Matara Page මාතර පිටුව

Matara Page මාතර පිටුව අසත්‍යයට, අවිද්‍යාවට හා මිත්‍යාවට එරෙහිව!

සැලසුමක් නොමැති මෝඩ චූන් සංවර්ධනය නගර විනාශ කරනු ඇත!
10/09/2026

සැලසුමක් නොමැති මෝඩ චූන් සංවර්ධනය නගර විනාශ කරනු ඇත!

ස්ථිර කඩ ඉදිකරන්නට යාමෙන් මාතර ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකම අනතුරක!

"උයන්වත්ත ක්‍රීඩාංගණය හා සනත් ජයසූරිය ක්‍රීඩාංගණය යනු මාතර සතු මිළකල නොහැකි අනර්ඝතම පොදු සම්පත් දෙකකි! එහි කඩකාමර ඉදිකිරීමෙන් මාතර නගර ඉතිහාසයේ කිසිවෙකු නොකල තරමේ වරදක් මාතරට
සිදුකිරීමට වත්මන් මහා නගර සභා පාලනය කටයුතු කරමින් සිටී. මෙම අදූරදර්ශී පියවර නොපමාව නතරකරගත යුතුය."

මාතර මහා නගර සභාවේ මාසික සභා රැස්වීමේදී වාචිකව කරැණු ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරැන්ට සීමා පැනවී ඇති බැවින් ද ආඥා පනත හා අතුරැ ව්‍යවස්ථා ප්‍රකාරව සභාවේ ප්‍රකාශණ අවස්ථාවක් නොමැති බව තමන් පිලිගන්නා බැවින්ද
යෝජනා ඉදිරිපත් කිරීමේදීත් පලදායී ප්‍රතිචාරයක් නොදකින බැවින්ද සෑම කරැණක් සදහාම යෝජනා ඉදිරිපත්කිරීම ප්‍රායෝගික නොවන බැවින් ද සභාවේ කාරක සභා සදහා මන්ත්‍රීවරැ පත්කිරීමේදී දේශපාලන බලයමත එය
සිදුකෙරෙනා පසුබිමක නගරය, පුරවැසියන් හා සභාව මුහුණ දෙන සංකීර්ණ ගැටලු හදුනාගත්විට ඒවා ලිඛිතව නගරාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට තම කණ්ඩායම තීරණයකල බවත් ඒ අනුව අද සිට එවැනි කාරණා
අවශ්‍යතාවය අනුව ඉදිරිපත් කරන බව පවසමින්, තමන්ගේ එම ලිපි පිලිබදව අවධානය යොමුකරන මෙන් වැඩිදුරටත් ඉල්ලමින් ක්‍රීඩාංගණවල කඩ ඉදිකිරීමෙන් ඇතිවියහැකි අනිසි ප්‍රතිවිපාක හා නගර සැලසුම්වලට සිදුවන
විනාශය පෙන්වා දෙමින් හා කඩ ඉදිකිරීමට අවශ්‍යතරම් විකල්ප ඇතිබව පෙන්වා දෙමින් පහත දැක්වෙන ලිපිය මාතර මහා නගර සභාවේ සැප්තැම්බර් 08වන දින පැවැති මාසික සභා රැස්වීමේ දී නාගරික මන්ත්‍රී
මනෝජ් ලුණුවිල මහතා (ස්වාධීන) විසින් සභාගතකරන ලදී.

ගරු නගරාධිපතිතුමනි,

ජයසූරිය ක්‍රීඩාංගණය සහ උයන්වත්ත ක්‍රීඩාංගණය ආරක්ෂාකරමු! දූරදර්ෂීව වැඩකරමු!

මාතර මහා නගර සභාව සතුව ඇති ඉඩකඩම් ප්‍රමාණය ඉතාම සීමිතය. කලකට පෙරසිට ගනුලැබූ නොගැඹුරු තීරණ නිසාවෙන් කොට්ඨාස මට්ටමින් ඇති බොහෝ කුඩා බිම් කැබලි ප්‍රමාණයක් නොනිළ මට්ටමින් වුවත් සභාවට සම්පූර්ණයෙන් අහිමිවී තිබේ. ඒවා නැවත සභා සන්තකයට ගන්නට යන්නේ නම් විශාල කලබගෑනියක් ඇතිවනු නිසැකය. එම නිසාම ඉතිරිව ඇති ඉතාම සීමිත ඉඩකඩ අනාගත මාතර වෙනුවෙන් සුරක්ෂිතව තබාගතයුතුය. වඩාත් ඵලදායී ලෙසින් සංවර්ධනය කලයුතුය.

මේ අතරිනුත් ලක්ෂයක් පමණවන මාතර පුරවැසියන්ටත් නාගරිකව පමණක් නොව දිස්කත්‍රික් මට්ටමේ හා ජාතික මට්ටමේ ක්‍රීඩා හෝ වෙනත් ඉසව්වක් වෙනුවෙන් භාවිතාකලහැකි ස්ථාන අතර මාතර උයන්වත්ත සහ සනත් ජයසූරිය ක්‍රීඩාංගණ යනු සමහරවිට තවත් සියවස් ගණනකට මාතර සතු වටිනාම භූමිභාග දෙකයැයි කිවහොත් මම නිවැරදියැයි සිතමි. එබැවින් මෙම භූමීන් පිළිබඳව අප තීරණ ගතයුත්තේ අතිශය දූරදර්ශීව මෙන්ම සංවේදීවයැයි අපි විශ්වාස කරන්නෙමු.

මේ වන විට මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩා මණ්ඩපය සංවර්ධනය කරමින් පවතී. මෙම සංවර්ධනයට එකහෙලා කැමතිමුත් මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව අපට ගැටලු තිබේ. ඒ අතරම මෙම ඇස්තමේන්තු සභාව වෙත ඉදිරිපත්කරන විටදී අප එහි සැලසුම් ඉදිරිපත්කරන මෙන් ඉල්ලා සිටිය ද ඔබ විසින් එය ඉටු නොකරන ලදී. ඇසින් නොදුටු සැලසුමකට මෙම සභාවේ බහුතරය මුදල් අනුමතකර ඇත. නමුත් මගේ මෙම ලිපිය ඒ පිළිබඳව නොවේ.

සනත් ජයසූරිය ක්‍රීඩාංගණය

මෙම සැලසුමට අනුව සනත් ජයසූරිය ක්‍රීඩාංගණයතුල අලුතින් කඩකාමර 10ක් ද ඉදිකරන බව දැන් ප්‍රකාශිතය. ඒ සමගම උයන්වත්ත ක්‍රීඩාංගණයේ ද එක් පසෙක කඩ සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතබව ප්‍රකාශවී තිබේ. සමහර තැනක එය සටහන්වන්නේ කඩ පේලියක් බවයි! මෙය අතිශය කණගාටුදායක තත්වයක් බව අපගේ අදහසයි!

සනත් ජයසූරිය ක්‍රීඩාංගණය යනු භූමියෙන් කුඩාවූ, ක්‍රීඩා සහ පොදු කටයුතු වෙනුවෙන් වෙන්කරන ලද නගරය සතු අතිශය රමණීය භූමියකි. මෙම රමණීය ක්‍රීඩාංගණය හා පොදු භූමිය ප්‍රමාණවත්තරම් කුඩා වූ ක්‍රීඩා මණ්ඩපයක් පවත්වාගනිමින් හැකිතරම් භූමිය ඉතිරිකර තැබීම, එහි අලංකාරය, මුල් ඉදිකිරීමේදී අපේක්ෂාකල අරමුණු මෙන්ම වැඩි ප්‍රජාවකට එකවර එය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව සුරක්ෂිත කරමින් සංවර්ධනය කලයුතුය.

නමුත් දැනගන්නට ඇති පරිදි ක්‍රීඩා භූමියෙන් ඉවතට මුහුණලා ඉදිකරනු ලබන මෙම කඩකාමර කිසිසේත්ම ක්‍රීඩාංගණයේ අංගයක් හෝ එහි අවශ්‍යතාවයක් ද නොවේ. එසේම ක්‍රීඩාගාරයේ පසුපස, කඩ ඉදිකිරීමට යෝජිත කොටස බස් නැවතුම ඇතුලතින් ගත්විට ද මගීන් ගැවසෙන කොටසක් ද නොවේ. එසේම මෙම බස් නැවතුම්පොළ අනාගතයේදී දුම්රිය පොළ අසලට රැගෙනයාමට අනුමත කරනලද නගර සංවර්ධන සැලසුමේම තිබේ. ඉතා මෑත දිනකදී වත්මන් ආණ්ඩුවේ මාතර දේශපාලන නායකත්වය ද එය ප්‍රකාශකර තිබුනි. දැනටමත් බස් නැවතුම් පොළ සතුව විශාල කඩ කාමර සංඛ්‍යාවක් තිබේ. එසේ තිබියදී මේ සිදුකරන්නට යන්නේ කුමක්ද?

මෙවැනි පසුබිමක් යටතේ මෙම රමණීය භූමිය විනාශකරමින් මෙසේ කඩකාමර 10ක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද? ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී ඇතිවී තිබෙන මූල්‍ය ගැටලුව නිර්මාණයකරගනු ලැබුයේ ඔබ විසිනි. ඔබේ ආණ්ඩුවේ ඉහල නායකයින්ගේ අදූරදර්ශී හා අක්‍රමවත් වැඩපිලිවෙල නිසා මෙම අර්බුදය හටගෙන ඇති බව අපගේ අදහසයි. ක්‍රීඩා මණ්ඩපය ඉදිකිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය ලබාදෙන්නට එකඟවූවා යැයි කියූ මුදල් විදිමත් ක්‍රමවේදයකට ගෙනඑන්නට පෙරම ක්‍රීඩාමණ්ඩපය කඩා දැමූ අතර අද එම අවමානයෙන් හා විනාශයෙන් ගැලවීමට ඔබට සිදුව තිබේ. එහෙත් අපගේ අතිශය වටිනා භූමිය විනාශකිරීම අප සිදුනොකල යුතුය. මාතර අයිති අපේ අනාගත පරපුරටය!

උයන්වත්ත ක්‍රීඩාංගණය

උයන්වත්ත ක්‍රීඩාංගණයේ ද මෙවැනිම කඩ පේලියක් සෑදීම පිළීබඳව ප්‍රකාශවී තිබේ. එම අපරාධය ද වහාම නතර කරනමෙන් අපි ඉල්ලා සිටිමු! අදට දශක කිහිපයකට පෙර අත්‍යාවශ්‍ය කටයුත්තක් වෙනුවෙන් වුවද උයන්වත්ත ක්‍රීඩා භූමියෙන් වටිනා කොටසක් ජලසම්පාදන මණ්ඩලයට වෙන්කර දීම හේතුවෙන් අද එහි සංවර්ධය අභියෝගවලට මුහුණ දී තිබේ.

1990 දශකයේ මුල කඹුරුපිටිය ගම් උදාව වෙනුවෙන්, මාතර තාරකා කොටුවට යාබදව පිහිටා තිබූ දොඩම් පොළ, නගර සභා භූමියේ ඉදිකිරීමේ වරද අදටත් අපට විසඳාගත නොහැකිව තිබේ. එදා පැවැති ප්‍රේමදාස රජය දොඩම්පොළ උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම ප්‍රතික්ෂේප කරතිබීම කිසියම් වාසනාවකි. එදා සිදුනොවූ එම වරද අද ඔබ සිදුකරන්නට යන්නේ ඇයි? 1990 දශකයේදී ප්‍රේමදාස රජයට පෙනුන දේ 2020 දශකයේ ඔබට නොපෙනෙන්නේ ඇයි? හතර වටින්ම ප්‍රධාන මංමාවත් වෙත විවෘත වූ උයන්වත්ත පිටිය කොටසක් අද අහිමිව තිබියදී තවත් කොටසක මායිම කඩ සංකීර්ණයක බිත්තිය බවට පත්කරන්නේ ඇයි?

ගරු නගරාධිපතිතුමනි,
මේ පිළිබඳව යලිත් සලකාබලන මෙන් ඉතාමත් ඕනෑකමින් ඔබගෙන් ඉල්ලා සිටිමු! මෙය වෙනස් නොකරන්නේ නම් විශාල වරදක් ලෙසින් මෙම ක්‍රියාව ඉතිහාසයට එකතුවනු ඇත්තේ පහසුවෙන් නිවැරදිකල නොහැකි ලෙසිනි! මෙම කඩ ඉදිකිරීමේ ක්‍රියාවලිය අනුමත මාතර නගර සංවර්ධන සැලසුමට මෙන්ම වර්ථමාන ආණ්ඩුවේ දේශපාලන අධිකාරිය මාතර සංවර්ධනය පිළිබඳව කරන ලද ප්‍රකාශයන්ට ද පටහැනිය. එය රමණීය භූමියක් විනාශ කිරීම වනු ඇත.

කොටුවේගොඩ, කොටු තාප්පයේ සිට මාර්කට් පාරේ පිටත මායිමේ පිහිටි කඩ පේලිය දක්වාත්, පැරණි තංගල්ල පාර හා වෙරළ පාර දක්වාත් අතර වූ විශාල භූමියෙන් කුඩා පෞද්ගලික දේපල දෙකක් හා එක් රජයේ දේපලක් හැරෙන්නට ඉතිරි සියිලු භූමිය මාතර මහා නගර සභාව වෙත ඔප්පුවකින් හිමිව ඇති භූමියයි. එහි තෝරාගත් කොටසක් තුල ඉතා සැලසුම් සහගතව අනාගත මාතරට ද උචිත පරිදි නව වෙළඳ සංකීර්ණයක් ඉදිකල හැකිය. වත්මන් ආණ්ඩුවේ ඔබේ දේශපාලන අධිකාරියත් සමග එක්ව එවැනි කාර්යයකට පිවිසෙන්න! එය අනාගත මාතර වෙනුවෙන් වටිනා ආයෝජනයකි! විවෘතව සිදුකරනු ලබන එවැන්නකට අපි අපගේ පූර්ණ සහාය දීමට ද කැමැත්තෙමු!

සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ හා උයන්වත්ත ක්‍රීඩාංගණයේ මිළකල නොහැකි වටිනා භූමිභාගය විනාශ කිරීමෙන් වලකින්න! ඔබ තවමත් ප්‍රමාද නොමැත! ඔබවෙත ගෞරවයෙන් සිදුකරනු ලබන අපගේ මෙම ඉල්ලීම කාරුණිකව සලකා බලා පියවරගනු ඇතැයි අපි අපේක්ෂා කරමු! ඒ අප වෙනුවෙන් නොව සුවහසක් වන අනාගත මාතර පුරවැසියන් වෙනුවෙනි!

මෙයට,
විශ්වාසී,

මනෝජ් ලුණුවිල
මහා නගර සභා මන්ත්‍රී (ස්වාධීන)
07.09.2026

Address

Fransis Samaraweera Mw
Matara

Opening Hours

Tuesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Saturday 09:00 - 15:00

Telephone

+94412222076

Website

Alerts

Be the first to know and let us send you an email when Matara Page මාතර පිටුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Matara Page මාතර පිටුව:

Shortcuts

Share