03/09/2026
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
2026.09.03
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026 සැප්තැම්බර් මස 03 වන දින, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරංග අබේසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවති මෙම රැස්වීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් ආර්. ඒ. ශාලිකා එස්. රණවීර මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් රැසක් සහභාගි වූහ.
මෙහිදී 2026 වර්ෂයට අදාළ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, ඩෙංගු මර්දන ජාතික වැඩසටහන හා ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ග, මෙන්ම ජාතික පවිත්‍රතා වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා කරන ලදී.
එමෙන්ම, මත්ද්‍රව්‍ය නිවාරණය, කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්බන්ධ නව චක්‍රලේඛය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් නඩත්තු කරනු ලබන ඇළ මාර්ගවල ප්‍රගතිය හා පවතින ගැටලු, මෙන්ම විවිධ ගැටලු සම්බන්ධයෙන් ලැබී ඇති ලිපි පිළිබඳවද සාකච්ඡා කර, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදී.
ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන කටයුතු කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම සහ රාජ්‍ය ආයතන අතර වඩාත් ඵලදායී සම්බන්ධීකරණයක් ඇති කිරීම මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ විය.
ගරු සභාපතිතුමාගේ අදහස් හා උපදෙස්වලින් අනතුරුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ කටයුතු සාර්ථකව නිමාවට පත් කරන ලදී.