11/01/2024
හුනුපිටිය ගංගාරාමය 🛕🪷
අද කියන්න යන්නේ ගංගාරාම පන්සල ගැන. ගංගාරාම පන්සලට යන විදිහ නම් ගොඩක් අය දන්නවා ඇති. ඒත් මන් කියන්නම් නොදන්න අයත් ඉන්නවා නම් දැනගන්නත් එක්ක. මේ පන්සලට යන්න නම් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් මන් ක්‍රම 2ක් ගැන කියන්නම්. පලවෙනි විදිහ තමා කොළඹ කොටුවෙන් යෝර්ක් වීදීය- ගාලු පාර- ශ්‍රි උත්තරානන්ද මාවත- නවම් මාවත- සර් ජේම්ස් පීරිස් මාවත හා ශ්‍රි ජිනරතන මාවත ඔස්සේ ගංගාරාමයට පැමිණිම. මේ මාර්ගය කොළඹ කොටුවේ ඉදන් 5 km විතර වෙනවා. අනික් විදිහ තමා කොළඹ කොටුවෙන් යෝර්ක් වීදිය- ශ්‍රි චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත ඔස්සේ සීමාමාලකය පසුකරමින් ශ්‍රී ජිනරතන මාවතෙන් පැමිණිම.
ගංගාරාමයේ අතීත තොරතුරු ගැන විමසිමේදී බොහෝ තැන් වල සදහන් වන්නේ මෙය 19 වන සියවසේ නාවික වෙළෙන්දෙක් වූ දොන් බැස්ටියන් මුදලි නම් තැනැත්තෙකු විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා බිම් සකස් කර දාගැබ, මකර තොරණ හා ප්රවිශ්ඨ දොරටුවේ ඇති සදකඩ පහණ ද ඉදිකර ශ්‍රී මහ බෝධින් වහන්සේගේ අංකුරයක් ද රෝපණය කර තෙමහල් දම් සභාවක් හා විහාරය වටා වැටක්ද ඉදිකර ඇති බවයි.
එමෙන්ම 1885 වසරේදී බේරේ වැව අවට ප්‍රදේශයේ පන්සලක් නොපැවති හෙයින් හික්කඩුවේ සුමංගල හිමියන්ගෙ මූලිකත්වයෙන් මෙය ඇරඹී ඇති බවද ඇතැම් තැනක සඳහන් වේ. එම සඳහනට අනුව සුමංගල හිමිගෙන් පසු විහාරයේ නායක පදවිය හිමිව ඇත්තේ දෙව්න්දර ජිනරතන නාහිමිපාණන්ටයි.
වර්තමානයේදී ගංගාරාමය දහම් අධ්‍යාපනය ලබාදෙන ස්ථානයක් මෙන්ම බෞද්ධ සුබසාධන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. එමෙන්ම පාසල් හැර ගිය දරුවන් වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන ගංගාරාමය ඊට අත්පොත් තැබුවේ 1978 වසරේ ශ්‍රී ජිනරතන කාර්මික පුහුණු පාසල ආරම්භ කරමිනි.ගංගාරාම විහාරය විද්‍යාර්ථ පඩිරුවන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි, වැලිගම ශ්‍රී සුමංගල හිමි, වැලිවිටියේ ධර්මරතන හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසකට සෙවණ සලසා තිබේ. එමෙන්ම මාගොඩ ඥානිස්සර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ඳ නාහිමි හා ශ්‍රී සුමංගල නාහිමි යන යතිවරයාණන් වහන්සේලාද මෙහි නායක හිමි පදවිය දරා ඇති බවට සදහන් වන අතර වර්ත්මානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වසනුයේ ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේයි.
අදට වඩා අතීත බේරේ වැව විශාලව පැවති අතර විහාරයට බැතිමතුන් හා දායක පිරිස් පැමිණ ඇත්තේ ඔරුවලින් බවයි පැවසෙන්නේ. ඒ කාලයේ ගංගාරාමය ඉදිරිපිට අද ඇති මහ පාරද බේරේ වැවේම කොටසකි. වර්තමානයේ විහාරය නාගරික පරිසරය මැද පිහිටි අක්කර 3 1/2 ක බිමක පැතිර පවතී. විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුණ ද ඉන්දියානු,තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය. විහාරස්ථානයේ මූලිකාංග ලෙස චෛත්‍ය, බෝධිය, විහාර මන්දිරය දැකගත හැකිය. තව ද කෞතුකාගාරයක්, පුස්තකාලයක්, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලාවක් මෙන්ම දාන ශාලාවක්ද විහාර භූමියේ ඉදිකොට ඇත.
ගංගාරාමය බෞද්ධ සංස්කෘතිකාංගයන්ගෙන් පිරිපුන් කලාගාරයක් ලෙස සැලකිය හැකිය. විවිධ බෞද්ධ රටවල ප්‍රතිමා සහ වෙනත් මූර්ති, සිහිවටන රාශියක් විහාරය තුල ඇති කෞතුකාගාරයේ මණ්ඩප වල ප්‍රදර්ශනය කෙරේ. පැරණි මොටර් රථ, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු කෞතුක භාණ්ඩ රාශියක් මෙහිදී නැරඹීමට හැකියාව ඇත. මෙහි නූතන විහාර මන්දිරයත් අලංකාර මූර්ති හා සිතුවම් වලින් අනූනයි. පුස්තකාලයේ බුරුම, තායිලන්ත හා ලංකා ත්‍රිපිටක ග්රන්ථ මෙන්ම පැරණි පුස්කොළ පොත් රාශියක් තැන්පත් කොට ඇත. එංගලන්තයේ පාලි ටෙක්ස්ට් සොසයිටි ත්‍රිපිටක ග්රන්ථ හා බෞද්ධ ග්රන්ථ 4000ක පමණ එකතුවකින් පුස්තකාලය සමන්විත වේ. ගංගාරම විහාරස්ථානයේ පිවිසුමෙහි දොරටුව දෙපස රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා දෙකක් හා ඒ අසලම සිංහ රූප දෙකක් ද වේ. මෙහි කැටයමින් අලංකෘත සදකඩ පහණ අනුරාධපුර සම්ප්‍රදායට අනුව විහාරස්ථානය ආරම්භයේ තැනුවකි. විහාරයේ එක් පසෙක ඇති එක්ස් වර්ගයේ පැරණි බෙන්ස් රථය ලේක්හවුස් ආයතනයේ සමාරම්භක ඩි. ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් විසින් පරිහරණය කල එකක් බව කියවේ.
නීලවර්ණ වර්ණාලේපිත පියස්සකින් හා දැවයෙන් කල නුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණ ගෘහය මෙම භූමියේ ඇති පෞරාණික ගොඩනැගිල්ලකි. ඊට පසෙකින් ඇති ගෘහය වාමන රූපවලින් සමන්විත පාදමක් සහිත වේ. මෙහි ශෛලමය, දැවමය හා ලෝහමය බුද්ධ ප්‍රතිමා, බෝරෝ බුදුර් ආකෘතියට සමාන ප්‍රතිමා පෙරහැර, යාපහුව සම්ප්‍රදායට අයත් සිංහ ප්‍රතිමා, ථෙරවාදී මහායාන හා වජ්‍රායන ආදී සම්ප්‍රදායන්ට අයත් බුද්ධ බෝධිසත්ව ප්‍රතිමා ගණනය කල නොහැකි විශාල ප්‍රමාණයක් විහාරස්ථානයේ පවතින අතර මේවා මිල කල නොහැකි වටිනාකමක් එක් කරයි. එමෙන්ම කෞතුකාගාරය තුල විවිධ අවස්ථාවන්හි මෙරටට ලැබුණු නිල් මැණික් හා විවිධ වර්ගයේ මැණික් ද,ඇත් දළ, රන්වන් ගජමුතු, දක්ෂිණාවෘත සංඛ ආදී මිල කල නොහැකි සිහිවටන ද දැකිය හැකිය.
HBS Nature & Travel
ගංගාරාමේ ගැන නම් කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් දැනට මේ ටික ඇති කියලා හිතුණා. නාගරික පරිසරයක ඒත් සුන්දර භූමි භාගයක තියෙන මේ පන්සල ඇතුලට ගියාම නම් ඇත්තටම හිත නිවෙනවා ඉතිං අපේ රට ඇතුලේ තියෙන මිනිසා නිර්මාණය කරපු වටිනාම ලස්සන සම්පත් තමා මේ.ඉතිං like එකක් දාලා page එකත් follow කරන්න...