31/07/2026
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන ජාතික මෙහෙයුමට අනුව 2026 ජූලි 27 සිට 31 දක්වා ජාතික සුපිළිපන් සතිය දිවයින පුරා ක්‍රියාත්මක අතර, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. ඩී. සුරංග ගුණරත්න මහතාගේ උපදෙස් මත, මෙයට සමගාමී වූ විශේෂ වැඩසටහනක් ජූලි 30 වන දින ආයතනික ශ්‍රවණාගාරයේදී ක්‍රියාත්මක කරන ලදී.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සුපිළිපන්න නිලධාරි / නියෝජ්‍ය අධ්යක්ෂ ලසිතා දේවගේ මෙනවිය විසින් වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කළ අතර, අධ්‍යක්ෂ (සංවර්ධන) නිරංජ එස්. ජයකොඩි මහතා විසින් ආයතනය තුළ සුපිළිපන්න සංස්කෘතියක් පවත්වා ගන්නා ආකාරය සහ එහි වැදගත්කම පැහැදිලි කරන ලදී. අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ ප්‍රධානී / අධ්‍යක්ෂ (පාලන) කුමුදු කරුණාතුංග මිය විසින් සුපිළිපන් ඩිජිටල් රාජ්‍ය සේවයක වැදගත්කම ද, ගණකාධිකාරී අනුෂා රත්නායක මිය විසින් ආයතනයක මූල්‍ය කළමනාකරණය පවත්වා ගන්නා ආකාරය පිළිබඳවද කාර්ය මණ්ඩලය දැනුවත් කළ අතර, ජාතික සුපිළිපන් සතියට සමගාමීව ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ ප්‍රනාන්දු මිය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද පණිවිඩයක්ද මෙහිදී ප්‍රදර්ශනය කරන ලදී.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ඵලදායිතා නිලධාරි කමල් කංකානම්ගේ මහතා විසින් වැඩසටහන මෙහෙයවන ලද අතර, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන් මේ සඳහා සහභාගි වූහ. ආයතනයේ අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ප්‍රධානී, සුපිළිපන්න නිලධාරි සහ සාමාජිකයන් විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.