25/01/2026
දළදා මාලිගාවට එල්ල කල LTTE ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 28 යි..!
දළදා මාලිගාවට ත්‍රස්‌ත ප්‍රහාරය එල්ලවී අදට වසර 28ක් සම්පූර්ණ වේ. දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ සියලු දෙනාම අද ඉතිහාසයට එක්‌වී ඇත. ලංකා ඉතිහාසය ලෙයිsන් කඳුළින් තෙත් කළ ඒ යුගය 2009 මැයි මාසයේදී අවසන් විය. යළිත් එවන් යුගයක් කිසිදා ඇති නොවේවායි පතමු.
එහෙත් අප උතුම් දළදා සමිඳුන්ට එල්ල කළ ත්‍රස්‌ත ප්‍රහාර අමතක කළ යුතු නැත. ඉතිහාසය අමතක කර අනාගතය ගොඩනැඟීමට නොහැකිය. 1998 ජනවාරි 25 වැනිදා පෙරවරු 6.10 ට දළදා මාලිගය ඉදිරිපිට දැවැන්ත ලොරි බෝම්බය පුපුරා ගියේය. මේ ප්‍රහාරයෙන් 17 දෙනෙක් මරුමුවට පත්වූ අතර තවත් 25 දෙනෙකු තුවාල ලැබීය. කිලෝ හාරසියයක් බරැති බෝම්බය පුපුරා දළදා වහන්සේට හානි කිරීමට ත්‍රස්‌තයන් උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.
මහනුවරදී පැවැත්වීමට නියමිතව තිබූ 50 වැනි නිදහස් සමරුව කඩාකප්පල් කර රටේ නැවත ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම කොටි ත්‍රස්‌තවාදීන්ගේ අරමුණ විය. නමුත් සිංහල බෞද්ධයෝ ආවේගශීලීව කටයුතු කළේ නැත. ප්‍රභාකරන් උත්සාහ කළේ බෞද්ධ අධ්‍යාත්මයට පහර දීමටය. රාජ්‍යත්වයේ සංකේතය විනාශ කර දැමීමටය.
වර්තමානයේ සංහිඳියාව ගැන වඩා උනන්දු වන නිසා දළදා ප්‍රහාරය ගැන සිහිකිරීම ගැන සමහර කොටස් උරණ විය හැකිය. නමුත් සිංහල බෞද්ධ අනන්‍යතාවය පාවාදී ඊනියා සංහිඳියාව ගොඩනැඟිය නොහැක. ඇත්තෙන්ම දළදා මාලිගාවට ප්‍රහාර එල්ල වුවද සිංහල බහුතරය කුපිත වූයේ නැත. හින්දු කෝවිල් කුඩුපට්‌ටම් කරන්නට ගියේ නැත. එදා මේ මහා විපත හමුවේත් සංහිඳියාව පතුරුවන්නට බෞද්ධයන්ට හැකිවූ බව සටහන් කළ යුතුය. එනිසා අලුතෙන් උගන්වන්නට සංහිඳියාවක් නැත. නමුත් කොටි ත්‍රස්‌තවාදීන් රටට අහිමි කළේ කවරක්‌ද යන්න නම් අමතක කළ යුතු නැත. එනිසාම මහනුවර නාථ දේවාලය දෙසින් පැමිණි බෝම්බ ලොරිය කළ විනාශය ඉතිහාස පොතින් ඉවත් කළ යුතු නැත. එය ඉදිරි පරම්පරාවටද දැන ගැනීමට රචනා කර තැබිය යුතුය. භක්‌තියාර් ඛල්ජි ආක්‍රමණික සේනාව නාලන්දා විශ්වවිද්‍යාලයට කළ විනාශය අපි අදත් සිහි කරන්නේ ශෝකයෙනි. එසේම මීට වසර විසි අටකට පෙර යුනෙස්‌කෝ ලෝක උරුමයට එල්ල වූ ප්‍රහාරය අමතක කළ හැකිද?
1985 මැයි 14 වැනිදා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියට ප්‍රහාරයක් එල්ල විය. 1987 දී අරන්තලා භික්‍ෂු ඝාතනය සිදුවිය. එසේම දළදා මාලිගයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. මේ සියල්ලගෙන්ම කොටි ත්‍රස්‌තවාදීන් උත්සාහ කළේ සිංහල බෞද්ධ අධ්‍යාත්මයට පහරදීමටය. රටේ සංස්‌කෘතියට, සභ්‍යත්වයට නිග්‍රහ කිරීමටය. එහෙත් මේ කිසිදු ප්‍රහාරයකින් සිංහල බෞද්ධයා දුර්මුඛ වූයේ නැත. සියලු කෙනෙහිලිකම් විචක්‍ෂණව වටහා ගැනීමේ ශක්‌තිය මෙරට ජනතාව තුළ විය. අපේ ආධ්‍යාත්මික ශක්‌තිය සැබවින්ම ප්‍රබලය. එනිසාම අප අපේ ඉතිහාසය අමතක කළ යුතු නැත