01/09/2026
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම දෙහිඕවිටදී
===================================
ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ජනතාවගේ සෞඛ්‍ය නගා සිටුවීමේ අරමුණින් “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” වෙනුවෙන් සිදු කරනු ලබන ව්‍යාපෘතීන් අතර දිවයින පුරා පිහිටුවනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 1000 ට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික් සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ සමාරම්භක උත්සවය අද දින (01) පැවැත්වුණේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුු සභාපති සහ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහත්මාගේ ප්‍රධානත්වයෙන් දෙහිඕවිට ඊරියගොල්ල සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන පරිශ්‍රයේදීයි.
සමස්ත දිවයින ආවරණය කරමින් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන 1000 ක් රට පුරා ඉදිකිරීම මගින් බලාපොරොත්තු වන්නේ ආයු කාලය වැඩි වැඩිහිටි ජනතාවක් සිටින වයස්ගත ප්‍රජාවට සෞඛ්‍යමත්භාවයෙන් යුතුව වියපත් වීමට අවස්ථාව සලසා දීමයි. බෝ නොවන රෝගවලදී ග්‍රාමීය රෝහල්වලට වඩා නගරයේ ඇති මහ රෝහල්වල පහසුකම් ඇතැයි යන විශ්වාසය මත ජනතාව සෑම විටම පෙළඹී ඇත්තේ නගරයේ මහ රෝහල තුළින්ම වෛද්‍ය පහසුකම් ලබා ගැනීමටයි. එම තදබදය අවම කිරීමට එක් පියවරක් වශයෙන් අලුතින් ඉදිවන මෙම සුවතා මධ්‍යස්ථානවලින් ජනතාවට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාගැනීමට ඉදිරියේදී හැකි වනු ඇති. එමෙන්ම රෝග කල්තියා හඳුනා ගැනීමටත් ඉහත සඳහන් කළ සෞඛ්‍ය පද්ධතියට ඇතිවන අනවශ්‍ය පීඩනය වැළැක්වීම සඳහාත් ප්‍රදේශයේ වයස්ගත ග්‍රාමීය ජනතාවට ලෙඩ වන්නට පෙර ලෙඩ නොවී සිටින්නට ඉදිරියේදී මෙමගින් හැකිවනු ඇති.
මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ඉදි කිරීමට වැය වන මුදල රු . මි. 40 ක්. ලක්ෂ 400 ක වැය වන මෙම ව්‍යාපෘතිය වසර අවසන් වන විට නිම කොට 2027 වර්ෂයේ ජනතාවට සේවය සැලසීමට බාර දීමට නියමිතයි.
ප්‍රජා සෞඛ්‍ය ඒකකයට අවුරුදු 100 ක් පිරෙන මෙම අවස්ථාවේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙතෙක් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක දරුවන්ගේ සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්‍ය පහසුකම් ඉටුකර දුන්නද අවුරුදු 80 - 90 ත් අතර වැඩිහිටි ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා මෙතෙක් මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියක නොමැතිවීමේ පුරප්පාඩුව පුරවමින් පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් හෙද නිලධාරිනියක අලුතින් පිහිටුවන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය වෙත අනුබද්ධ කිරීමට බලාපොරොත්තුවයි. පවුලක සාමාජිකයින් 4 ක් යැයි උපකල්පනය කළහොත් පවුල් ඒකක 2500 කට හෝ ඒ ඒ වසම්වල පවතින ජන ඝනත්වය අනුව පවුල් ඒකක 5000 කට හෝ උපරිම ලෙස 10000 ක උපරිම ජන ඝනත්වයකට මෙම සුවතා මධ්‍යස්ථානය මගින් වෛද්‍ය පහසුකම් ලබාදීමට හැකියාව තිබේ. මහජන සෞඛ්‍යය හෙද නිලධාරිනිය විසින් නිවසින් නිවසට ගොස් සමීක්ෂණයක් කරමින් වයස්ගත ප්‍රජාව ලියාපදිංචි කොට වෛද්‍යවරයකු හමුවීමට වේලාවක් වෙන් කොට ඉන් පසුවයි මෙම සුවතා මධ්‍යස්ථානය වෙතින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය රෝගීන් තෝරා ගනු ලබන්නේ. මෙම සුවතා මධ්‍යස්ථානවලට සතියකට වරක් හෝ දෙවරක් වෛද්‍යවරයකු පැමිණ රෝගීන් පරීක්ෂා කරනු ලබන අතර අවශ්‍යතාව ඇති රෝගීන් පමණක් මහ රෝහල්වලට යොමු කිරීමට කටයුතු කරනු ලබනවා. එමෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ප්‍රතිකාර අඛණ්ඩව සිදු වෙනවාද යන්න පසුවිපරම් කිරීමට හෙද නිලධාරිවරිය රෝගියාගේ නිවසටම පැමිණීම විශේෂත්වයක්. එමෙන්ම වියපත් වැඩිහිටියන්ගේ නිවසටම ගොස් රැකබලා ගන්නා, රෝග නිධානය දන්නා, පවුලටම වෙන් වූ වෛද්‍යවරයකු සහ හෙද නිලධාරිනියක් ජනතාවට ලැබීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
මෙම සමාරම්භක අවස්ථාවේ පැමිණ සිටි පිරිස ආමන්ත්‍රණය කළ අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මැතිතුමන් : “ අපේ රටේ නගර සහ ග්‍රාමීය ප්‍රදේශ අතර සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් හා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී විවිධත්වයක් ඒ වගේම වෙනස්කම් තිබෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වෙන වැඩිහිටි ජනතාවට, කාන්තාවන්ට, දරුවන්ට සහ දුරබැහැර ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සහ සුවතා පහසුකම් තමන්ගේ ප්‍රදේශය තුළින් ලබා ගැනීමට ඉඩකඩ සෑදීම ඉතා වැදගත්. ඒ නිසා ජනතාව සෞඛ්‍ය සේවාව වෙත ගෙනයනවා වෙනුවට සෞඛ්‍ය ජනතාව වෙත ගෙන එන ස්ථාන බවට පත් කිරීමයි අප අදහස් කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් ගත් වැදගත් පියවරක්, ව්‍යාපෘතියක් ලෙස සනිටුහන් වෙනවා. “
“අපේ රටේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට නම් අපේ දරුවන්ගෙන් පටන් ගත යුතුයි. කුඩා කල සිට ව්‍යායාමය, ක්‍රීඩාව, පෝෂණය, පිරිසිදුකම යන මානසික සුවතාව පිළිබඳ නිවැරදි පුහුණු ඇතිකර දීම වැදගත්. අද දවසේ සෞඛ්‍ය සම්පන්න දරුවකු ගොඩනැගුවොත් තමයි හෙට දවසේ සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියකු බිහිවන්නේ. ඒ නිසා පාසල්, තරුණ සමාජ, ක්‍රීඩා සමාජ සහ ප්‍රජා සංවිධාන මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කොට දරුවන්ට නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කිරීමට මැදිහත් විය යුතුයි කියල අපි විශ්වාස කරනවා. වයසට යාම ස්වභාවික ක්‍රියාවලියක්. නිරෝගීව, ක්‍රියාශීලීව සහ ගෞරවාන්විතව වයසට යාම පුද්ගලයකු සතු අයිතියක්. ව්‍යායාම, සමාජ සම්බන්ධතා, සෞඛ්‍ය උපදේශනය හා විවිධ උපදේශන ක්‍රියාකාරකම් සඳහා වැඩිහිටි ජනතාව මේ මධ්‍යස්ථාන හා සම්බන්ධ කිරීම සහ ඔවුන්ට ඒ හරහා පහසුකම් ලබා ලබාදීම ඉතා වැදගත්.”
මෙහිදී එතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට පමණක් නොව සෘජුවම රටේ ආර්ථිකය සමඟ සම්බන්ධ වන කාරණයක් බවත් රටේ ආර්ථිකය ශක්තිමත් වීමට නම් රට තුළ නිරෝගී ජනතාවක් සිටීම ඉතා වැදගත් බවයි. ඒ නිසා මේ කරන ආයෝජනය හෙවත් මැදිහත්වීම රටේ මානව සම්පත වෙනුවෙන් කරන ආර්ථික ආයෝජනයක් ලෙස සැලකිය හැකි බවයි. එමෙන්ම මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 හුදු ගොඩනැගිලි 1000 ක් පමණක් නොව එම මධ්‍යස්ථාන ක්‍රියාකාරී මධ්‍යස්ථාන 1000 ක් බවට පත්කොට රටේ ජනතාවගේ සෞඛ්‍ය සහ රටේ ආර්ථික ශක්තිමත්භාවය ඇති කර ගත හැකි වැදගත් ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීමට කටයුතු කළ යුතු බවයි.
මෙම අවස්ථාවට දෙහිඕවිට ප්‍රාදේශීය සභා සභාපති සමන්සිරි වීරසිංහ, උප සභාපති, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. යූ. කේ. ජයසේකර, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් චාමර බමුණු ආරච්චි, සබරගමුව ප්‍රධාන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පී. නිදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය 11) විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේළි, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලන්ත කුමාර (දෙහිඕවිට) ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, බයෝමේට් කොන්ත්‍රාත් සමාගමේ නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව සහභාගි විය.