19/06/2024
"දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක්" කරා යන ගමනේදී මා හට ගුරු විරුවන්ගේ සේවය මහා ශක්තියකි.
ඉන්දියාව මෙන් ලොව පුරෝගාමී ඩිජිටල් සේවා අපනයනිකයෙකු වීම සඳහා සුහුරු අධ්‍යාපනය (SMART Education) තුළින් සුහුරු සිසුන් (SMART Students) නිර්මාණය කොට, ඔවුන්ගෙන් සුහුරු තාරුණ්‍යයක් ද (SMART Youth), සුහුරු සේවා නියුක්තිකයන් ද (SMART Employees) නිර්මාණය කරගැනීමට මූලික අඩිතාලමක් වශයෙන් මවිසින් ආරම්භ කළ, "සක්වල" සුහුරු පන්ති කාමර (SMART Classrooms) ව්‍යාපෘතියේ 246 වැනි අදියරටත් අපි පැමිණ සිටින්නෙමු.
එහිදී ඒ සියලු පාසල් වල විදුහල්පතිවරුන්/වරියන් ඇතුළු ගුරුවරුන් සහ ගුරුවරියන් දැක්වූ සහයෝගය අගය කොට සලකමි.
පසුගියදා ගම්පහ වැලිවේරිය ඇඹරලුව මිහිඳු කණිෂ්ඨ විද්‍යාලයට "සක්වල" 239 වැනි සුහුරු පන්ති කාමරය පරිත්‍යාග කිරීමට ගිය මොහොතේදී, එම පාසලේ ගුරු භවතුන් මා හා මෙසේ ඡායාරූපයකට එක්විය. නොයෙක් දුක් කම්කටොලු, අභියෝග මැද ඔවුන් මෙරට සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරනු වස් කරන කැපකිරීම් ගැන අප කතාබහ කරන ප්‍රමාණය ප්‍රමාණවත් ද?
ලොව ගුරු වැටුප් අතින් ඉතා පහළ රටක් වන ශ්‍රී ලංකාව තුළ ගුරුවරුන් සහ ගුරුවරියන් අනිවාර්යයෙන්ම ලැබෙන මුදලට වඩා රටට සේවයක් සපයන්නන් ය. සරලවම කිවහොත්, රටේ අනාගතය වෙනුවෙන් දරු දැරියන්ව දැනුමෙන් සහ ගුණයෙන් සන්නද්ධ කරවන්නේ ගුරු භවතුන් ය. ඇතැම් පාසල් වලදී ඔවුහු සිය පෞද්ගලික ධනය, කාලය සහ ශ්‍රමය කැපකරමින් සේවය කරති. මාගේ රජයක් තුළ, ශ්‍රී ලංකාව ඩිජිටල් දේශයක් බවට පත්කරන ගමනේදී ඉතා වැදගත් කාර්යභාරයක් හිමි ඔවුන්ව මම අමතක නොකරමි.
වසරේ එක් දිනයකදී පමණක් "ගුරු උපහාර" පැවැත්වීම නුඹ සියලු දෙනා හට කරන අඩුපාඩුවකි. එබැවින්, අද "ගුරු දිනය නොවුනත්", මේ මල් කළඹ නුඹටයි. මෙරට සමස්ත ගුරුවරුනි, ගුරුවරියනි, ඔබට සුබ දවසක්!
- මම, සජිත් ප්‍රේමදාස -