18/12/2023
බිංගිරිය ආසනයේ තරුණ බල මණ්ඩලය ඊයේ (16) පැවති අතර එහිදී, රටට නව වෙනසක් ගෙන එන තරුණ පරපුර මූලික කොට ගත් සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිබඳව මා විසින් පැහැදිලි කළා.
සැබැවින්ම, ගමේ නගරයේ අවශ්‍යතාවයන් තීන්දු කළ යුත්තේ තරුණ තරුණියන් විසින්. සමගි ජන බලවේගය විසින් තරුණ පරපුර වෙනුවෙන් ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත දැවැන්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. තරුණයන් තුල ව්‍යවසායකත්වය සඳහා උචිත නිපුනතා හා කුසලතා ඇති කිරීමත්, තීරණ ගැනීමේ හැකියාව හා සංවර්ධන ප්‍රමුඛතා නිර්මාණය කිරීමේ අයිතිය ලබාදීමත්, මෙම වැඩසටහන් හරහා අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සරිලන මූලික ප්‍රාග්ධනය ලබා දි දේශීය නිෂ්පාදකයන්, ව්‍යාපාරිකයන් සහ කර්මාන්ත කරුවන් ශක්තිමත් කිරීමත් අපේ ප්‍රධාන අරමුණක්.
එමෙන්ම, අපේ රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ නිර්මාණශීලී විසඳුම්. උදාහරණයක් ලෙස, වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් තරම් දුරට පවතින හිමිකම නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින්, ඒකාබද්ධ ව්‍යාපෘති හරහා තිරසර සංවර්ධනයක් ක්‍රියාත්මක කළ හැකියි.
එමෙන්ම වර්ථමානයේ උද්ගතව ඇති බිත්තර සම්බන්ද ගැටළුවේදී වුවද රට තුළ නිවැරදි හා නිර්මාණශීලී බිත්තර නිෂ්පාදන සැලසුමක් සකස් කර බිත්තර කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම මගින් දේශීය බිත්තර අවශ්‍යතාව සපුරාලීම මෙන්ම, විදේශ රටවලට අපනයනය කිරීමේ හැකියාවද පවතිනවා. එකී කරුණු මගින් රට තුල නිර්මාණශීලී මෙන්ම හැකියා වලින් පරිපූර්ණ තරුණ පරපුරක අවශ්‍යතාවය මා විසින් දැනුවත් කළා.
එමෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් ඇති කිරීමටද අපේක්ෂා කරන බවත් එහි දී කටපාඩම් අධ්‍යාපන ක්‍රමය වෙනස් කොට මුල් ළමා විය, ප්‍රාථමික, ද්විතීයි සහ තෘතීයික යන කොටස් 4ම ගුණාත්මකභාවයෙන් යුත් අධ්‍යාපන ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මා ප්‍රකාශ කළා.