18/08/2026
රාජ්‍ය සේවය කියන්නේ වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් හා යුතුකමක්...
- ජේ. එම්. තිලකා ජයසුන්දර
ජේ.එම්. තිලකා ජයසුන්දර යනු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරිය යි.
රාජ්‍ය ආයතන ගණනාවක විවිධ තනතුරු හොබවා ඇති ඇය, මේ වසරේ සිය රාජ්‍ය පරිපාලන සේවාවේ 35 වැනි වසර සපුරන්නී ය. මේ කතාබහ ඒ නිමිත්තෙනි.
* 35 වසරක පරිපාලන සේවය තුළ ඔබ කොතරම් තෘප්තිමත්ද? ......
ආපස්සට හැරී බැලුවොත් මම බොහොම අභිමානවත් තිස්පස් වසරක් පහුකරලා තියෙන්නේ. හෘද සාක්ෂියට 100 % ක් එකඟව රාජකාරිය නිවරදිව කළා කියන නිහතමානී සතුට අද මං අත්විඳිනවා.
මගේ වෘත්තීය ජීවිතය පටන් ගන්නේ, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරියක් විදියට විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධවයි. ඊට පසුවයි, පරිපාලන සේවයට එක් වන්නේ. එය ආයතන ගණනාවකට නායකත්වය දෙමින් , තීරණාත්මක තීන්දු තීරණ ගනිමින් රාජකාරිය නිවරදිවම ඉටු කළ කාල පරිච්ඡේදයක්. පැවරුණු කිසිදු රාජකාරියක් මගේ අතින් මඟ හැරිලා නැහැ.
* ගෙවුණු කාලය තුළ ගැනීමට සිදු වූ අභියෝගාත්මකම පරිපාලනමය තීරණය කුමක් ද?..
මේ තිස්පස් වසරේ හැම වසරක්ම මට Milestone එකක්. හැම අසීරු අවස්ථාවකම නිවරදිම තීරණය ගන්න මට පුළුවන් වුණා. විවිධ තරාතිරම් වල දේශපාලඥයින් සමඟ වැඩ කරන විට කාන්තාවකට එහෙම වෙන්න පුළුවන්ද කියා හිතෙන්න පුළුවන්! නමුත් කාන්තාවක් විසින් තම වෘත්තීමය ජීවිතය තුළ ගොඩ නඟා ගන්නා පෞරුෂයට පුළුවන් ඕනෑම තැනක පලිහක් මෙන් නැඟී සිටින්න. එය අධ්‍යාපනයෙන් අත්දැකීමෙන් සහ වෘත්තීයභාවයෙන් ගොඩනඟා ගත හැකි තත්ත්වයක්.
* රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන විට ඔබට දැනුණු හැඟිම කෙබඳු ද?...
එවැනි අවස්ථාවල මම නියෝජනය කරන්නේ මගේ පුංචි රට බව දැඩි ලෙස මම හිතනවා. රාජකාරීමය වශයෙන් රටවල් ගණනාවකට යන්න අවස්ථාව ලැබී තියෙනවා. ඒ හැම අවස්ථාවකම රටට ප්‍රතිලාභ ගෙනැවිත් තිබෙනවා. රට නියෝජනය කරමින් රාජ්‍ය සේවකයෙක් විදෙස් සංචාරයකට යනවා නම්, ඒ ගමනින් අනිවාර්යෙන්ම තමන්ගේ රටට ප්‍රතිලාභ රැගෙන එන්න ඕනේ, කියන තැනයි මම ඉන්නේ.
* රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් නැහැ.? ...
ඇත්ත. බොහෝ අය රාජ්‍ය සේවයේ වැරදි, අඩුපාඩු හා අකාර්යක්ෂමතාව පමණක් දැක්කට, සේවයට කැප වෙලා වැඩ කරන විශාල පිරිසක් රාජ්‍ය සේවය තුළ ඉන්නවා. මම දවසට පැය 16ක් විතර වැඩ කරන කෙනෙක්. සෙනසුරාදා, ඉරිදා, රජයේ නිවාඩු දවස් කියලා විශේෂයක් නැහැ. මේ වගේ වැඩ කරන පිරිසක් මම වැඩ කරපු ආයතන වල සිටියා. දැනුත් ඉන්නවා. නමුත් රාජ්‍ය සේවයේ නිවරදි විය යුතු , වෙනස් විය යුතු තැන් බොහෝ තිබෙනවා.
* අද තරුණ පරපුර රාජ්‍ය සේවයට එන්න බොහොම උනන්දුයි. ආවට පස්සේ, තත්වය වෙනස්? ....
ඔවුන්ගෙන් බහුතරයක් වරප්‍රසාදයක් ලෙස පමණයි රාජ්‍ය සේවය දකින්නේ. ඇත්තටම රාජ්‍ය සේවය කියන්නේ රට වෙනුවෙන් විශාල වගකීමක් දරන්නට ලැබෙන මහඟු අවස්ථාවක්. මේ සඳහා හැඟිම මෙන්ම කැපවීමත් ඉතා වැදගත්.
* පරිපාලක කාන්තාවක් ලෙස රාජකාරිමය බාධා තියෙන්නට ඇති? ...
කාන්තාවක් වීම නිසා අවස්ථා අහිමි වුණා කියලා මට හිතෙන්නේ නැහැ. ආපු අභියෝගනම් ඕනෑ තරම් තිබුණා. නමුත් එම අභියෝග සාර්ථකව ජයගන්න පුළුවන් උනා.
අමාත්‍යාංශයක තීන්දු තීරණ ගනිද්දී අමාත්‍යවරයා එක ගමනකයි, ලේකම් තව ගමනකයි යන්න බැහැ. අමාත්‍යාංශයේ ඉලක්ක සපුරාගන්න නම් දේශපාලන අධිකාරිය සමඟ රාජ්‍ය සේවය සමාන්තර ගමනක් යා යුතුයි. 1998 ඉඳන් අමාත්‍යවරුන් ගණණාවක් සමඟ මම වැඩ කළා. මතවාදී ගැටුම් නොතිබුනා නොවෙයි. මොන විදිහේ බලපෑමක් ආවත් කිසිම අවස්ථාවක මගේ නිවරදි තීරණ මම වෙනස් කරලා නැහැ. බැරිම නම් මම එතනින් ඉවත් උනා.
2013 තමයි මං පහුකළ අමාරුම කාලය. නමුත් මං හිතනවා, අධ්‍යාපනය තුළින් ලබන ශක්තිය ඕනෑම අවස්ථාවක පලිහක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ගන්නා තීරණය නිවරදි නම් කිසිම අයුතු බලපෑමකට යටත් විය යුතු නෑ කියන එකයි මගේ මතය. විවිධ රජයන් යටතේ විවිධ දේශපාලඥයන් සමඟ සුහදව වැඩ කරන්න මට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසා. අදටත් මට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරනවා. මොන බලපෑමක් ආවත් රටට හානි වන කිසිම තීරණයක් ගැනීමට මම පෙළබෙන්නේ නෑ.
වර්තමානයේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අමාත්‍යතුමා සහ නියෝජ්‍ය අමාත්‍යතුමා සමඟ මට තියෙන්නේ ඉතාමත් මිත්‍රශීලී සම්භන්ධතාවයක්. අපි ඉතාමත් හොඳ අවබෝධයෙන් හා වගකීමෙන් සුහදව රාජකාරී කරමින් ඉන්නවා. මේ කාල සීමාව තුළ කිසිම බලපෑමකින් තොරව නිවරදි ගමනක් යන්න අපට හැකියාව ලැබී තියෙනවා. ඒ තත්වය මම ගොඩක් අගය කරනවා.
* ඒ කියන්නේ ඔබ සොදුරු අඥාදායකයෙක්? ......
(සිනාසෙමින්) රටේ යහපත අභිවෘද්ධිය වෙනුවෙන් රාජ්‍ය සේවකයෙක් ලෙස මට ලැබිලා තියෙන බලතල මත අවශ්‍ය තීන්දු තීරණ ගන්න මම පැකිලෙන්නේ නෑ.
* රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණවල දී ඔබේ භූමිකාව ප්‍රබලව නැඟී හිටියා…
මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ කාලයේ රාජ්‍ය ව්‍යාපාරවලට ආයතනික පාලන ක්‍රමවේද හඳුන්වා දුන්නා. සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ ක්‍රමවේද සකස් කළා. Budget Systems, Performance Management, Good Governance Frameworks, Strategic Plans... හඳුන්වා දුන්නා. මේ සෑම විටම ඉතා හොඳ කණ්ඩායමක් මා වටා හිටියා.
* කලෙක ITN සභාපතිනිය ඔබ…
ඒ, 2018 දී. ITN ඉතිහාසයේ සභාපති වූ පළමු කාන්තාව වීමත් විශේෂයක්. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරද්දී. 'වැඩ බලන සභාපතිනිය' ලෙස, වගකීමක් විදියටයි මම එම තනතුර බාර ගත්තේ.
* කවුද ඔබේ ජීවිතයේ Role Model...
මගේ තාත්තා. ඔහු තැපැල් ස්ථානාධිපතිවරයෙක්. තාත්තා රාජ්‍ය සේවය දේව කාරියක් විදියට සලකපු කෙනෙක්. තාත්තට රැකියාවට අදාළ ලස්සන පුංචි පැන්සලක් හා සටහන් පොතක් තිබුනා. මං බොහොම පුංචි කාළේ දවසක් ඒ පැන්සල ඉල්ලලා බිම පෙරලිලා ඇඩුවා. ඒත් තාත්තා මට ඒක දුන්නේ නෑ. කඩෙන් අළුත් පැන්සල් 4 ක් ගෙනත් දීලා මට කිව්වා “මේ පැන්සල රාජ්‍ය දේපළක්, ඒක ඔයාට ගන්නවත් මට ඒක ඔයාට දෙන්නවත් අයිතියක් නැහැ...” කියලා. රාජ්‍ය දේපල අවභාවිතය ගැන මට පළවෙනි පාඩම කියලා දුන්නේ මගේ තාත්තා.
රාජ්‍ය සේවයේ දී මට හමු වූ සොදුරු නිලධාරීන් දෙදෙනෙක් මගේ ජීවිතයේ ආදර්ශයක් විදියට මම සළකනවා. එක් අයෙක් හිටපු ලේකම්වරයෙක්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන මහින්ද මඩිහහේවා මහතා. අනෙක් කෙනා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්.එස් සමරතුංග මහතා. මේ දෙදෙනාගෙන් අදටත් මම උපදෙස් ගන්නවා.
* ඇයි පරිපාලන සේවයටම එන්න මේ තරම් විශේෂ කැමැත්තක්...
ඒකට මාව පෙළඹුවේ මගේ තාත්තා. මගේ ඉලක්කය වුණේ, රටට සේවයක් කරන්න පුළුවන්, මමත් සතුටු වෙන විදියේ රැකියාවක් කරන්න. ඒ නිසා වෙනත් අවස්ථා ලැබිලත් මං බලාගෙන හිටියා, පරිපාලන සේවය වෙනුවෙන්.
ඒ අනුව, 1998 අදාළ පුහුණු කාලය සම්පූර්ණ කරලා පරිපාලන සේවයේ රැකියාවත් සමඟ මම කාන්තා කටයුතු අමාත්‍යාංශයට සම්භන්ධ උනා. ඒ, කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් කියලා දැනුන නිසා.
* ඉතින්, කාන්තාවන් වෙනුවෙන් යමක් කළා ද...
නිදහස් වෙළඳ කලාපයේ වැඩ කළ ගැහැනු ළමයින්ගේ නවාතැන් ඒ කාලේ හොඳ තත්ත්වයක තිබුණේ නැහැ. මම ඒ නවාතැන්වලට ගියා. එක කාමරයක දහ දෙනෙක් විතර. එක වැසිකිලියයි. පුංචි භූමි තෙල් ලිපක් තියාගෙන එක හොද්දක් හදාගෙන කන බොහොම දුෂ්කර ජීවිත. ඒ තරුණ ජීවිත වලට කිසිම ආරක්ෂාවක් නැහැ. මේ තත්වය මාව සසල කලා. මං ඇවිත් වාර්තාවක් හැදුවා. ඒ අනුව, ගැහැනු ළමයි 300කට ආරක්ෂාව ඇති, පහසුකම් සහිතව ඉන්න පුළුවන් කාමර 100ක නේවාසිකාගාරයක් හදන යෝජනාව ඉදිරිපත් කළා. ඒ යෝජනාව ක්‍රියාත්මක වුණා. ඉන් පසුවත් මම ගිය හැම අමාත්‍යංශයකම අවශ්‍යතාව අනුව, එවැනි ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කළා.
* ඔබ ආ ගමනේ සන්ධිස්ථාන බොහොමයක් ඇති...
විදේශ කටයුතු අමාත්‍යාංශය, කාන්තා කටයුතු අමාත්‍යාශය, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය, ජාතික ශිල්ප සභාව, ජාතික ළුලදායිතා ලේකම් කාර්යාලය, කම්කරු අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, ක්‍රීඩා අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මගේ රාජකාරී චාරිකාවේ නැවතුම්පළවල්. මේ හැම ආයතනයක්ම මට විශේෂයි. ඒ හැම තැකකදිම අළුත් දෙයක් හරහා රටට සේවයක් කිරීමට හැකිවීම මම ලැබූ භාග්‍යක්.
නමුත් ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස ජපානයේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ සේවයට එක්වීම මගේ රාජකාරී දිවියේ සුවිශේෂි සන්ධිස්ථානයක්. එහිදී සාමාජික රටවල් 21ක් සමඟ වැඩ කරන්න ලැබුණා. ආසියානු ඵලදායිතා සංවිධානයේ වසර 56 ක ඉතිහාසයේ ජපන් ජාතිකයෙක් නොවන විදේශිය අයෙක් කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂක ලෙස පත්වූ පළමු හා එකම අවස්ථාව ඒක.
ආසියානු ඵලදායිතා සංවිධානයේ කර්මාන්ත අංශයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ 2013 - 2016 කාලයේ මං හිටියේ ජපානයේ. මගේ රාජකාරිය වුණේ ඵලදායිතාව ඉහළ නැංවීමට සාමාජික රටවලට උදව් කිරීම. එම රටවල්වල ඵලදායිතා වර්ධනය සඳහා බොහෝ ව්‍යාපෘති එම කාලයේ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුනා. ආසියානු ඵලදායිතා සංවිධානයේ රාජ්‍ය අංශයේ ළුලදායිතා වැඩසටහන මේ කාලය තුළ හදුන්වාදීමට අවස්ථාව ලැබීමත් සුවිශේෂී කරුණක්.
මේ කාලයේ අපේ රටේත් ඵලදායිතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. ලාංකිකයින්ට පුහුණු අවස්ථා ලබා දුන්නා. සුගම සහ රොක් චයිල්ඩ් වතුයායගේ ජනතාව සම්බන්ධ කරගෙන විශේෂ වැඩසටහන් සිදුකළා. නැවත ලංකාවට ආවට පස්සේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරමින්, ආසියානු ඵලදායිතා සංවිධානයේදී ලද අත්දැකීම් ලංකාවට ආදේශ කරන්න පියවර ගත්තා. ඇත්තටම මං සතුටින්ම වැඩ කළ කාල පරිච්ඡේදයක් තමයි ඵලදායිතා ලේකම් කාර්යාලයේ ගෙවිලා ගියේ. වැඩිම කාලයක් හිටියෙත් එතැන.
* සුවිශාල අත්දැකීම් රැසක් ඇති ඔබට විදේශ රටවලින් හා පෞද්ගලික අංශයෙන් රැකියා සඳහා ආරාධනා ලැබුනේ නැද්ද? ....
අනන්තවත් එවැනි ආරාධනා ලැබුනා. දැනටත් ලැබෙනවා. නමුත් මගේ හිතේ තදින්ම කා වැදී ඇති දෙයක් තමයි මගේ දැනුම මගේ සේවය මම උපන් රටට ලබාදියයුතුයි කියන දේ. අනික් කාරණය තමයි මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මේ තත්වයට පැමිණි කෙනෙක්. ඒ නිසා මට වගකීමක් හා යුතුකමක් තියෙනවා මගේ රටට සේවය කරන්න. ඒ නිසා මම ප්‍රමුඛතාවය ලබාදෙන්නේ මගේ රටට. පුළුවන් තරම් කාලයක් පරිපාලන සේවය තුළ මගේ යුතුකම ඉටුකරනවා. ඊට පසුවත් මගේ සේවය අවශ්‍ය ආකාරයට මේ රටට ලබාදෙන්න මම සූදානම්.
* ඔබ හරිම ආකර්ශණීයයි. එහෙම නේද?...
(සිනාසෙමින්) මම හිතන්නේ සෑම කාන්තාවක්ම ආකර්ශණියයි. ඔවුන් සමාජය ඉදිරියට එනවිට තමන්ගේ පෙනුම, විලාසිතා. කථා බහ, හැසිරෙන ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මම ලස්සනට අදින්න පුංචි කාළේ ඉඳන්ම ආසයි. මම මගේ පෞරුශයට ගැලපෙන විලාසිතා කරනවා. එය බාහිර සමාජයට ආකර්ශණීය ලෙස දැනෙනවා ඇති.
* ඔබ ළමා කාලයේ කොහොම චරිතයක් ද?...
කොල්ලෙක් වගේ කෙල්ලෙක්. ගමේ අපිට සෙල්ලම් කරන්න කණ්ඩායමක් හිටියා. ඉස්කෝලේ ඇරිලා ආවම ඒ නඩේට නංගියි මල්ලියි මායි එකතු වුණා. අම්මා අපිට එයාලා එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. තාත්තාගේ රැකියා ස්ථාන මාරු වෙලා විවිධ පළාත්වලට යද්දි අපිවත් එක්ක ගියා. අන්තිමේ නතර වුණේ කැකිරාවේ. මම පාසල් හතකට ගියා. කැකිරාව සෙන්ට්‍රල් එක තමයි අන්තිමට ඉගෙන ගත් පාසල.
මං පුංචි කාලෙ කුස්සියේ වැඩ වලට අම්මට උදව්වක් කළ කෙනෙක් නම් නෙමෙයි. හැබැයි තාත්තා ගෙදර ආවම තාත්තා එක්ක කුඹුරට ගියා. ගෙදර වත්තේ වැඩ කළා. තාත්තගේ වැඩවලට නම් හරි හරියට උදව් වුණා.
* හැබැයි ඔබ ඉගෙනීමට දක්ෂයි...
ඔව්. උසස් පෙළ කළේම විශ්වවිද්‍යාලේ යන්න බලාගෙන. මම විශ්ව විද්‍යාලයට තේරුණු 1988 අවුරුද්දේ විශ්ව විද්‍යාල වහලා. එතකල් මං චාර්ටඩ් කළා. 1990 මං විශ්ව විද්‍යාලේ යන්න පටන් ගත්තේ නාවින්නේ ඥාති ගෙදරක නැවතිලා. ඒ යනකොට මං චාටර්ඩ් විභාගයේ පියවර දෙකකුත් කරලා. ඒ වගේම, විගණන පරීක්ෂක විභාගය සමත් වෙලා, විගණන පරීක්ෂකවරියක් විදියට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රැකියාවත් කරනවා. වයස 22යි.
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි අය මට ලොකු සහයෝගයක් දුන්නා. උපාධිය සම්පූර්ණ කරන තෙක් මම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ කළා. ඒ අතරේ පරිපාලන සේවා විභාගයත් සමත් වුණා. ඩිප්ලෝමා කිහිපයක් කළා. මගේ අරමුණ තිබුණේ පරිපාලන සේවයට එක් වෙන්න.
මගේ තාත්තා මාස් පඩිය ලබන රජයේ සේවකයෙක්. වැටුපෙන් ළමයි තුන්දෙනෙකුට උගන්වලා පවුල නඩත්තු කළේ බොහොම පරිස්සමෙන්. හැබැයි අපට ආර්ථික ප්‍රශ්ණ තිබුනේ නැහැ. අම්මගේ නිවරදි කළමණාකරණය නිසා තාත්තගේ වැටුප අපි පස් දෙනෙකුට ජීවත් වෙන්න ප්‍රමාණවත් උනා.
* මේ ගමන එන්න ගෙදරින් ලැබුණු සහයෝගය ගැනත් කියන්න...
මගේ ලොකු අවධානයක් තිබෙන්නේ රාජකාරියට. මගේ මහත්තයගෙන් ලැබුණු සහයෝගය සහ අවබෝධය නිසා මට මේ ගමන එන්න පහසු වුණා. “අරක කරන්න .... , මේක කරන්න එපා....” කියලා කිසි දවසක මට බලපෑමක් තිබුණේ නැහැ. ඔහු අතීතයේ අරගලකාරී දේශපාලනය තුළ ප්‍රබල චරිතයක්. හැබැයි නිහඬයි.
ඒ වගේම අපේ ගෙදර මට විශාල සහයෝගයක් දෙන තවත් කෙනෙක් ඉන්නවා. ඒ මගේ නෑනා. ඇය මගේ පුතාව අම්මෙක් වගේ බලා ගත්තා. අදටත් ගෙදර වැඩවලින් එයා මාව නිදහස් කරලා. රාජකාරිය දේවකාරිය වගේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, මේ දෙන්නගෙනුයි මගේ පුතාගෙනුයි ලැබෙන ඒ ආදරය සහ සහයෝගය නිසා.
* ඉඳ හිටවත් ගමට යනවා ද?...
මගේ තාත්තට දැන් අවුරුදු 93 යි. අම්මයි තාත්තයි දෙන්නම අදටත් කැකිරාවේ මහ ගෙදර ජීවත් වෙනවා. මම මාසෙකට සැරයක් ඒගොල්ලන්ව බලන්න යනවා. මගේ නංගි අම්මලත් එක්ක ඉන්න නිසා, එයා හොඳින් අම්මවයි තාත්තවයි බලා ගන්නවා. ගමට ගියාම මම තවමත්, ඒ ගම පුරා දුව පැන සෙල්ලම් කරපු, ගස් - ගල් උඩ නැග්ග මගේ හිත ඇතුළේ ඉන්න දඟකාර 'තිලකා' කියන පුංචි කෙල්ලව හොයනවා.
* රාජ්‍ය සේවය ඉදිරියට ගෙනයන්න මොනවද ඔබේ යෝජනා? ...
System - Procedures - Process මීට වඩා දියුණු වෙන්න ඕනෙ. ඒවා ආදේශ වෙන්න ඕනේ සහ නියාමනය වෙන්න ඕනේ. මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය තුළ සහ හිටපු හැම ආයතනයකම මම මේ දේ ක්‍රියාත්මක කර තිබෙනවා.
රාජ්‍ය සේවයේ සෑම අංශයක්ම මේ යටතේ දියුණු තියුණු වෙනවා නම් සමස්ත රාජ්‍ය සේවාවටම ඉදිරියට යන්න පුළුවන්. වැදගත්ම දේ ආයතන ප්‍රධානියා අවශ්‍ය නිවරදි තීන්දු තීරණ ගන්න පුළුවන් ශක්තිමත් අයෙක් වෙන්න ඕන.
* අවසානයේ, තරුණ රාජ්‍ය නිලධාරීන්ට ඔබ දෙන පණිවුඩය කුමක් ද..
රාජ්‍ය සේවය කියන්නේ රැකියාවක් පමණක්ම නෙමෙයි. එය ජනතාවගේ විශ්වාසය භාර ගැනීමක්. වගකීම භාර ගන්න. වගවීමට බැදෙන්න. දවසක ඔබ නායකත්වයට පැමිණි විට ඔබ යටතේ ඉන්න කණ්ඩායම නිවැරැදි නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්න. තම කණ්ඩායමට විශ්වාස කරන්න පුළුවන් ප්‍රධානියෙක් වෙන්න!