01/01/2021
2021 නව වසර එළඹෙනුයේ මෙරට ජනතාවට මෙන්ම මුළු මහත් ලෝකයටම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකය. සියලු අභියෝග මධ්‍යයේ මෙම නව වසර නව්‍ය අපේක්ෂා පෙරදැරිව පිළිගැනීමෙහි සූදානමින් සිටින සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙත මාගේ හෘදයාංගම සුබ පැතුම් පළමුව පිළිගැන්වීමට කැමැත්තෙමි.
ගතවුණු 2020 වර්ෂය ලාංකික අපට පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවටද අනපේක්ෂිත අභියෝග රැසකට මුහුණපාන්නට සිදුවූ වසරක් විය.එසේ වුවද එම අභියෝගයන්ට සාපේක්ෂව අප උගත් පාඩම් සහ එකමුතුව ලබාගත් ජයග්‍රහණ නව වසරකට පිය නගන මොහොතේ ශක්තිමත් මනසකින් යුතුව ඉදිරියටම යනු පිණිස අතිශයින් වැදගත්වනු ඇත.
විශේෂයෙන්, කොවිඩ් 19 අභියෝගය සාර්ථකව පාලනය කිරීමෙහි ලා, ආණ්ඩුවේ මඟ පෙන්වීම මත සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අදාළ කණ්ඩායම් මෙන්ම සියලු ලාංකිකයන් දැක්වූ අප්‍රතිහත කැපවීම පිළිබඳව ගෞරවනීය කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.
ගතවුණු වසරේදී සුවිසල් අභියෝග අතරෙහි වුවද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමින්,ජනතා පරමාධිපත්‍යය ඔසවා තැබීමට හැකිවීම අප සියලු දෙනා ලද ජයග්‍රහණයකි. මහජනතාවගෙන් විවරණ ලද උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රඵලය වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ලෙස වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද ජනතා අභිලාෂයන් නොපිරිහෙළා ඉෂ්ට කිරීම අපගේ පරමාර්ථයයි.
එළඹෙන 2021 නව වසර නිසැකවම තීරණාත්මක එකක් වනු ඇත.ඒ සියලු අභියෝග ජයග්‍රහණය සඳහා , අපගේ ජාතික ගීයෙහි සඳහන් වන පරිද්දෙන්ම, ජාති - කුල-ආගම් ආදී සියලු භේද දුරලා එකමුතුබවෙන් යුතුව හදවතින් හා පිළිවෙතින් පෙළ ගැසෙන ලෙසට සියලු ශ්‍රී ලාංකිකයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. මේ නව වසරේ අප අපේක්ෂා කරන සැබෑ ජයග්‍රහණය එයයි.
සියලු ශ්‍රී ලාංකිකයන් හට නිරෝගීකම රජයන, සාමය,සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!