25/09/2020
"කතරක් වෙන්ට ඉඩ නොමහැර මවු ලංකා..පණනල මෙන් සුරකිමු ඇල දොළ ගංගා"
(ලෝක ගංගා දිනය 2020 නිමිත්තෙනි)
ලෝක ගංගා දිනය, ලොව පුරා ඇති ගංගා, ඇළදොළ හා ජල මාර්ග පිළිබඳ සැමරීමක් කෙරෙන දිනයකි. එහි දී අප සතු ගංගාවල ඇති වැදගත්කමණී, එහි ප්‍රයෝජන හා ගංගාවලට එල්ල වී ඇති තර්ජන ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නො ව ලොව පුරා ගංගා විවිධ තර්ජන බොහොමයකට මුහුණ පා ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ දී එම ගැටලූ විසඳා ක්‍රියාකාරී මානව මැදිහත්වීම් මගින් ගංගාවල සුරක්‌ෂිතතාව රැකගන්නේ කෙසේ දැයි සිතා බැලීම අප සතු වගකීමකි.
ගංගා ඇළදොළවල වැදගත්කම පිළිබඳ සැමරීමට හෝ ඒ පිළිබඳ අවධානයක් යොමු කිරීමට හෝ දිනයක් වෙන් කිරීම පිළිබඳ යෝජනාවට පදනම වූයේ 1980 සිට බටහිර කැනඩාවේ ආචාර්ය මාර්ක් ඇන්ජලෝ විසින් ආරම්භ කර මෙහෙයවන ලද කැනේඩියානු ගංගා දිනයකි. අනතුරුව එවැනි ගංගා දිනයක් පැවැත්වීමේ අවශ්‍යතාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද අතර ලොව පුරා විසිරී ඇති ගංගාවලට හිතැති පිරිස් විසින් වාර්ෂිකව මේ ලෝක ගංගා දිනය සමරනු ලබයි. 2005 වර්ෂයේ දී පළමු ලෝක ගංගා දින සැමරීමේ උත්සවය ඉතා සාර්ථකව බොහෝ රටවල දී පවත්වනු ලැබී ය. එතැන් සිට ක්‍රමයෙන් වර්ධනය වූ ලෝක ගංගා දිනය වර්තමානය වන විට වාර්ෂිකව සැම සැප්තැම්බර් මාසයකම හතර වැනි ඉරිදා සමරනු ලැබේ. මෙවර, එනම් 2020 වර්ෂයේ දී එය සැප්තැම්බර් මස 27 දිනට යෙදී තිබේ.
ගංගාවක් යනු මිනිස් ප්‍රජාවගේ ම ජීවිතයේ කොටසකි. ඒ බව ඈත ඉතිහාසයේ ගංගා ආශ්‍රිත ව බිහි වූ ජනපදවලින් පිළිබිඹු වේ.
ගංගාවක් යනු මුහුදට හෝ වැවකට හෝ විලකට හෝ වෙනත් ගංගාවකට හෝ ගලා බසින විශාල ස්‌වාභාවික ජල ප්‍රවාහයක් ලෙස අර්ථකථනය කළ හැකි ය. ගංගාවක් ආරම්භ වන්නේ ජල මූලාශ්‍රයකිනි.
එලෙස පවතින මූලික ජල මූලාශ්‍ර කිහිපයක් දක්‌නට ලැබේ. ඒවා නම් ස්‌වාභාවික උල්පත්, වැසි ජලය, අයිස් හෝ ග්ලැසියර සහ ස්‌වාභාවික විල්ලූ ය. මේවා අතරින් වඩාත් ම කැපී පෙනෙන ප්‍රභවයන් වන්නේ ස්‌වාභාවික උල්පත් සහ වැසි ජලයයි.
ස්‌වාභාවික උල්පත් යනු පොළොව තුළින් භූගතව ගලා යන ජල මාර්ගයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයෙන් ඇරඹෙන බොහොමයක් ගංගාවල ජල මූලාශ්‍රය ස්‌වාභාවික උල්පත් ය. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගලා යන බොහෝ ගංගා වැසි ජලයෙන් පෝෂණය වන අතර එවැනි වියළි කලාපීය ගංගා සමහරක් වියළි කාලවල දී වියළී යයි. ශ්‍රී ලංකාවේ දැකිය නොහැකි නමුත් අයිස් හෝ ග්ලැසියර ම`ගින් ජනනය වන්නා වූ ගංගා, දිය වන අයිස් හෝ ග්ලැසියර් ම`ගින් පෝෂණය වේ. මේ ආකාරයේ ගංගා බොහොමයක් ම සීත රටවල බහුලව දක්‌නට ලැබේ. ඉන්දියාවේ සින්දු ගංගාව, යුරෝපයේ ඩැනියුබ් ගංගාව වැනි ගංගා, අයිස් හා ග්ලැසියර ම`ගින් ජනනය වන ගංගා සඳහා උදාහරණ වේ.
ගංගා සාමාන්‍යයෙන් කදුකරයෙන් ඇරඹී ගුරුත්වය යටතේ නිම්න හරහා පැමිණ තැනිතලා හරහා මුහුද කරා ගමන් කරයි. එලෙස ගලා යන ගංගාවක එහි ගමන් මාර්ගය, ගංගා ප්‍රභවය, භූලක්‌ෂණ, භූවිද්‍යාත්මක ගතිගුණ වැනි කරුණු මත පදනම් ව එහි හැඩය හා ස්‌වරූපය වෙනස් වේ. පොළොව මත ගලා යන ප්‍රධාන ගංගාවට අලුතින් සම්බන්ධ වන ගංගා අතු ගංගා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.
ජල මූලාශ්‍රයකින් ආරම්භ වන ගංගාවක් ප්‍රධාන අවධීන් තුනකට වෙන් කර දැක්‌විය හැකි ය. එනම් යෞවන අවධිය, පරිණත අවධිය සහ වෘද්ධ අවධිය ලෙස ය.
ගංගාවක් සාමාන්‍යයෙන් ආරම්භයේ දී කුඩා වන අතර ආරම්භයේ දී ඒ සතු විභව ශක්‌තිය ඉතා විශාල අගයක පවතියි. එලෙස ම එය විශාල බෑවුම් සහිත ප්‍රදේශ හරහා ගමන් කරයි. යෞවන අවධියේ දී ගංගාවක දක්‌නට ලැබෙන ලක්‌ෂණ අතර මූලික වශයෙන් ම අධික වේගයෙන් ගලා යන ජල කඳ හේතුවෙන් පස් ඛාදනය වීමේ ක්‍රියාවලිය සිදු වේ. එලෙස ම ගංගාවල ඉහළ ප්‍රදේශවල දී යෞවන අවධියේ දී ඇති කරන්නා වූ මනරම් දිය ඇලි පරිසරයට ගෙන එන්නේ ඉමහත් සුන්දරත්වයකි. ගංගාව පරිණත අවධියේ දී බෑවුම වඩාත් අඩු වන අතර ගංගාව බොහෝ අතු ගංගාවලට සම්බන්ධ වන බැවින් එය වඩාත් පුළුල් වේ. එවිට ගංගාව තවදුරටත් ඉහළ ප්‍රදේශවලින් ඉවුරු ඛාදනය වී පැමිණෙන පස් අංශු ද සම`ගින් සැලකිය යුතු තරමේ බරක් ද එනම් ගංගාභාරය රැගෙන යනු ලබයි.
වෘද්ධ අවධියේ දී ගංගාව සාමාන්‍යයෙන් එම පළල ම වන අතර එහි ගංගාව ගලා යන භූමි ප්‍රමාණය ද විශාල ය. මේ අයුරින් ගංගාවක් ඉතා ම දිගු ගමන් මාර්ගයක් දිගේ මුහුද දෙසට ගලා යයි. මේ අවධියේ දී ගංගාව ගලා යන වේගය අඩු වන බැවින් ගංගාව ඉහළ ප්‍රදේශවලින් රැගෙන එන පාංශුමය ද්‍රව්‍ය එනම් ගංගාභාරය ගංගාවේ තැනින් තැන තැන්පත් කිරීමක් සිදු කරයි.
ගංගාවක් මේ ගමන් මාර්ගය දිගේ ගලා යන විට මානව ප්‍රජාවට මෙන්ම සත්ත්ව හා ශාක ප්‍රජාවට ද ඉටු කරන මෙහෙය අතිමහත් ය.
ගංගාවක් ගලන හඬ ඇසෙන මානයේ සිට එදෙස බලා සිට මනසට දැනෙන සැහැල්ලූව මානව ප්‍රජාවට ලැබෙන්නා වූ මිල කළ නොහැකි දායාදයකි.
මෙලෙස ඉමහත් සේවාවක් සලසනු ලබන ගංගාවලට මිනිස් ප්‍රජාව ගෙන් ලැබීමට අවශ්‍ය කළගුණ සැලකීම ලැබෙන්නේ ද යන්න ගැටලූවකි.
ගංගාවල වැලි ගොඩ දැමීම සහ ගංගාවලට අපද්‍රව්‍ය එකතු කිරීම ඊට සිදුකරන හානි අතුරින් ප්‍රධාන ස්‌ථානයක් ගනු ලබයි.
ගංගාවල යහ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවේ ගංගා පිළිබඳව ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ම`ගින් කෙරෙන සේවාව අතිමහත් ය.
කෙසේ වුව ද ගංගාවල වැදගත්කම පිළිබඳව සලකා බැලීම ලෝක ගංගා දිනයට පමණක් සීමා නො විය යුතු අතර ගංගා සුරක්‌ෂිත ව සුපිරිසිදුව තබාගැනීම මානව වර්ගයා සතු සඳුවකාලීන යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.
"ඇළදොළවල හා ගංගාවල ගලා යන දිළිසෙන ජලය, ජලය පමණක් නො ව අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට ඉඩම විකුණන්නේ නම්, එය පාරිශුද්ධ වූවක් බව ඔබ මතක තබාගත යුතු ය, විල්වල පැහැදිලි ජලයේ ඇති සැම සෙවණැල්ලක් ම මගේ ජනතාවගේ ජීවිතයේ සිදුවීම් හා මතකයන් ගැන සඳහන් කරයි. ජලය මිමිණුම් න`ගන්නේ මගේ සීයාගේ කටහඬයි"
- සියෑටල්-
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු
එම්. ඩී. ජනක ප්‍රියන්ත වික්‍රමසූරිය