24/07/2026
*සමුදය වන අයුරු*
*සංඛත වන අයුරු*
*සංසාර වන අයුරු*
සුඛ සංඥාව කියන්නේ සැප කියන්නේ ඇස පිනවීම, කන පිනවීම, නාසය හා දිව පිනවීම, කය පිනවීම, මන පිනවීම යන මේ හය ආකාර වූ ඉන්ද්‍රියයන් පිනවීම තමයි, පෘථග්ජන පුද්ගලයකුගේ සැප. එතකොට නිච්ච සංඥාවක් ඇති කර ගන්නේ නිතර ම සැප බලාපොරොත්තුවෙන්. පටිච්ච වීම නිසා සිතේ ඇති වන නිච්ච සංඥාව හේතුවෙන් මතුවන ගතිය තමයි, "සුඛ" සංඥාව හෙවත් සැප විඳීමේ අවශ්‍යතාව. සැප විඳීමේ ලෝභකම නිසා සුඛ සංඥාව ඇති වෙනවා. සුඛ සංඥාව නිසා අත්ත සංඥාව, එහෙම නැත්නම් මමත්වය, අස්මිමානය, මඤ්ඤතාවය, තමාය, මමය කියන තත්ත්වයක් ඇති වෙනවා. එතකොට නිච්ච සංඥාවත්, සුඛ සංඥාවත්, ඇති වන්නේ නැත්නම් අත්ත සංඥාව (මේ "මම" යැයි ගැනීම) ඇති වන්නේ නෑ. ඇත්ත ඇති හැටියට තේරුම් ගත්තා නම් "මම" යැයි ගැනීමට සුදුසු දෙයක් ඇති වන්නේ නෑ.
දැන් නිච්ච සංඥාව නිසා සුඛ සංඥාවත්, සුඛ සංඥාව නිසා අත්ත සංඥාවත්, අත්ත සංඥාව නිසා හැම පෘථග්ජන පුද්ගලයකුගේ ම සිතේ නන්දිරාගයත් ඇති වෙනවා. නන්දි කියන්නේ ඡන්ද රාගයේ මුලයි. අභිනන්දනය කියන එකේ මුල් අවස්ථාවයි. නන්දි, එහෙම නැත්නම් නන්දනය කියන්නේ සිත පිනවීමේ කැමැත්ත. ඒ නන්දි සංඥාවක් සිතට ආවා ම ඒ නිසා සිතේ රාගයක් මතු වෙනවා. රාගය නිසා සිතේ සමුදය ධර්මයක් බිහි වෙනවා. සමුදය ධර්මයක් බිහි වීම නිසා අප යම් යම් සංඛත ධර්ම උපාදානය කර ගන්නවා. මෙතැන පියවර හතක් ම තිබෙනවා. ඒ පියවර හත ගැනම අප කල්පනා කරන්නට ඕනෑ. එක ම දේකින් තමයි පටන් ගත්තේ. මේ පියවර වලින් එකක්වත් මැදින් පටන් ගන්න බෑ.
*01. පටිච්ච නිසා නිච්ච සංඥාව*
*02. නිච්ච සංඥාව නිසා සුඛ සංඥාව*
*03. සුඛ සංඥාව නිසා අත්ත සංඥාව*
*04. අත්ත සංඥාව නිසා නන්දි සංඥාව*
*05. නන්දි සංඥාව නිසා රාග සංඥාව*
*06. රාග සංඥාව නිසා සමුදය*
*07. සමුදය නිසා උපාදානය*