22/08/2026
"දිවියට සුවයක් - දහමට සවියක්"
වෛද්‍ය සායනය බදුල්ල මුතියංගනයේදී.
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
දිවියට සුවයක් - දහමට සවියක් වෛද්‍ය සායනය අද (22) මුතියංගන රජමහා විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.
වැවිලි ප්‍රජා හා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් සිදුකළ මෙම වැඩසටහන මගින් අධ්‍යාත්මික වශයෙන් පොහොසත් සමාජ සංස්ථාවක් ගොඩනැගීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන බදුල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ හා අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික යහපැවැත්ම අපේක්ෂාවෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
මෙම කාර්යය ඉතාමත් කාලෝචිත සම්භාව්‍ය කටයුත්තක් ලෙස අගය කළ යුතු බව වැඩමවා වදාළ බදුල්ල මුතියංගන රජමහා විහාරාධිකාරී මුරුද්දෙණියේ ධම්මරතන නාහිමියන් වහන්සේ ප්‍රකාශ කළෝය.
වෛද්‍ය පරීක්ෂණ කටයුතු, රුධිර පරීක්ෂණ, ශරීර ස්කන්ධ දර්ශකය මැන බැලීම, අධි රුධිර පීඩනය මැනීම, අක්ෂි පරීක්ෂාව, කන් පරීක්ෂාව, දන්ත ගැටලු පරීක්ෂාව මෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් විවිධ රෝගාබාධ සඳහා ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීමට ද මෙහිදී අවස්ථාව සලසා තිබුණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩ වාසය කරන මහා සංඝරත්නය, සිල් මෑණිවරුන්, අන්‍ය ආගමික පූජකතුමන්ලා ඇතුළු පූජ්‍ය පක්ෂයේ විශාල පිරිසක් වෛද්‍ය සායනය සඳහා සහභාගී වූ අතර බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධීක්ෂණය මත සෞඛ්‍ය සායනය සඳහා බදුල්ල ශික්ෂණ රෝහල, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ලංකා රෝහල (පුද්ගලික) විෂන් කෙයාර් ආයතනය යන සෞඛ්‍ය ආයතන විසින් සම්පත් දායකත්වය ලබාදී තිබුණි.
මෙම වැඩසටහන සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ගමගෙදර දිසානායක, තරුණ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, සංචාරක නියෝජ්‍ය අමාත්‍යය රුවන් රණසිංහ, ඇතුළු දේශපාලන අධිකාරිය ඌව පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දු, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගමගේ බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් දෙපළ ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.