Divisional Forest Office - Kandy

Divisional Forest Office - Kandy To Conserve and Develop National Forest Resources Ensuring the Prosperity of the Nation.

23/09/2022

♥️♥️♥️ සංචාරක ඔබ අනිවාර්‍යයෙන්ම දැනගත යුතු නක්ල්ස් සංරක්ෂිත වනාන්තර පද්ධතියේ ඇති වටිනාකම😍😍😍
♥️Byishara♥️
නක්ල්ස් කදුවැටිය හා ඒ අවට ඇති වනාන්තර පද්ධතිය යනු ලංකාවේ බොහෝ දෙනෙක් සංචාරය කළ හා කිරීමට කැමති සංචාරක ඉසව්වකි. මේ නිසාම අද වනවිට දහස් ගණනක් දෙනා මේ කදුකර වනාන්තරය අවට ඇති සංචාරක ස්ථානවල වසර පුරා සැරිසැරීම සිදු කරති. එකී ප්‍රසිද්ධ සංචාරක ස්ථානයන් අතරින් කීපයක් මෙසේය:

මීමුරේ ගම්මානය හා ලකේගල
රිවර්ස්ටන් කදුමුදුන
පිටවල පතන
දූවිලි ඇල්ල
සේර ඇල්ල
කුඩා ලෝකාන්තය (පිටවල පතන)
කුඩා ලෝකාන්තය (ඩීන්ස්ටන්)
දෝතළුගල
යහන්ගල
ගැරඩි ඇල්ල හා ගැරඩිගල
දිනෙන දින සංචාරකයිනේ පැමිණීම නිසා නක්ල්ස් කදුකරය තුළ වූ හුදකාලා භාවයට, එහි ජෛව විවිධත්වයට හා එහි පරිසර පද්ධතියට නුදුරේදීම දැඩි හානි සිදුවීමට හැකිය. මේ නිසාම එම පරිසර පද්ධතිය රැකගැනීම සංචාරක ඔබේත්, මගේත් හා පුරවැසි සැමගේම යුතුකමකි. මේ නිසාම සංචාරක ඔබේ දැනුවත් කිරීම උදෙසාත් දැනුම උදෙසාත් අප විසින් මේ ලිපිය ඔබට ගෙන එන්නෙමු.

නක්ල්ස් වනාන්තර පද්ධතියේ පිහිටීම

මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල විශාල ප්‍රදේශයක් වසාගෙන උතුරු අක්ෂාංශ 7-5 අතරත් නැගෙනහිර දේශාංශ 81 අතර මේ වනාන්තර පරිසර පද්ධතිය පිහිටා ඇත. 1873 වසරේදී මීටර 1500ට වැඩි කදු පද්ධතිය දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකශයට පත්කර ඇති අතර 2000 වසරේදී සංරක්ෂණ වනාන්තරයක් බවට පත්කර ඇත. 2010 වසරේදී නක්ල්ස් කදුවැටිය, හෝර්ටන්තැන්න හා ශ්‍රීපාද අඩවිය එක්වන මධ්‍යම කදුකරය ස්වභාවික ලෝක උරුමයක් බවට පත්කර ඇත.

හෞතික ලක්ෂණ

මිට මොලවාගත්විට හස්තයක ස්වරූපය ඇති කන්දක් ලෙස පෙනෙන නිසා එකලදී මෙම කදුවැටියට නක්ල්ස් යන නම ලැබී ඇත. වසර පුරා දුමින් බරව පවතින නිසා දුම්බර කදුවැටිය ලෙසද හැදින්වේ. නක්ල්ස් කදුවැටියේ උසම කදු ශිඛර කීපයකි.

ගොම්බානිය – මීටර 1906
නක්ල්ස් – මීටර 1863
දෝතළුගල – මීටර 1753
කිරිගල්පොත්ත – මීටර 1648
කලුපහන හෙවත් තුන්හිස්ගල – මීටර 1629
කිරිමැටිය කන්ද – මීටර 1519
ලකේගල – මීටර 1319
තවද මෙම පරිසර පද්ධතිය වටිනා ජල පෝෂක ප්‍රදේශයකි. මෙමගින් හීන්ගග, මහඔය, හසලක ඔය, හුලුගග හා ගල්මල් ඔය පෝෂණය වීම සිදුවන අතර ඒවා සුන්දර මහවැලිය පෝෂණය කිරීම කරනු ලබයි.

ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ තුහින ඇතිවේ. අධික සුළං පවතින මේ ප්‍රදේශයේ ශාකවල කදන් ඇඹරුණු ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි. පිග්මි වනාන්තර ලෙස හැදින්වෙන සුවිශේෂී ශාක ප්‍රජාවක්ද මෙහි අන්තරගතය. නක්ල්ස් කදුකර කලාපය තුළ කදුකර වනාන්තර, උප කදුකර වනාන්තර මෙන්ම අර්ධ සදාහරිත වනාන්තරද අන්තරගතය.

මෙකී සුන්දර පරිසර කලාපය තුළ හුදකලා ගම්මාන 86කට අයත් පවුල් 16000ක් පමණ ජීවත්වේ. ඒ අතරින් සුවිශේෂි ගම්මානයක් වන්නේ මීමුරේ ඓතිහාසික ගම්මානයයි. මෙම ගම්මානයට ලගා වීම අතිශය අපහසු වන අතර හුන්නස්ගිරිය නගරයේ සිට ලූල්වත්ත හරහා කිලෝමීටර 36ක පම්ණ ගමනකින් මෙම ගමට ලගාවිය හැකිය. මෙම ගමේ ලස්සන දෙගුණ තෙගුණ කරන්නේ සුන්දර හා අමුතුවූ ලකේගල කදුමුදුන නිසාය. පැරණි ගම්මානයක දැකිය හැකි අසිරිය මීමුරේ ගම්මානය තුළ දැකිය හැකි වන මුත් 2015න් පසුව අධික ලෙස සංචාරකයන් එහි ගමන් කිරීම හේතුවෙන් ගමේ අසිරිය හා හුදකලා බව අද දැකිය නොහැකිය. මේ මීමුරේ සේම තවත් හුදකලා ගම්මාන රැසක් මෙහි අඩංගු වේ.

නක්ල්ස් කදුකරය වෙත යා හැකි මාර්ග රැසකි. හුන්නස්ගිරිය හරහා එහි දකුණු හා ගිනිකොණදිග බෑවුම්වලට පිවිසිය හැකිය. එසේම රංගල හා ත්ංගප්පූව ප්‍රදේශවලින්ද නිරිතදිග බෑවුම්වලට ලගාවිය හැකිවේ. තවද පන්ව්ල, බඹරැල්ල, කැලෑබොක්ක යන ප්‍රදේශවලින්ද නක්ල්ස් පිවිසුම් ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව, රත්තොට හා ලග්ගල යන ප්‍රදේශවලින්ද නක්ල්ස් කදුකරය හා එහි වනාන්තරවලට ලගාවිය හැකිවේ.

නක්ල්ස් වනාන්තරය තුළවන නිම්නවලදී මිල්ල, මොර හා බදුල්ල වැනි නිවර්තන පහතරට අර්ධ සදාහරිත වනාන්තරවලට අයත් ශාක ද දැකිය හැකිවේ. වළාකුළු වනාන්තර ලෙස හදුන්වන ලබන ඉහළ කදුකර වනාන්තරවල ඕකිඩ්, පර්ණාංග හා පාසි වර්ග දක්නට හැකිය.

ගංගා ආශ්‍රිතව ගංගාධර වනාන්තර වන අතර වනාන්තරයන්හි දැකුම්කලු ප්‍රදේශ ලෙස පතන හා තණබිම් ඇත. පිටවල පතන තුළ මීටරයක් පමණ උස තෘණ හෙක්ටයාර 10ක් පමණ ඇත.

නක්ල්ස් වනාන්තරය තුළ ශාක විවිධත්වය

සපුෂ්ප ශාක කුල 141 ක් පමණ ඇති අතර ඒවායේ සපුෂ්ප ශාක විශේෂ 1033ක් පමණ හදුනාගෙන ඇත. මේවයින් 160ක් පමණ අප රටට ආවේනිකය. එසේම නක්ල්ස් තුළින් දුර්ලභ ශාක විශේෂ 12ක් පමණ හදුනාගෙන ඇත. තවද ශාක 11ක් පමණ ජාතික වශයෙන් තර්ජනයට ලක්ව ඇත.

දුම්බර කදුකර කලාපයේ ජෛව විවිධත්වය

නක්ල්ස් තුළින් පෘෂ්ඨ වංශී විශේෂ 247ක් පමණ සොයාගෙන ඇති අතර එයින් 38% දේශීය පෘෂ්ඨවංශීන් වන අතර 26% ආවේනික පෘෂ්ඨවංශීන් වෙයි. දුම්බර කදුකර කලාපයටම ආවේනික මත්ස්‍යයින් කීපයක්ම ඇති අතර එයින් දත්කුඩු පෙතියා, දුම්බර පෙතියා පිලිප්ගේ ගාරා යන මත්ස්‍යයින් කැපී පෙනෙයි. එසේම මෙහි වෙසෙන ගල්පර මැඩියා හා අං කටුස්සා මෙම කලාපයට පමණක්ම ආවේනිකය.

තවද මෙම කදුකර කලාපයෙන් පක්ෂි විශේෂ 128ක් පමණ හදුනාගෙන ඇති අතර එයින් 17ක් ආවේණිකය. මේ අතරින් කැහිබෙල්ලෙන්, කොට්ටෝරුවන්, ගිරාමලිත්තන්, පීතකන් කොණ්ඩයා, දෙමලිච්චන්, පිළිහුඩුවන් යන පක්ෂීන් කැපී පෙනෙයි.

මීට අමතරව දුම්බර කදුකර කලාපයෙන්,

උභය ජීවීන් විශේෂ – 20
සමනල විශේෂ – 60
මොලුස්කා විශේෂ – 17
ක්ෂීරපායි විශේෂ – 31
උරග විශේෂ – 53
මත්ස්‍ය විශේෂ – 15 ක් සොයාගෙන ඇත.
තවද සතුන් ලෙස ඌරා, වල් හාවා, මීමින්නා, මුවන්, ගෝනුන්, හිවලුන්, මුගටි, රිලවුන්, උරලෑවන්, රන් හෝතඹුවන්, ඌරු මීයන් හා ඉත්තෑවන් මෙහිදි දැකිය හැකිවේ.

අවසානය

අද වනවිට නක්ල්ස් කදුවැටිය හා ඒ අවට විශාල ලෙස සංචාර්කයින්ගේ අවධානයට ලක්ව ඇති නිසා ඉදිරියේදී මේ කලාපයේ ඇති ජෛව විවිධතවයට සංචාරකයින් දැඩි බාධාවක් ඇති වනවා නිසැකය. ඒ නිසා මේ සංවේදී පරිසර කලාපය රැක ගැනීම ලාංකික අප සැමගේම වගකීමකි. ඔබ සංචාරය කිරීමේදී රැගෙන යන සියලුම දේ නැවත රැගෙන එන්න. එසේම කිසිමවිටෙක එහි සතුන්ට හා ශාකවලට හානියක් කිරීමෙන් වලකින්න. අප වගකීමෙන් කටයුතු නොකලහොත් ඉදිරියේදී මේ කලාපය සංචාරකයින්ට තහනම් කලාපයක් වීමට පවා හැකිය. ඒ නිසා සංචාරක ඔබ හැමවෙලේම විනායනුකූල බව ඇතිව කටයුතු කරන්න.

(මූලාශ්‍ර: මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, ජෛව විවිධත්ව ලේකම් කාර්‍යාලයේ ජෛව විවිධත්වය හා බැදුණු රක්ෂිත බිම් කෘතිය ඇසුරෙනි)

—-Featured Image Credit: Ama Kalana

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Forest Office - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share