02/09/2026
✈️ MiG නඩුවට දින 4,179 යි
🇷🇺 වසර 41කට පෙර මොස්කව් බලා ගිය මම…
අදට වසර 41කට පෙර, 1985 අගෝස්තු 22 වැනිදා, කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළෙන් එවකට සෝවියට් දේශයේ මොස්කව් අගනුවර බලා මම පියාසර කළේ, ඉදිරි වසර 41 තුළ මගේ ජීවිතය කෙතරම් වෙනස් වේදැයි කිසිදු අදහසක් නොමැතිවය.
මොස්කව්හි Sheremetyevo ගුවන් තොටුපළට පැමිණි අපව රැගෙන ගියේ එදා තරු පන්තියේ හෝටලයක් වූ Hotel University වෙතය.
ලොව පුරා රටවල් සියයකට ආසන්න සංඛ්යාවකින් පැමිණි, විවිධ භාෂා කතා කළ, විවිධ සංස්කෘතීන් නියෝජනය කළ ශිෂ්යයන් පළමු වරට හමුවූයේ එම නගරයේදීය.
එය මගේ ජීවිතයේ නව පරිච්ඡේදයක ආරම්භය විය.
මොස්කව්හි දින තුනක් ගත කිරීමෙන් පසුව, රුසියානු භාෂාව හැදෑරීම සඳහා එවකට සෝවියට් යුක්රේනයේ අගනුවර වූ කීව් නගරයේ Taras Shevchenko University වෙත ඇතුළත් වීමට මට අවස්ථාව ලැබුණි.
එම අවස්ථාව ලබා දුන් සෝවියට් දේශයටත්, දෙරට අතර මිත්රත්වය ශක්තිමත් කිරීමට කටයුතු කළ සෝවියට්–ශ්රී ලංකා මිත්ර සංගමයටත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වරයාටත්, වසර 41කට පසුවත් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරමි.
━━━━━━━━━━━━━━
🎓 1985–1995
පළමු අවුරුදු 10 — ශිෂ්ය ජීවිතය
මගේ ජීවිතයේ පළමු දශකය අධ්යාපනය වෙනුවෙන් කැප විය.
විශ්වවිද්යාල අධ්යාපනය සම්පූර්ණ කරමින් කාර්මික ඉංජිනේරුවරයකු ලෙස උපාධි දෙකක් ලබා ගැනීමට මට හැකි විය.
යුක්රේනයේ ජීවිතය සමඟ බැඳෙමින්, රුසියානු භාෂාව, සමාජය සහ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටද එම කාලය මට අවස්ථාව ලබා දුන්නේය.
එම යුගයේදී යුක්රේනියානු කාන්තාවක් විවාහ නොවී, යුක්රේනයේ ස්ථිර පදිංචි වීසා අවසරයක් ලබාගත් පළමු ශ්රී ලාංකිකයා මම විය.
━━━━━━━━━━━━━━
💼 1996–2005
දෙවැනි අවුරුදු 10 — ව්යාපාරික ජීවිතය
දෙවැනි දශකය මගේ ව්යාපාරික ජීවිතය ගොඩනැගූ කාලය විය.
යුක්රේනයේ තේ ආනයනය, සංචාරක ව්යාපාරය ඇතුළු ක්ෂේත්ර කිහිපයක ව්යාපාර ආරම්භ කළෙමි.
එමෙන්ම, අපේම ගොඩනැගිල්ලක ශ්රී ලාංකික ආපන ශාලාවක් ආරම්භ කළ පළමු ශ්රී ලාංකිකයා මා විය.
එම කාලය තුළ ශ්රී ලංකාව වෙනුවෙන් යුක්රේනියානු රාජ්යයේ පළමු ගරු සේවා කොන්සල්වරයෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කිරීමට එවකට විදේශ අමාත්යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා මට අවස්ථාව ලබා දුන්නේය.
ව්යාපාරික ජීවිතයත් සමඟම මගේ මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මගේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකි.
━━━━━━━━━━━━━━
🇱🇰 2006–2015
තුන්වැනි අවුරුදු 10 — රාජ්යතාන්ත්රික සේවය
මගේ ජීවිතයේ තුන්වැනි දශකය රාජ්යතාන්ත්රික සේවයට කැප විය.
රුසියානු භාෂාව කථා කරන පළමු ශ්රී ලංකා තානාපති වශයෙන්, රාජ්යතාන්ත්රික නිලධාරියෙකු ලෙස රුසියාව, යුක්රේනය, බෙලරුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය, ආර්මේනියාව, මෝල්ඩෝවා සහ ජෝර්ජියාව යන රටවල් අටක ශ්රී ලංකාව නියෝජනය කිරීමට මට අවස්ථාව ලැබුණි.
එම රටවල ජනාධිපතිවරුන් 13 දෙනෙකු සමඟ ශ්රී ලංකාව වෙනුවෙන් කටයුතු කිරීමට ලැබීම මගේ රාජ්යතාන්ත්රික ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකි.
එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව ශ්රී ලංකාව ගෙන ගිය සටනේදී අත්යවශ්ය MiG යානා ඇතුළු ආයුධ ලබා ගැනීම සඳහා රුසියානු සහ යුක්රේනියානු සහයෝගය ලබා ගැනීමටත්, ශ්රී ලංකාවේ සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමටත් මට හැකි වූ අවස්ථා පිළිබඳව අදත් මම සතුටු වෙමි.
තානාපතිවරයෙකු ලෙස මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමට ලැබීම මගේ ජීවිතයේ ලැබුණු විශාලම ගෞරවයකි.
━━━━━━━━━━━━━━
⚖️ 2015–2026
අවසන් අවුරුදු 11 — අමිහිරි අත්දැකීම්
2015න් පසු මගේ ජීවිතයට එක් වූයේ මීට පෙර කිසිදා අත්විඳ නොතිබූ අමිහිරි අත්දැකීම් සමූහයකි.
එදා යහපාලන ආණ්ඩුව අපගේ කන්ටේනරය තුළ තිබූ වසර 30ක් තුල එකතුකළ පවුලේ සියලුම පෞද්ගලික භාණ්ඩ විනාශ කිරීමට නියෝග කළ එවකට විදේශ අමාත්ය මංගල සමරසිංහ පරලොව ගියේද දිට්ඨධම්මවේදනීය කර්මය අපගේ මාතෘ භූමියේ පලදෙන නිසාමය.
රටට මෛත්රී යුගයක් පොරොන්දු වූ රනිල්–මෛත්රී දෙදෙනා තරගයට පළිගැනීම් සිදු කළේය.
අද ඒ දෙදෙනාටම දිට්ඨධම්මවේදනීය කර්මය උදාවී හමාරයි.
ඔවුන් අපට දුන් දුක්වේදනා සහ පළිගැනීම් තමන්ටම කැරකෙන කාලය උදා වී ඇති බවයි.
එදා දේශපාලකයින්ට අවශ්ය අයුරින්, මට මෙන්ම මගේ මස්සිනාට එරෙහිව නීතිය අවභාවිතා කළ නීතිපති දෙපාර්මේන්තුවේ මහමොළකරු මුදන්දෙනිය, මාස තුනකට වැඩි කාලයක් රෝහල්ගතව සිට, ස්වභාවධර්මය විසින්ම අකල් මරණයකින් දඬුවම් ලබා දුන්නේද අපි වගේ ගොඩදෙනෙකුගේ හදවතින්ම මතුවෙන වේදනාගත සාපය විය හැක.
එය අදටත් අසත්ය චෝදනා ගොනු කරමින් දේශපාලන පළිගැනීම් සිදු කරන පොලිස් හා නීතිපති නිලධාරීන්ටද ජීවිතයේ යථාර්ථය යම් දිනක මතක් කරනු ඇත.
━━━━━━━━━━━━━━
✈️ MiG ගනුදෙනු නඩුවට දින 4,179 යි
2015 මාර්තු 26 වැනිදා, ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහා MiG ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක මූල්ය අක්රමිකතාවක් සිදුවී ඇතැයි කියමින් මාධ්යවේදී ඉක්බාල් අතාස් මහතා විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කරගෙන, මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන ලදී. එම නඩුව අද නැවත කැදවූ අතර දැනට දින 4,179 ගතවී ඇත.
එසේ නමුත්, ගල්කිස්ස උසාවියේදී MiG ගනුදෙනුව පිළිබඳව “Sunday Times” පුවත්පත පළ කළ චෝදනා අසත්ය බව අධිකරණය තුළ පිළිගෙන සමථයකට පත්වූ නඩුවේ කරුණු වෙනස් ස්වරූපයකින් නැවත චෝදනා ගොනු කළ ඉක්බාල් අතාස් මාධ්යවේදියා පසුගිය දින අකාලයේ මියගියේ අපේ ජීවිතවලට දුන් වේදනා කාලයක් පුරාවට විඳවමින්, ලබන ආත්මයටද කර්මය ඉතුරු කරගෙනය.
එදා ඔවුන් මා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු සහ පසුව සිදු වූ නීතිමය ක්රියාමාර්ග අදත් මගේ ජීවිතයේ අමතක නොවන නොමිහිරි අත්දැකීම්ය.
එය මගේ පෙර අකුසල කර්මයන් විය හැක.
මෙතෙක් අධිකරණයක වරදකරුවකු හෝ අධිචෝදනා හෝ ගොනු නොකරපු මට එරෙහිව එදා Interpol Red Notice ඇතුළු ජාත්යන්තර මට්ටමේ ක්රියාමාර්ග ගනු ලැබූ අතර, මා සිරගත වීමටද සිදු විය.
එසේ ඔවුන් මට එරෙහිව රාජ්ය බලය අවභාවිත කළ ආකාරය පිළිබඳව අදත් මට බරපතළ ප්රශ්න තිබේ.
එම MiG යානා විමර්ශන ආරම්භයේදීම අසත්ය තොරතුරු ගොනුකිරිම පිළිබද වගකිව යුතු මගේ මිත්ර පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිට පසුගිය දින අධිකරණය විසින්ම මරණීය දණ්ඩනය නියෝග ලබා දුන්නේ, ජීවත්ව සිටින ඇතැම් නිලධාරීන්ට බුද්ධිමත්ව රාජ්ය බලය හැසිරිය යුතු බව සිහිගන්වමින්ය.
අදත් අසත්ය තොරතුරු ගොනු කරමින් දේශපාලන පළිගැනීම් සිදු කරන නිලධාරීන්ටද යම් දිනයක දිට්ඨධම්මවේදනීය කර්මය උදාවෙනවා නියතයි.
ඔවුන්ට ලැබෙන දේශපාලන ආරක්ෂාව සදාකාලික නොවන බවත්, තනතුරු නැති දිනයක කර්මයෙන් නිදහස් වීමට කිසිදු රජයක් පිහිට නොවන බවත් ඔවුන් අද වටහාගත යුතුයි.
━━━━━━━━━━━━━━
☸️ කර්මය පිළිබඳ මගේ විශ්වාසය
ඇතැම් සිදුවීම් පිළිබඳව මම දකින්නේ මගේම ජීවිත අත්දැකීම් තුළින්ය.
නමුත් බුදු දහමේ අටලෝදහම සහ කර්මය පිළිබඳ මගේ විශ්වාසය අදත් එලෙසම පවතී.
මමද මගේ මේ ජීවිතයේදී හෝ පෙර ආත්මයකදී සිදු කළ අසුභ කර්මයක විපාකයක් ලෙස පසුගිය වසර 11 පුරා අවමානය, චෝදනා, සිරගතවීම් සහ දුක්වේදනා අත්විඳින්නට ඇතැයිද මම සිතමි.
ඒ නිසා මට අන් අයගේ දුක ගැන සතුටු වීමට අවශ්ය නැත.
කර්මය පිළිබඳ තීන්දුව මිනිසුන් විසින් නොව, ස්වභාවධර්මය විසින් ලබාදෙන දෙයකි.
━━━━━━━━━━━━━━
📜 අස්ථානගත වූ ගිවිසුම
මෙම MiG ගනුදෙනුවට අදාළ ප්රධාන ලේඛනයක් වූ, එවකට ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක අත්සන් කළ ගිවිසුම අස්ථානගත වී ඇති බවට විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
එවැනි වැදගත් ලේඛනයක් ශ්රී ලංකා ගුවන් හමුදාව භාරයේ තිබියදී අස්ථානගත වූයේ කෙසේද?
එම ලේඛනයට අදාළව විවිධ චෝදනා සහ ප්රශ්න මතු වූයේ නම්,
ගිවිසුම් අත්සන් කළේ කවුද?
ගිවිසුම අස්ථානගත කළේ කවුද?
ඒවායේ සම්පූර්ණ සත්යය කුමක්ද?
එයට වගකිව යුතු පුද්ගලයන් මෙම නඩුවේ ප්රධාන සැකකරුවන් ලෙස නම් කර තිබියදී, පසුව ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ක්රියාත්මක වූ හිටං හුටං “ගුප්ත හස්තය” කුමක්ද?
මේවා මම අදත් අසන ප්රශ්න පමණි.
මට අවශ්ය වන්නේ සත්යයයි, සාධාරණත්වයයි..
2015 සිට 2026 දක්වා ගත වූ වසර 11 තුළ, දේශපාලන පළිගැනීම් සහ චෝදනා ලෙස මම අත්විඳි දේවල් සම්බන්ධයෙන්, යම් දිනක සාධාරණ සහ නීත්යානුකූල විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම අදත් ජීවිතයට මුහුණ දෙමි.
━━━━━━━━━━━━━━
🇱🇰 වසර 41කට පසුව…
1985 අගෝස්තු 22 වැනිදා කටුනායකින් මොස්කව් බලා ගිය තරුණයා…
ශිෂ්යයෙකු විය.
ඉන්පසු…
ව්යාපාරිකයෙකු විය.
ගරු සේවා කොන්සල්වරයෙකු විය.
තානාපතිවරයෙකු විය.
අවසානයේ…
දේශපාලන හා නීතිමය අභියෝග රාශියකට මුහුණ දුන් ශ්රී ලාංකිකයෙකු බවට පත්විය.
නමුත් මේ වසර 41 පුරාම වෙනස් නොවූ එක දෙයක් තිබේ.
ශ්රී ලංකාව වෙනුවෙන් සේවය කිරීමට තිබූ මගේ අධිෂ්ඨානය.
අද වසර 41කට පසුව මම ආපසු හැරී බලන විට මට කියන්නට ඇත්තේ එකම දෙයකි.
ජීවිතය අපට බොහෝ දේ උගන්වයි.
බලය වෙනස් වේ.
දේශපාලනය වෙනස් වේ.
මිනිසුන් වෙනස් වේ.
ආණ්ඩු වෙනස් වේ.
නමුත්…
ඉතිහාසය කිසිදා අමතක නොවේ.
1985 අගෝස්තු 22 වැනිදා ආරම්භ වූ මගේ රුසියානු–යුක්රේනියානු ගමනට අද වසර 41කි.
එදා මොස්කව් ගිය මට තිබුණේ සිහිනයක් පමණි.
අද, වසර 41කට පසුව, මගේ අතේ තිබෙන්නේ…
අත්දැකීම් පිරි වසර 41ක ඉතිහාසයකි.
ජයග්රහණ සහ පරාජයන්ගෙන් පිරුණු ජීවිතයකි.
මතකයන් රාශියකි.
තවමත් පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න කිහිපයකි.
ඒ සියල්ලටම වඩා…
🇱🇰 ශ්රී ලංකාව වෙනුවෙන් සේවය කළ බවට ඇති ආඩම්බරයයි.
— උදයාංග වීරතුංග
රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති