02/02/2026
ඊයෙ උදේ වුණ සිද්ධියක් හිතට තදින්ම වැදුණා.
ඊයේ උදේ 9ට විතර කුණු ට්‍රක් එකේ සද්දෙ ඇහුණා. ඒ වෙලාවෙම වගේ මං ගෙදරින් එළියට බැස්සෙ පොඩි වැඩකට එළියට යන්න කියලා. අපේ ගෙවල්වලට ගෙවල් දෙකක් විතර එහායින් ඉන්න ඇන්ටි කෙනෙක්
ලොකු කළු කුණු බෑග් එකක් ඇදගෙන මෙන්න මගෙ ඉස්සරහට එනවා.
“අදත් බරයි අනේ.”
හුස්මක් හෙලලා ඇන්ටි මං දිහා බලලා කිව්වා. බෑග් එක බරට ඇදීගෙන පාරේ ගැස්සි ගැස්සි යනවා. බෑග් එක මැද්දෙන් ටිකක් ඉරිලා. ඒකෙන් ඇතුළ පේනවා. බෑග් එක ඇතුළෙ
ඉතුරු බත්, ෂොපින් බෑග්, ප්ලාස්ටික් බෝතල්, වීදුරු කැබලි, බැට්‍රි කෑලි, ටිෂූ ...
හරියට නිකන් ජීවිතේ ඔක්කෝම ඉතුරු දේවල් එක බෑග් එකක් ඇතුළට දාලා වගේ. හිරවෙලා ඔක්කොම එකට. කුණු ට්‍රක් එකේ හිටපු මල්ලි කෙනෙක් එතකොට මෙහෙම කිව්වා.
“අක්කේ… මේ කුණු ටික වෙන් කරලා දෙන්න බැරිද? අපිට මේ එකක් ගානෙ වෙන් කර කර ඉන්න අමාරුයි."
ඇන්ටි හිනා වෙලා,
“අනේ ඒකට වෙලාවක් නෑ පුතා, අනික ඉතිං ඔක්කොම කුණු නේද?”
“ඔක්කොම කුණු නේද? ? ?”
ඒ වචන ටික ඇහුණම අමුත්තක් දැනුණා.
ඇත්තටම…
ඔක්කොම කුණුමද?
එක පාරටම බෑග් එක කැඩිලා බිමට වැටුණා.
ඉතුරු වුණු කෑම හැමතැනම විසි වුණා. ප්ලාස්ටික් බෝතලයක් රෝල් වෙලා කාණුවට ගියා. ඒ මදිවට වීදුරු කෑලි ගොඩක් පාර පුරා.
අර මල්ලි ඒවා එකතු කරන්න එතනට ගිය වෙලාවෙ එයාගෙ අත කැපුණා. ලේ පොඩ්ඩක් බිමට වැටුණා. මට හිතාගන්න බැරි ඒත් එයා හිනා වෙලා,
“කමක් නෑ අක්කේ…”
කියලා ආයෙමත් කුණු එකතු කරන්න ගත්තා. හරියට නිකන් එයාට ඒක පුරුදුයි වගේ. එක්කෙනෙක් කරන එක නොසැළකිලිමත් වැඩක් නිසා තව කෙනෙක්ගේ ලේ වැටෙන එක පුරුද්දක් වෙලා.
මේ අතරෙ පොඩි බල්ලෙක් අර කුණු බෑග් එකෙන් බිමට වැටුණු කෑම ටික කන්න යනවා. ඊට එහා පැත්තෙන් අම්මෙක්ගෙ අතේ එල්ලිලා යන පොඩි ළමයෙක් නාහෙ වහගෙන යනවා. එතන මහ අමුතු ගඳක්. අපිට නොදැනෙන හැබැයි ඒ ළමයාට හුස්ම ගන්න බැරි තරමෙ ගඳක්. එක මොහොතකට මට හිතුනා. අපි “කුණු” කියලා දාලා යන දේවල් ඇත්තටම කී දෙනෙක්ට ජීවිතේ ප්‍රශ්නයක් වෙලා ද?
එක බෑග් එකක්. හැබැයි ප්‍රශ්න ගොඩක්. මහ වෙලාවක් යන්නෙ නෑනෙ ඔය ටික වෙන් කරලා දාන්න විනාඩි 2යි යන්නෙ. හැබැයි ඒ විනාඩි 2ට පුළුවන් කෙනෙක්ව දවස පුරා වදයෙන් බේරගන්න.
කසළ වෙන් කරනවා කියන්නේ නීතියක් නෙවෙයි. ඒක අපි කොච්චර සදාචාරාත්මකද කියලා පෙන්නන දෙයක්. කෙනෙකුගේ අතක් බේරගන්න ක්‍රියාවක්. තව කෙනෙකුගේ දරුවෙකුට පිරිසිදු පාරක් දෙන තීරණයක්.
ඊයෙ උදේ දැක්ක ඒ බෑග් එක මතක් වෙද්දි
මට හිතුනේ එකම එක දෙයක් විතරයි…
“අද අපි වෙන් කරලා දාන කුණු හෙට දවසේ අපේම ජීවිතයම බේරගන්නවා.”
ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද? තියෙනවනම් පහළින් comment එකක් දාගෙන යන්න.