06/04/2025
මේ කතුරු ඔංචිල්ලාවේ තවත් වටයකට මිළ කීයද?
=========================================
පසුගිය කාල වකවානුව යනු බොහෝ දේශපාලනික පක්ෂ , සංවිධාන සහ අංශයන් පරීක්ෂාවට ලක්වූ කාලයකි. එමෙන්ම ඉදිරියේදී එම පරීක්ශාවන්ගේ තවත් ප්‍රතිඵල පැමිණීමටද නියමිතය. පවතින අර්ථයෙන් දේශපාලනය තුල සිදුවූ එකම වෙනසනම් මෙතෙක් ආණ්ඩු බලය හුවමාරුවෙමින් පැවති පක්ෂ දෙක සෝදාපාලුවට ලක්වෙමින් වෙනත් සංධානයක් එනම් NPP ය බලයට පත්වීමයි. ඉතා පැහැදිළි ලෙසම කිවයුත්තේ, අපගේ දේශපාලනික (දේශපාලනය අවසන් කිරිමේ දේශපාලනය) කියවීමට අනුව ඉන් එහා කිසිදු සුවිශේෂීත්වයක් මෙම ආණ්ඩුවේ නැත.
විවිධ අය මෙහි ඇති සුවිශේෂීතා විවිධාකාරයෙන් සූත්‍රගතකරමින් සිටියද ඒවා ව්‍යාජ සූත්‍රගතකිරීම් ය. ඒවා ඒ ආකාරයෙන් සූත්‍රගත කිරීමට සිදුවීම යනුම දේශපාලන දෛවෝපගතභාවයේ සරදම්කාරී ස්වබාවය පිළිඹිඹු වීමක් ය . අවශ්‍යනම් අපට එම සූත්‍රගතකිරීම් ගැන එකින් එක කතාකල හැකිය. එනමුත් අපට ඒ ගැන එතරම් උනන්දුවක් නැත්තේ ඒ සූත්‍රගතකිරීම් යනු ඔවුන් තමාටම පුනරුච්චාරනය කරගන්නා ප්‍රලාපයන් විනා, වෙනත් කිසිදු දේශපාලනික වැදගත්කමක් ඒවායේ නොමැති නිසාය. එවැනි ප්‍රලාප තොරොම්බොල් කරගන්නට සිදු වූයේ ඇයිද යන්න සිතීමනම් දේශපාලනිකව වැදගත් ය.
කෙසේවෙතත් සිදුවී ඇති විපර්යාසය , එනම් මෙතෙක් බලය පැවති දේශපාලනික පක්ෂ දෙකට වෙනස්ව වෙනත් තෙවැනි පාර්ශවයකට බලය ලැබී ඇති තත්වයක් තුළ , පවතින රාජ්‍යබලය කේන්ද්‍රකරගත් දේශපාලනයේ නියැලෙන පක්ෂ හා සංවිධානවලටනම් අලුත් තත්වයක්, ඉරනමක් උරුමකර දී ඇත. එය මෙතෙක් බලයේ සිටි එහෙත් දැන් සිය බලය ගිලිහී ඇති අයට අනුව npp ය කෙසේ හෝ බිඳවට්ටවා බලයට පැමිණිය යුතුය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුලත් විපක්ෂය ශක්තිමත් කරමින්, ඉන් පිටතත් භූමිය සකස්කල යුතුය. එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණය ඔවුන්ට අභියෝගාත්මකය. එමෙන්ම ඔවුන්ගේ චන්ද මට්ටම මැන බැලීමටද අවස්තාවකි.
අනෙක් පසින් සිටින්නේ NPP ආණ්ඩුවයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ පෙරකී පිරිස, එනම් එතෙක් බලයේ සිටි පිරිසෙහි අවම හෝ බලයක් තිබේනම් එයද යටපත් කරමින්, එමපිරිස් පෙරලන බාල්දි ඔලුවේ හලා නොගනිමින්, ඊනියා ජනතාවද තෘප්ත කරමින් (මෙය කල නොහැක්කකි) යාන්ත්‍රනයේ පවතින ගැටලු යටපත් කරමින්, එහිම ඇති ප්‍රතිවිරෝධතා අභිමුඛ වීම වලක්වාලමින්, සිදුරු කපරාරු කරමින් ආණ්ඩුව ඇදගෙන යාමය.( මැවැනි අයට රෝහණ විජේවීර කිව්වේ " හුචක්කු තල්ලු කරන්නන් කියාය ) විපක්ෂයේඔ පිරිස් වලට නීතිමය පසුබිමක තර්ජනයන් කිරීමද එහිම කොටසකි. (එවැනිදෑ තර්ජනද, නීතිය පසිඳලීමද යන්න අපට එතරම් අදාල නොවන්නේ. නීතිය පසඳලීම තබා නීතියවත් අපට අදාල නැති නිසාය)
කටයුතු මෙසේ වන විට මෙරට වාමාංශයේ ප්‍රභල නියෝජිතයා බවට පත්ව ඇති පෙසපෙට සිදුව ඇත්තේ අන්තෝ ජටා බහි ජටා තත්වයකි. විටෙක ඔවුනට ආණ්ඩුව විවේචනය කරමින් තමාව සලකුනු කරගත යුතුය. තවත් විටෙක ආණ්ඩුවට ටොක්කක් ඇන හරිපාරේ යැවිය යුතුය. එසේම ආණ්ඩුව පෙරලා පැරණි තන්ත්‍රයන් නැවත බලයට ඒමද වැළැක්විය යුතුය. අනෙක් අතට NPP ය නොව තමන් සැබෑ වම යැයි දේශපාලන මතු මහල තුළ තහවුරු කිරීමටද අවශ්‍යය. NPP ය යන්නේ චීන මාවතේද. චීනය සමාජවාදීද වැනි ප්‍රශ්න ඔවුන් අසන්නේ එනිසාය.
ඉහත කී පාර්ශවයන්ට අමතරව තවත් පාර්ශවයක් සිටී. එනම් දිනපතා අපට ආතල් දෙන ඊනියා සිවිල් බුද්ධිමතුන්ගේ කවයයි. මැවැනි සිවිල් කල්ලි රෙජීමයට සමාන්තරව බිහි වීම නූතන රාජ්‍ය ( Modern State ) යාන්ත්‍රණයේ නිසග ලක්ෂණයකි. එහි ඇතමෙකුට අනුව මලිමාණ්ඩුව රනිල් ගිය ලිබරල් පාරේම යාම එතරම් හද දවන දෙයක් නොවේ. එක්තරා විදියකට ඔවුන්ගේ ඉල්ලීම පළමුව ලිබරල් දක්ශිනාංශයක් ස්ථාපනය කලයුතු යැන හැගවුමකි. එහෙත් " බණ ජලය " වැනි ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් කැස පොට ගසා සිටින සිවිල් චණ්ඩින්ට නම්, මාලිමාණ්ඩුව රනිල්ගෙ පාරේම යාම තමන්ව ආතතියට පත් කරන්නකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ වේවැලෙන් පස්ස පැත්තට තලා මාලිමාණ්ඩුව හරිපාරේ දක්කාගෙන යාමය. එහෙත් වේවැල බුරුලට අල්ලා ගැනීමට ඔවුන් වග බලා ගනී.මන්දයත් තදින් පහර දීමට ගොස් ආණ්ඩුව පෙරලුනහොත් මුලින්ම නිකමුන් බවට පත් වන්නේ තමන් බව ඔවුන් හොදින් දන්නා නිසාය. ඔවුන් මේ දිනවල ආණ්ඩුවේ පලාපල කියමින් සිටී. ඊට අනුව අනුව මාලිමාණ්ඩුව වමෙත් නොව දකුණෙත් නොව මධ්‍ය වාමාංශයකි. සැබවින්ම අප මේවා තේරුමගත යුත්තේ කෙසේද? වඩාත් සංකීර්ණ ඊනියා ජනතා අභිලාශ සියල්ල එකවර නියෝජනය කිරීමේ සාරසංග්‍රහවාදයක් සදහා ඔවුන් තමන්ටම කියා ගන්නා ප්‍රලාප හැටියට ය... මාලිමාව මුල සිටම කලේ සියලුම විවිධාංගීකරනයනන්ට ආමන්ත්‍රනය කිරීමට, සියල්ල තම මල්ලේ දමාගැනීමේ එසේත් නැතිනම් එමසියල්ලෙහි නියොජිතයා වීමට වෙර දැරීමයි.... දන් මීට අමතරව ධනවාදී කතිකාවට එරෙහි කතිකාව ගොඩනැගීමට මාලිමාණ්ඩු නිමේෂය කදිම නිමේෂය යැයි හගින පකිස් බූරුවෙකුත් මොවුන්ගේ අඩු වැඩියට සිටීම උත්ප්‍රාසජනකබාවය ත්‍රීව කරයි.
ඉහත කී තත්වයන්ට අමතරව මෙතෙක් නොපැවති අමුතු සංකීර්ණ තත්වයක් හෝ වෙනසක් හෝ වාව්මය මැජික් එකක් නැත. රාජ්‍ය නම් අදිකාරීම ව්‍යුහයේ ධාවකයා (Agent ) පමණක් වෙනස් වී ඇත. ඒ අනුව ආණ්ඩුවක් ඇත. විපක්ෂයක් ඇත. වමක් ඇත දකුණක් ඇත. ඒ ඒ පාර්ශවයන්ට තමන්ගේ රුචි අරුචිය මත කඩේ හෝ සුපර් මාකට් යන ඊනියා සිවිල් බුද්ධිමතුන් ඇත. නැවතත් සියල්ල දෙගොඩ බෙදී සක්ස් වී ඇත. ආණ්ඩුව - විපක්ෂය , වම - දකුණ , ක්‍රමය - ක්‍රම විරෝධය, දේශපාලනය යනු මෙයයි. මෙම බයිනරීන් සමස්ථය හෝ ස්වබාවික ලෙස සැලකීම දෘෂ්ටිවාදයයි. පසුගිය කාලයේ ව්‍යාජ ,මතුපිට කැළඹීම් පහවගොස් යළි පැහැදිළි වීමට යම් කලක් ගතවූවා පමණි. ඒ කාලය සහ සිදුවීම් යනු කතුරු ඔංචිල්ලාවේ රවුමකට ගෙවීමට සිදුවූ මිලයි.
ඉදිරියේදී දේවල් තව තවත් සුපැහැදිළි වනු ඇත. නැවත නැවතත් මෙම බයිනරි සුසාදිතයන් සුසර වනු ඇත. වඩ වඩා පිරියම් කෙරෙනු ඇත. එහි නව භූමිකාවන් බිහිවනු ඇත. ඒවා හොබවන දෑත්ද වෙනස් වනු ඇත. එහෙත් සියල්ල සිදුවී අවසන් නැත. නැතහොත් දෘෂ්ටිවාදය යනු සියල්ල නොවේ. සියල්ලට ගත නොහැකි, ඊට ඔබ්බෙන් පවතින ශක්‍යතාවයක් ගැන අපි හැමදාම විශ්වාස කරමු. "විමුක්ති දේශපාලනය" යැයි අප නම් කරන්නේ එම ශක්‍යතාවයයි. එනම් දේශපාලනය අවසන් කිරීමේ දේශපාලනයයි. එම විමුක්ති දේශපාලනික අවකාශයේ විභවය තවමත් දැල්වෙමින් තිබේ.
ඉතින් මහත්වරුනී, මේ කතුරු ඔංචිල්ලාවේ තවත් රවුමකට මිළ කීයද ?
#තැන_තැන_බෝවෙන_කසුකුසුවක් #දේශපාලනය #ආණ්ඩුව #වම #පෙරටුගාමී