04/02/2026
අද, අප දේශය බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ හැත්තෑ අට වන සංවත්සරය සමරමු.
නිදහසින් පසු හැත්තෑ අට වසරක ගමන් මග තුළ අප ලබාගත් ජයග්‍රහණ බොහෝ ය. එමෙන් ම අපට මග හැරුණු සහ අතපසු වූ අවස්ථා ද නැත්තේ නොවේ.
අප නිදහස ලබන අවස්ථාව වන විට ඉතාමත් කාර්‍යක්ෂම සහ ස්වාධීන රාජ්‍ය සේවයක් පැවතුණි. ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණි. එහෙත් අද වන විට එම අංශ කෙරෙහි අවංකවම අපට සතුටු විය හැකි ද? අපට වැරදුනේ කොතැන ද? අප රටක් වශයෙන් ඒවා නිවැරදි කළ හැක්කේ කෙසේ ද? මෙවර නිදහස් දිනයේ හෝ ඒ පිළිබඳ ගැඹුරු ස්වයං විවේචනයක් අපට කළ හැකි නම් එම වැරදි නිවැරදි කර ගැනීමට අපහසු නොවන බව මාගේ විශ්වාසය යි.
අප ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් ලෙස සත්‍ය ලෙසම අපට හඳුන්වා දිය හැකි ද? මාගේ පෞද්ගලික විශ්වාසය නම් අපි රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික රාජ්‍ය පාලන ක්‍රමයක් පුරුදු පුහුණු වී නොමැති බවයි. ඒ වෙනුවට ආණ්ඩු වෙනස් වන විට ක්‍රම සහ විධි වෙන වන සම්ප්‍රදායක් අපි අනුගමනය කරමු. දේශපාලන මැදිහත්වීම, දූෂණය, අව කළමණාකරණය සහ නිලධාරීවාදය මුළු මහත් රාජ්‍ය තන්ත්‍රයම වෙලා ගෙන පවතියි. ඒවා වෙනස් නොකර ශිෂ්ටසම්පන්න රාජ්‍යයක් පිළිබඳ වන ඉලක්කය අපට සිහිනයක් ම වනු ඇත.
ඉතිහාසය තුළ සිදු කළ වැරදි පිළිබඳ එකිනෙකාට වගකීම් පවරා තමන් නිදහස් වනු වෙනුවට අපි සාමූහික ක්‍රියාමාර්ගයක් සොයා ගත යුතු වන්නෙමු.
දූෂණයෙන් තොර කාර්‍යක්ෂම සහ දේශපාලන බලපෑමට යට නොවූ ස්වාධීන රාජ්‍ය සේවයක්, සමානත්මතාවය සහ නීතියේ ආධිපත්‍යය සහිත පාලනයක්, දැනුම, ආකල්ප සහ කුසලතාවන්ගෙන් පිරිපුන් ආචාර ධාර්මික අනාගත පරපුරක් බිහිකර ගැනීම සඳහා කැප වුණු, දියුණු අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කළ යුතු වන්නෙමු.
මේ මොහොතේ අප රටක් ලෙස අධිෂ්ඨානශීලි විය යුත්තේ ඒ වෙනුවෙනි. එවිට අපිට සැබෑ නිදහස භුක්ති විඳීමට හැකි වනු ඇත.