බලය රාක්කවල භාණ්ඩ හිස්වෙනකොට ඒවා නැවත නැවත පුරවාගන්න. එසේ නොවුණොත් ඔබේ පටිච්චසමුප්පන්න අවිද්‍යා සුපිරි වෙළඳසලේ, සැපය බංකොලොත්වී, ආයුෂ, වර්ණය, සැපය, බලය රාක්කවල දුක මකුළුදැල් බඳීවි.

පිංවත් ඔබ කුමන තරාතිරමේ පිංවතෙක් වුවත් කමක් නැහැ. ඔබේ ජීවිතයේ, ඔබේ රජයේ, ඔබේ ආයතනයේ, ඔබේ පවුලේ, ආයුෂය, වර්ණය, සැපය, බලය දුර්වලවෙනවා නම්, කරුණාකර තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන්, කර්මය කර්මඵලය ගැන විශ්වාසයෙන්, පංචශීලය ආරක්ෂාකොටගෙන, මහා සංඝරත්නය අරමුණුකොටගෙන දන් පූජා කරන්න. එවිටයි ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවිතවලට උනන්නේ. එසේ නැතිව අත පිරෙන්න නූල් ගැටගසා ගත්තාය කියලා, පාට පාට මැණික් ගල් සහිත මුදු දෑතෙ පැළඳගත්තාය කියලා, දේවාල සරණ ගියාය කියලා, යම් ජීවිතයකට ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩෙනවාය කියලා සද්ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නම් නැහැ. කරුණාකර, පිංවත් ඔබ සතිය සිහිය නමැති ඉදලෙන්, අවිද්‍යාවේ කැත කුණු අතුගා දමා, විද්‍යාවේ වැලි මළුවක් බවට, ඔබේ පිංවත් ජීවිතය පත්කොටගන්න දක්ෂවෙන්න.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ

උපුටාගැනීම – දිවයින ඉරිදා සංග්‍රහය (2021/02/28)

පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතු...
31/08/2026

පින්වත, වියළි කාෂ්ටක පරිසරය හරිම උණුසුම්. පින්වත, දහවල් කාලයට ආකාශය ගිනියම් හිරු එළියෙන් පුපුරු ගහනවා. පින්වත, අපිට හේතුඵල ධර්මයෝ කියලා දීලා, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, වියළි පරිසරය ඉදිරියේ ඵලය නොව හේතුව මතු කොට දකින්න දක්‍ෂ වෙන්න. පින්වත, ලෝක නායකයෝ ඇතුළු අපේ නායකයෝ අධාර්මිෂ්ඨ වෙද්දී, පින්වත් ගිහි සහ පැවිදි පින්වතුන්ලා අධාර්මිෂ්ඨ වෙද්දී, ඉර, හඳ, තාරකා විකෘති වී අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, ගිනි ගන්නා පරිසරයේ අව්කාෂ්ටකය තුළින් භික්ෂුව දකින්නේ සුන්දර දහමක්. පින්වත, ලෝක නායකයන් යුද උමතුවෙන් පරිසරයට මුදා හරින වෙඩිබෙහෙත් විෂ යම් සේ තියුණු ද, ඊටත් වඩා ඒවාට නියෝග දෙන නායකයන්ගේ ලෝභ, ද්වේශ, මෝහ බල කාමයන්ගේ “විෂ” තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, අපි අත්විඳින මේ ගිනියම් වූ අව්කාෂ්ටකයට වඩා, අපිව පාලනය කරන්නා වූ නායකයන්ගේ අකුසල් මූලයන්ගේ ගිනි රස්නය තියුණු බව ධර්මානුකූලව තේරුම් ගන්න. පින්වත, විනාශයට මුල අව්කාෂ්ටකය නොව, අපේ ම අකුසලයෙන් ගිනියම් වූ චේතනාවෝ මයි. පින්වත, පරිසරය නිවැරදි කරන්න යන්න එපා. ඔබ නිවැරදි වෙන්න. පින්වත, අපි නිවැරදි වෙන බවක් පෙනෙන්නවත් නැහැ. පින්වත, අපි තවමත් බල කාමයේ සටන් බිමේ ‘තෘෂ්ණාවේ විරුවෝ’ වෙලා. පින්වත, හෙට දවසේ යළිත් වැස්ස ඒවි. ඒත් වැස්ස එන්නේ ඉඩෝරයට හේතු වූ එකම එක පාඩමක්වත් අපි ඉගෙන නොගෙන මයි. පින්වත, පාඩම් ඉගෙන ගන්න කොහෙන් ද, අපිට විවේකයක්? අපේ විවේකය ‘තෘෂ්ණාව’ විසින් මරා දමලා.

පින්වත, ස්වභාව ධර්මය සංස්කාරයෝ මුල්කොට ගෙන අපිට වටිනා පාඩම් කියලා දෙනවා. පින්වත, ස්වභාව ධර්මය අපිට පාඩම් කියලා දෙන්නේ අපිත් ස්වභාව ධර්මයේ ම කොටසක් නිසා මයි. පින්වත, මාස දෙකක් අපේ රටට වැස්ස නැතුව අපි මෙවන් පීඩාවක් විඳිද්දී, භික්ෂුවගේ මතකයට නැගෙන්නේ අවුරුදු සියයක්, අවුරුදු දහසක් වැස්ස නැතුව අනාගතයේ දී ආරම්භ වන කල්ප විනාශයේ පළමු අදියරේ මතකයයි. පින්වත, ඉඩෝරයෙන් මහ පොළොව ඉරි තලා ගිය කළ, පිපාසයට බොන්න වතුර බිඳුවක් නැතුව, මනුෂ්‍යයාගේ ම රුධිරය මනුෂ්‍යයා ම බොන අනාගත මෘග සඤ්ඤා ලෝකය ගැන සාංසාරික බියයි, මේ ඉඩෝරය තුළින් භික්ෂුව මතු කොට දකින්නේ. පින්වත, ජලය වෙනුවට රුධිරය බොන අනාගත පංච උපාදානස්කන්ධ වියරු ලෝකය පිළිබඳව බියකරු මතක සටහන් ස්වභාව ධර්මය වර්තමානයේ අපිට සිහිපත් කොට දෙනවා. පින්වත, වර්තමානයේ ප්‍රඥාවෙන් අන්ධ නවීන විද්‍යාව මෙවන් වියරු ඉඩෝරයන්ට ‘එල්නිනෝ’ යැයි ඇස්බැන්දුම් මායාකාරී වචන භාවිතා කළ ද, මෙවන් විපරිත එල්නිනෝවන්ගේ මූල බීජය හටගන්නේ ලෝක සහ අපේ පින්වත් රාජ්‍ය නායකයන්ගේ නොසෑහෙන තෘෂ්ණාවේ විඳීම් තුළ බව සිහිනුවණින් තේරුම් ගැනීම, අපි අහිංසක ස්වභාව ධර්මයට කරන සාධාරණයක් වෙනවා. පින්වත, වර්තමානයේ ලෝක ජනතාවගේ පිනට, අපිට පෙනෙන්නට තිබෙන්නේ එක ඉරක් පමණක් මයි. පින්වත, ‘සප්ත සූර්යගමන සූත්‍රයේ’ දී, ඉරවල් හතක් පායන සත්ත්වයාගේ අකුසලය, සංස්කාර පාර්ලිමේන්තුවේ තුනෙන් තුනේ බලයක් ලබා ගන්නා දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, අපේම ලෝභ, ද්වේශ, මෝහයෝ තුළින් පරිසරගත වන ඉඩෝරය තුළින් ගැටෙන සිත් නොව අනාගත සංසාර බිය ම ඇති කොට ගන්න. ලෝකයට අයිති නියඟය ලෝකය තුළ තබා, ඔබ ලෝකයෙන් නිවී යන්න.

පින්වත, ඉපදීම දුකක්, පින්වත, මරණයත් දුකක්, පින්වත, ජීවත්වීමත් ඇත්තට ම දුකක්. පින්වත, මේ දුක් ගොඩ අපි සතුටින් ම නේද, ප්‍රාර්ථනා කරන්නේ? පින්වත, කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදයෝ දුක සඟවන අපූරුව, ඔබ තුළින් ම ඔබ දකිනවා නේද? පින්වත, අවිද්‍යාවට හිරි ඔතප් දෙක නැහැ. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ නොදන්නාභාවයට කෙසේ නම් ලජ්ජාව සහ බිය ඇති වෙන්න ද? පින්වත, අවිද්‍යාවේ ජන්ම ගතිය සංස්කාරයෝ කෙරෙහි නොසැලෙන තෘෂ්ණාව මයි. පින්වත් මහත්මයෙක් භික්ෂුවගෙන් ඇසුවා, “ස්වාමීන් වහන්ස, භාවනාව උදෙසාත් තෘෂ්ණාව අවශ්‍යයි නේද?” කියලා. පින්වත, තෘෂ්ණාවේ නිරෝධය උදෙසා තෘෂ්ණාව ප්‍රයෝජනයට ගන්න වෙනවා. පින්වත, අනාගාමී උත්තමයා තුළත් කාම, රාග, පටිඝයෝ නිවුණ, අනුශය තෘෂ්ණාව තිබෙනවා. පින්වත, තෘෂ්ණාවේ ජවාධික ඇලීම් සහ ගැටීම් හේතුඵල ධර්මයෝ යටපත් කොට ගෙන මතු කොට ගන්නා වූ උපේක්‍ෂාව, තෘෂ්ණාවේ අණසක පංච නීවරණයන්ගෙන් ගලවා සප්ත බොජ්ඣංගයන්ට ලබා දෙනවා. පින්වත, පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක විකුණන පාතාල නායකයා තෘෂ්ණාව වුවද, සතර සතිපට්ඨාන ධර්මයෝ ඉදිරියේ තෘෂ්ණාව පැනලා දුවන්නේ අවිද්‍යාවත් අසරණ කරමින් මයි. පින්වත, අපි තුළ ක්‍රියාත්මක වන තෘෂ්ණාවේ පාතාලය, අපිට භාවනාවේදීත් ඇලීම් සහ ගැටීම් මත්ද්‍රව්‍ය පොවන්නේ අවිද්‍යා ගිණුම්වලට සංස්කාර කළු සල්ලි ගොඩ ගසා ගැනීම උදෙසා මයි. පින්වත, අපේ භාවනාවේ ආස්වාදයෝ හරිම දක්‍ෂයි, භාවනාවෙන් උපදින සංස්කාර කළු සල්ලි, මිච්ඡා ඥාන දර්ශනයෝ සහ මිච්ඡා විමුක්තිය තුළින් සුදු කොට පෙන්වන්න. පින්වත, ඔබත් මිච්ඡා අධිගමයන් ලෝකයාට ප්‍රකාශ කොට, තෘෂ්ණාවේ පාතාලයට සංස්කාර කළු සල්ලි සුදු කොට දෙන, අවිද්‍යා පාතාලයේ සාමාජිකයෙක් දැයි සිහිනුවණින් සිතා බලන්න.

පින්වත, රටේ භාණ්ඩාගාරය පරිස්සම් කොට ගන්නවාට වඩා, අපි, අපේ පැවිදි ජීවිත පරිස්සම් කොට ගන්න ඕනේ. පින්වත, ජාත්‍යන්තරය සුරතල් කරලා, ජාතිය ම දුකට ඇද දමලා, තට්ටුමාරු ක්‍රමයට අපේ ගිහි නායකයෝ ගෙදර යාවි. පින්වත, පැවිදි අපිට එහෙම ගෙදර යන්න බැහැ. පින්වත, අපි පැවිදි වුණේ ගිහි නායක පින්වතුන් වගේ දුක වපුරන්න හෝ දුක විකුණන්න නොවේ. පින්වත, අපි පැවිදි වුණේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකෙන් නිදහස් වෙන්නයි. පින්වත, පැවිදි අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් තුළින් දුකෙන් මිදෙන මාර්ගය අහිංසක ලෝකයාට කියලා දෙන්නයි. පින්වත, රජවරු යැයි කියන්නේ රටේ භාරකරුවෝයි. පින්වත, ජනතාව යැයි කියන්නේ රටේ අයිතිකරුවෝයි. පින්වත, මහා සංඝරත්නය යැයි කියන්නේ ඉහත දෙපාර්ශ්වයට ම ගුණයෙන් සහ ඥානයන්ගෙන් ඉදිරියෙන් සිට අනුශාසනා කරන්නෝයි. පින්වත, අධර්මයේ වැහි වලාවන්ගෙන් සමාජය මතට ඇද හැලෙන තෘෂ්ණාවේ අකල් වැසි ඉදිරියේ උතුම් සංඝ සමාජයේ නොසැලෙන ප්‍රතිපත්තිගරුකභාවය තෙමෙන්න දෙන්න හොඳ නැහැ. පින්වත, සුපටිපන්න ආදි වූ ලෝකයේ උත්තම ගුණයන් හතරක් දරාගත්ත, ලෝකයේ උත්තම පුද්ගලයන් අටදෙනා ජීවත් වෙන්නේ උත්තරීතර සංඝ සමාජය තුළ පමණක් මයි. පින්වත, “මුදලට, බලයට සියල්ල යටත්” ය කියලා සමාජ මතයක් තිබෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව එම මතය තරයේ ප්‍රතික්ෂේප කරනවා. පින්වත, චතුරාර්ය සත්‍යය ධර්මයෝ දරාගත්ත මහා සංඝ රත්නය ධනයට, බලයට සොලවන්නවත් බැහැ. පින්වත, එයයි මහා සංඝ රත්නයේ පරම්පරාගත ජාන හැඩරුව වෙන්නේ. එම උත්තරීතර ගුණයයි, සංඝ සමාජයේ වර්ණය, සැපය, බලය බවට පත් වෙන්නේ.

පින්වත, මේ උදා වෙන්නේ පුණ්‍යවන්ත වස්සානයේ දෙවෙනි මාසයයි. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා, උතුම් ධම්මානුපස්සනාව තව තවත් අර්ථවත් කරලා. පින්වත, වස්සානය අවිවේකයට ගොදුරක් කොට දෙන්න එපා. පින්වත, ආධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ලෝකවල සංස්කාර කෙත්වතු ඵලබර වෙද්දී, ඇලීම් සහ ගැටීම් ආහාර සොයාගෙන අවිවේකී වෙන්න අපි හරිම කැමතියි. පින්වත, සුන්දර වස්සානයේ දී, කඨින චීවරයේ සිට කඨින පින්කම් දක්වා අවිවේකී කාලසටහනක් පැවිදි අපි ඉදිරියේ දිගහැරෙනවා නේද? පින්වත, ලෝකය යැයි කියන සඤ්ඤාව ගත්තොත්, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයෝ මේ සියල්ල ම තිබෙනවා. පින්වත, අපි කැමති, ලෝකය යැයි කියන සඤ්ඤාව ලෝකය හැටියට ම ගන්නයි. පින්වත, ඔබ කැමති ද, සුන්දර වස්සානය තුළින් කඨින චීවර, කඨින පින්කම් නොව, ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දකින්න? පින්වත, මොහොතක් ඔබේ දෑස් පියාගෙන ඵස්සය අසලින් ‘දැක්කා’, ‘ඇසුණා’, දැනුණා’ යැයි ඔබේ තෘෂ්ණාවේ ලෝකයට තාවකාලිකව සමුදෙන්න. පින්වත, තාවකාලිකව නිවුණ ඵස්සය තුළින් ඔබ දකින්නේ උතුම් ධර්ම විනය නමැති ජීවමාන ශාස්තෘන් වහන්සේව මයි. පින්වත, ලෝකය විනිවිද ධර්මය දකින්න. පින්වත, පුණ්‍යවන්ත වස්සානයකට මීට වඩා කිනම් වටිනාකමක් දෙන්න ද? පින්වත, මේ රාත්‍රිය වස්සානය යැයි කියන නමටත් ඔච්චම් කරන, හරිම උෂ්ණාධික රාත්‍රියක්. පින්වත, සංස්කාරයන්ට අදාළව ලෝකයේ හැඩරුව වෙනස් වෙනවා. පින්වත, එම වෙනස් වීම දකින්න පංච නීවරණයෝ යටපත් වෙන්න ම ඕනේ. පින්වත, සැබෑම වස්සානය වෙන්නේ, වස්සානය තුළින් වස්සානය දැකීම නොවේ, වස්සානය තුළින් ‘වස්සානයේ නිරෝධය’ දැකීමයි.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

Address

Bandaragama

Alerts

Be the first to know and let us send you an email when Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Maha Rahathun Wedi Maga Osse- මහ රහතුන් වැඩි මඟ ඔස්සේ:

Shortcuts

Share