18/09/2024
ඇම්බැක්කේ දේවාලයේ පලමු රන්දොලි පෙරහැර මන්ගල්‍ය 🙏🙏
පැරණි ලක්දිව රාජධානි විකාශනය තුල ගම්පළ රාජධානි සමයේදී එනම් 14 වන ශතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1374) විසින් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. "ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ" යන්න උගතුන්ගේ පිළිගැනීමය. වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සිටි සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අධිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ.
ඇම්බැක්කේ දේවාල පුරාවෘතය
සංස්කරණය
ලංකාවේ දක්නට ලැබෙන පැරණි සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන ඇම්බැක්කේ දේවාලය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර මැද පළාතෙහිය. පේරාදෙණියේ සිට ඇඹිල්මීගම දක්වා වැටී ඇති මහා මාර්ගයෙහි දවුලගල නම් මංසන්ධියකි. එතැන් සිට ගංහත දක්වා දිවෙන පාරේ සැතපුම් භාගයක් පමණ ගිය කල හමුවන වෙල්යායක් සහිත ගම්මානයක් මධ්‍යයෙහි මෙම දේවාලය සාදවා ඇත.
මෙම දේවාලය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ දක්වන පුරාවෘත "ඇම්බැක්කේ වර්ණනාව" නම් කාව්‍ය කෘතියෙහි මැනවින් පැහැදිලි කෙරේ. ඇම්බැක්කේ දේවාලය ගොඩනැංවීමට හේතු වූයේ යැයි සැළකෙන ප්‍රසිද්ධ කතා පුවතකි. රංගම නම් ගමේ වාසය කරන ලද බෙර වයන්නෙකුට වැළඳී තිබුණු කුෂ්ට රෝගයක් කතරගම ගොස් කරන ලද කන්නලව්වකින් පසුව සුව විය. මෙනිසා ඔහු වර්ෂයක් පාසා එහි ගොස් බෙර වයා කඳසුරිඳුන්ට කෘතගුණ දැක්වීය. පසු කලෙක මහළුව එහි යා නොහැකිව සිත් තැවුලෙන් සිටියදී දිනෙක කතරගම සුරිඳුන් සිහිනෙන් විත් "බිය නොවී ගමට යව. නොබෝ දිනකින් රුකකින් ලකුණක් පෙන්වා මගේ අනුසස් පාමි. එවිට මඟුල් බෙර වයා බුහුමන් කරව" යනුවෙන් පැවසීය. පසු කලෙක වික්‍රමබාහු රජුගේ අගමෙහෙසිය වූ සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියට අයත් ඇම්බැක්කේ මල් උයනෙහි කටු පඳුරු කපා දමද්දී එහි තිබූ කදුරු ගසකින් රුධිර ධාරාවක් නිකුත් වී තිබේ. පසුව එම බෙර වයන්නා රජුට තමන් දුටු සිහිනය සැළකර සිටි බැවින් රජු එතැන දෙව් විමනක් බඳු තෙමහල් පායක් කරවීය. එය ඇම්බැක්කේ දේවාලය නම් විය.
ඇම්බැක්කේ වර්ණනා කාව්‍යයෙහි මෙකී ප්‍රාසාදය තැනවීම පිළිබඳව සවිස්තරව දක්වා ඇත්තේ මෙසේය. "කණුමුල් සිඳවා,භූමි ප්‍රදේශය බෙර ඇසක් මෙන් තනවා අවටින් ප්‍රාකාරයක් බඳවා සුබ මොහොතින් මඟුල් කප් සිටුවා, ඉඩම් (අම්බලම්),මණ්ඩප,මුළුතැන් ගෙවල්, ගබඩා අටු, ළිං, පලතුරු සහ මල් උයන්, බෝධි වෘක්ෂ, බුද්ධ පූජාව සඳහා පිළිම ගෙවල්, වීදිය කෙළවර පෙරහර කාලයේදී භාවිතය සඳහා දෙමහල් ගෙයක් යනාදිය කරවා දේවාලයෙහි බිතුසිතුවම් ද අඳවන ලද්දේය.එයිනික්බිති ඇම්බැක්කේ සිට ගම්පළ දක්වා විහිදී ගිය මාර්ගය කණුමුල් උදුරා ශුද්ධ කර සරසවා පෙරහරින් පැමිණි රජතෙමේ ශුභ මොහොතින් දේවාලයෙහි වූ සිංහාසනය මත කඳ කුමරාගේ රූපය හිඳවීය. ඒ මඟුල නිමිත්තෙන් සැණකෙළි සහිත උත්සවයක් ද පැවැත්විණි. දේවාලයේ නඩත්තුව සඳහා ගම්වර කිහිපයක් ද, කෙත්වතු අසූපස් අමුණක් ද , අලි ඇතුන් ආදිය ද රජු විසින් පුදන ලද්දේය".
ඇම්බැක්කේ දේවාලය කරවන ලදැයි සළකනු ලබන තෙවන වික්‍රමබාහු රජු පිළිබඳව "ඇම්බැක්කේ වර්ණනාව" කාව්‍යයෙහි මෙසේ සඳහන් කරයි.
"මෙලෙසින් දෙවියන් හට මුළුතැන් බා
නිරිඳුන්හට සැල කළෝ විකුම් බා
එවදන් සා'රජතුම විය පෙම් බා
මැතියන් සැම දෙන කරමින් සම් බා "
(ඇම්බැක්කේ වර්ණනාව :26 කවිය)
මෙම දේවාලයට අධිගෘහිත්වය සම්බන්ධයෙන් ද විවිධ වූ විශ්වාස පවතී. කතරගම දෙවියන් උදෙසා කැප කිරීමක් ලෙසින් මෙම දේවාලය ඉදි කර තිබේ. මේ පිළිබඳව ද ඇම්බැක්කේ වර්ණනාව කාව්‍යයෙහි තවදුරටත් පැහැදිලි කෙරේ. සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියතුන්වන වික්‍රමබාහු රජුගේ මෙහෙසිය බවට පත්ව සිට පසුව කතරගම දෙවියන් අතින් මරුමුවට පත් වූවාය. එම දෙවියන් විසින් ඇයට ඇම්බැක්කේ දේවාලය ඇතුළත මැටියෙන් නිමවා සායම් කළ කළ කතරගම දෙව්රුව මයුරාසනාරූඩ කර තැන්පත් කර ඇත. සෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ පිළිමයක් උඩහේවාහැට, රහතුන්ගොඩ, වෑගම රජමහා විහාරයෙහි දක්නට ලැබේ.
"පවර සෙනකඳ බිසෝ බණ්ඩර අදහසින් යන දේවි දේවී
කතරගම සුරිඳුන්ගෙන් ලැබ ගෙන ඇම්බැක්කෙ දේවාල පදවී
නිතර ලෙව් සතහට ද පිහිටව නොයෙක් උවදුරු රෝග දුරුවී
අතර ලක මුළු තෙද'ණසක යස රැසින් අළු කර බැබළවී "
යන කාව්‍යයෙන් ද සෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය හා ඇම්බැක්කේ දෙවොල අතර තිබෙන සබඳතාවය පැහැදිලි කෙරේ. ඇම්බැක්කේ දේවාලයේ අදිකාරම් ධූරය දරන ලද තැනැත්තා හඳුන්වන ලද්දේ 'දේවතා බණ්ඩාර' ලෙසිනි. මෙම දේවතා බණ්ඩාර උදෙසා ඇම්බැක්කේ දේවාල භූමියෙහිම පල්ලේ දේවාලය පිහිටුවා ඇත. මෙහි අඩි 5ක් පමණ උස ඇති, සායම් ගා වර්ණවත් කළ දේවතා බණ්ඩාරගේ දැවමුවා ප්‍රතිමාවක් ඇත. ඇම්බැක්කේ වර්ණනාව කාව්‍ය මෙන්ම දේවතා බණ්ඩාර කවි වලින් ද මෙම දේවතා බණ්ඩාර පිළිබඳව හඳුන්වා ඇත.
"දෙවියන් සැමටම සැල කර වැන්ඳූ
-දේවතා බණ්ඩර දෙවි මිස ඇද්දූ "