13/06/2026
කිරිගල කෝම්පේ අම්බලම
ඉංගිරිය ප්රාදේශීය ලේකම් බලපෙදෙසේ ඉතිරිව ඇති එකම ඓතිහාසික අම්බලම හදපාන්ගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ
පාදුක්ක ඉංගිරිය මාර්ගයේ කිරිගල හොර වනාන්තරය අසල සාගර පළන්සූරිය විදුහල් භුමියේ පිහිටා ඇත.
අතීතයේ රයිගම් උඩුගහ පත්තුවේ පැවති විශාලතම වනාන්තරය මඩකඩ මූකලාන විය. වත්මන් රයිගම් වත්ත පිහිටි පෙදෙස එකල හැඳින්නූවේ මහ කැළේ නමිනි.
අතීතයේ සිරිපා කරුනාකරන මාර්ගයක් මීපේ හල්පේ බෝපේ කෝම්පේ හරහා නම්බපාන දක්වා පැවතුනි.
එම ගම්වලට නම් වැටුනේ එම ගම්මාන වල පැවති අම්බලම් හේතුකොටය. අම්බලමේ විවේක ගෙන අසල ඇති පූජනීය ගසකට පේ වීම එකල සිරිතය. මී ගසකට පේ වු නිසා මීපේද, හල් ගසකට පේ වු නිසා හල්පේද, බෝ ගසකට පේ වූ බැවින් බෝපේද, කෝන් ගසකට පේ වු බැවින් කෝම්පේ ද වූ බව ජනශ්‍රැතියේ එයි.
මහකැලේ මැදින් වැටුනු මාර්ගයේ ගමන් ඇරඹීමට පළමු මෙම කිරිගල කෝම්පේ අම්බලමේ විවේක ගැනීම සිරිතක් විය. දුරාතීතය ගැන සිය මතකය අවදි කරන වැඩිහිටියන්ගේ මතය අතීතයේ කිරිගල කෝම්පේ එක් ග්‍රමයක්ව පැවති බවය.
සිරිපා වන්දනා කරුවන් මේ අම්බලම අසල පැවති රූස්ස කෝන් ගසට පේ වී භාරහාර වන බැවින් කෝම්පේ අම්බලම නමින් හදුන්වා ඇත. කෝම්පේ විසල් කෝන් ගසකට පේ වී සිරිපා වන්දනා කරුවන් වන්දනා ගමන් ඇරඹූ බව කියවේ.
පසුකාලයේදී මෙම භූමිය සාගර පළන්සූරිය පාසැළට අයත් විය. එහි සංගීත කාමරය ලෙසද තවත් කලක ආපනශාලාව පැවතියේ මෙහිය.
මෙහි අතීතයේ මගීන් වාඩි වී විවේක ගත් පිල වර්තමානයේ පවා දක්නට ලැබේ.
අතීතයේ පැවති මැටි බිත්ති වෙනුවට වර්තමානයේ බ්ලොක් ගලෙන් බැද ඇත. ඒ නිසා මෙහි පැවති පුරාවිද්‍යාත්මක අගයට යම් හානියක් වී ඇත.
අතීත ස්වභාවයේ ලොකු වෙනසක් නොපැවතියද සුලු ප්‍රතිසංස්කරන හා වෙනස්වීම් කිහිපයක් සිදුව ඇත.
වර්තමානයේ අම්බලම අසල පවතින බුදු පිළිමය නිසා විශේෂ අගයක් ලැබී ඇත.
වසර සිය ගණනක් පැරණි උඩුගහ පත්තුවේ ඉතිරිව ඇති එකම ඓතිහාසික අම්බලම වන මෙම කිරිගල කෝම්පේ අම්බලම අනාගත පරපුරේ උරුමයකි. ඔවුන්ට දැකබලා ගැනීමට සංරක්ෂණය කිරීම වර්තමාන පරපුරේ යුතුකමය.
සටහන - ජානක තරංග ආරියරත්න- සංවර්ධන නිලධාරී.