27/08/2026
පින්බර නිකිණි පුන් පොහොය දිනයක් වේවා!
🌼 නිකිණි පොහොය දිනයේ වැදගත්කම 🌼
ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය.
ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි වපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළඹෙන හේමන්ත ගිම්හාන වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්‍ය්‍යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ, වස්සං න උපගන්තබ්බං, යො න උපගච්ඡෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි, වස් නො එළඹිය යුතු නො වේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි මහා වග්ගයේ වස්සූපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතු ය. පසු වස් එළඹීය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූණ් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හ, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදී ස්ථාන වල නො එළඹිය යුතු ය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං, යො උපගච්ඡෙය්‍ය ආපත්තී දුක්කටස්ස” යනුවෙන් “මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹීය යුතු ය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ” යැයි දේශනා කොට ඇත. වහළක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතු ය.
🌸 ආනන්ද හිමියන් රහත් වීම
ප්‍රථම සංගීතියට ධර්‍මසංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්‍ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූ හ. උන්වහන්සේ ගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.