11/04/2023
අත්තනගල්ල කුඩා ව්‍යවසායකයන්ගේ වීදි ආහාර සැණකෙළිය හා යෞවනයන්ගේ නාඩගම සංස්කෘතිකාංගය - 03/31-04/01
=====================================
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මඟ පෙන්වීම මත දිරියෙන් නැඟී සිටින අත්තනගලු ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් දිනමු ව්‍යවසායක සංගමයේ සංවිධාන ශක්තියෙන් පසුගිය මාර්තු 31 හා අප්‍රේල් 01 දෙදින නිට්ටඹුව ඩිපෝ පාරේ දී පැවැත්වූ Street Food Festival (වීදි ආහාර සැණකෙළිය) හා Mini Fair අලෙවි පොළ සාර්ථක කර ගැනීම සඳහා උපකාර කළ සැමටත්, සහභාගී වූ සැමටත් අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු.
මෙම වැඩසටහන සංවිධානය කිරීමේ එකම අරමුණ වූයේ පසුගිය ආර්ථික අර්බුද සමයේ අතිශය දුෂ්කරතා මැද තම ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා ව්‍යවසායකයන් සවිබල ගැන්වීම පිණිස ඔවුන් හට වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කර දීම ය. එම අරමුණ මනාව හඳුනාගත් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ එවකට සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා සහ ලේකම් උපුල් රංජිත් මැතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලය ප්‍රාදේශීය සභාවෙන් ඒ සඳහා ලබා දිය යුතු ආයතනික සහයෝගය නොඅඩුව ලබා දුන් අතර නිට්ටඹුව නගරයේ වෙළෙඳ ප්‍රජාව වෙතින් ලද සහයෝගය ද ගෞරවයෙන් සිහිපත් කරමි.
වර්තමානයේ දක්නට ලැබෙන ඇතැම් ආහාර සැණකෙළි හා සසඳන කල මෙය කුඩා පරිමාණ වීදි ආහාර සැණකෙළියක් විය හැකි නමුත් ඒ තුළින් රටේ ආර්ථිකයේ ජීව රුධිරය බඳු අංකුර ව්‍යවසායකයන් ලැබූ පන්නරය අති මහත් ය. ඇතැම් ව්‍යවසායකයන්ගේ ආදායම ලියැවී තිබුණේ ඉලක්කම් 06කිනි. ඉල්ලක්කම් 05කින් ආදායම් නොලැබූ කිසිවෙක් නොවීය. ආහාර සැණකෙළියට සමගාමීව තිබූ Mini Fair හි මල් පැල අලෙවි සැල් පවා රු. 20,000- 30,000 වැනි ආදායම් ලබා තිබුණි. දිනමු ව්‍යවසායක සංගමයට ද ස්ථාවර ප්‍රාග්ධන අරමුදලක් ද ස්ථාපිත කර ගත හැකි විය. රට තුළ නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කිරීම, රැකියා වියුක්තිය අවම කිරීම, ආදායම් ඉහළ නැංවීම හා උද්ධමනය අඩු කිරීම යන සාර්ව ආර්ථික ඉලක්ක ළඟා කරගැනීමට ඇති එකම මාර්ගය වනුයේ ව්‍යවසායකත්වය දියුණු කිරීම ය. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරා විසිරී සිටින අංකුර ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් ශක්තිමත් ව්‍යවසායකයන් ලෙස නඟා සිටුවීම අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අරමුණ වේ. මෙම වැඩසටහන ද එම අරමුණ කරා යන ගමනේ එක් පියවරක් පමණි.
වීදි ආහාර සැණකෙළි හැම තැනම තිබුණත් එය නාඩගම යනුවෙන් අලංකාර සංස්කෘතිකාංගයකින් භෞතීස්ම කිරීමේ ගෞරවය හිරිමල් නිර්මාණශීලී තාරුණ්‍යයේ අත්තනගලු නියෝජනය වූ අත්තනගල්ල ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයට හිමි විය යුතු ය. මේ සියලු සාර්ථකත්වයට ශක්තියක් වෙමින් වීදි ආහාර සැණකෙළියට හා නාඩගමට සහභාගී වූ ආදරණීය අත්තනගල්ල ජනතාවට අපගේ ගෞරවනීය ප්‍රණාමය නැවතත් පුද කර සිටිමු !!