07/08/2026
නාවිකයන් වෙනුවෙන් වෙනස් වන වෙළඳ නාවික ලේකම් කාර්යාලය...
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා අද (2026.08.07) වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
හිටපු වෙළඳ නාවිකයෙකු ලෙස නාවික ප්‍රජාවේ ජීවිතය හා ඔවුන් මුහුණදෙන අභියෝග පිළිබඳ මනා අවබෝධයකින් පසුවන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, තම දරු පවුල්වලින් ඈත්ව දුෂ්කර කැපකිරීම් මධ්‍යයේ සේවය කරමින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙනෙන නාවිකයන්ට වෙළඳ නාවික ලේකම් කාර්යාලය තුළින් ගෞරවනීය, කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් ලබාදීම රාජ්‍යයේ වගකීමක් බවයි.
වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ සේවාව සම්බන්ධයෙන් නාවික ප්‍රජාවගෙන් දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි පිළිබඳව අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවාව ලබාගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම සවන් දී, සංවේදීව හා වගකීමෙන් යුතුව කටයුතු කරන කාර්යක්ෂම සුහදශීලී සේවා සංස්කෘතියක් ගොඩනැගීමේ වැදගත්කම කාර්ය මණ්ඩලයට පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
"නාවිකයන් තම දරු පවුල්වලින් ඈත්ව විශාල කැපකිරීම් සිදු කරමින් රටේ ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනවා. එවැනි පිරිසක් සේවාවක් ලබාගැනීම සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යාලයට පැමිණෙන විට, ඔවුන් තවත් අපහසුතාවයට පත් නොකර, දිරිගන්වන, විශ්වාසය ගොඩනඟන සහ සුහදශීලී සේවාවක් ලබාදීම අප සැමගේ වගකීමක්."
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ආයතනයේ සේවාව පිළිබඳව තමන් පෞද්ගලිකවම අඛණ්ඩව සොයා බලන බවත්, නාවික ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය. එමෙන්ම, කාර්ය මණ්ඩලය මුහුණදෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීම සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහාය ලබාදෙන බවද අවධාරණය කළේය.
නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නායකත්වය යටතේ මෙම වසර තුළ වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ සැලකිය යුතු ධනාත්මක වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සේවාව සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව අවධානය යොමු කරමින්, කාර්ය මණ්ඩලය මුහුණදෙන ගැටලු හඳුනාගෙන අමාත්‍යාංශය සමඟ එක්ව ඒවාට විසඳුම් ලබාදී, නාවික ප්‍රජාවට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා සුහදශීලී සේවාවක් ලබාදීම සඳහා සියලු දෙනා එක්ව කැපවිය යුතු බව අවධාරණය කළේය.
• වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් හෝ පැමිණිල්ලක් ඇත්නම්, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා වෙත WhatsApp පණිවිඩයක් මඟින් දැනුම් දෙන්න.
මාලක උදයංග (පෞද්ගලික ලේකම්) – 076 648 8828
සඳුනි මැදිවත්ත (මහජන සම්බන්ධතා නිලධාරිනී) – 077 598 6104
• කරුණාකර දැනුම්දීම් WhatsApp පණිවිඩ මඟින් පමණක් යොමු කරන්න.