09/12/2020
පොඩි හාමුදුරුවන්ගෙ නෝනා...
"පොඩි උන්නාන්සෙත් එක්ක මොකක් හරි නැත්තං ඔච්චර වියදං කරල ආවාසයක් හදලා දෙයිද ඔය නෝනා"
ඒ පන්සලේ ප්‍රධාන දායකයාය.ආවාස ගෙයි වැඩ නිමවා ඇත.එය සම්පූර්ණයෙන්ම අලුත් දිසාපති තුමියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිම වූවකි.
තිස්ස හාමුදුරුවෝත් ඒජී නෝනාත් සම වයසේය. ගම්මුන්ගේ පමණක් නොව පාදේශීය ලේකම් කාර්‍යාලය තුළද කතා බහට ලක්වූ තිස්ස හාමුදුරුවන්ගේත් ඒජී නෝනාගේත් මිත්‍රත්වය විශ්ව විද්‍යාලය දක්වා දිවෙන්නකි.
ලොකු හාමුදුරුවන්ගේ අසනීප තත්වය සලකා බලා ගුරු වෘත්තියට සමුදුන් තිස්ස හාමුදුරුවෝ පන්සලේම උපකාරක පන්තියක් ආරම්භ කළේ දිනූෂා අගලවත්ත පාදේශීය ලේකම් තුමිය පත්වීම් ලැබ ආ දිනවලමය.
ගම්වාසී දරුවන්ට නොමිලේ ඉගැන්වූ පොඩි හාමුදුරුවෝ පන්සලේ බුදුමැඳුර, චෛත්‍ය මළුව මෙන්ම බෝ මළුවද අලංකාර ලෙස සාදවා නිම කළේ සිය විශ්ව විද්‍යාල මිතුරන් හා ගම්වාසීන්ගේ මුදල් හා ශ්‍රම දායකත්වය ලබාගෙනය.
පන්තිවලට එන දරුවන්ගෙන් කිසියම් මුදලක් අය කරන්නැයි මිතුරන් කී විට තිස්ස හාමුදුරුවෝ කීවේ මෙවැන්නකි.
"ගම්මුන්ගෙ දානෙ වේල කාලා ගම්මුන්ගෙ සල්ලි වලින් ඉගන ගත්ත මම ඒ ගම්මුන්ගෙ ළමයින්ගෙන් සල්ලි අරන් උගන්නන්නෙ කොහොමද?"
ලොකු හාමුරුවෝද එය අනුමත කළහ. බුදු මැඳුර තුළ තිබූ එකම එක බුදු පිළිමය වෙනුව අට විසි බුදුන් වහන්සේලා නිමවා අලංකාරව චිත්‍ර ඇන්ඳවීමට තිස්ස හාමුදුරුවන්ට අවශ්‍ය වූ විට ඒ,ජී නෝනා තම දැන හැඳුනුම්කම්ද උපයෝගී කර ගනිමින් එයට ආධාර ලබා දීමට සමත් වූවාය. විහාර ගෙයි වැඩ පිළිබඳව ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට වරින් වර පන්සලට පැමිණි ඒජී නෝනා මුල්ම කාලයේ ගම්වාසීන්ගේ නොමද ගෞරවයට පත්වු නමුදු කාලය ගෙවෙත්ම ඒජී නෝනාගේ නිතර පැමිණිම ඒ ගම්වාසීන්ගේම සැකයට බඳුන් විය.
පන්සලේ අනෙක් කටයුතු නිමාවී තිබූ නමුත් රෝගී ලොකු හාමුදුරුවෝ මෙන්ම තිස්ස හාමුදුරුවෝත්,සාමණේර හාමුදුරුවෝත් යන තිදෙනාම විසූයේ කඩා වැටීමට ආසන්න ආවාසයකය. එය කලකට ඉහත මැටියෙන් ඉදිකරන ලද සිංහළ උළු සෙවිලි කළ පැරණි ආවාසයකි.
ඒ තුළ පිනි බෑමත් සීතලත් අධික වූයෙන් ලොකු හාමුදුරුවෝ නිතර නිතර අසනීප වන බව තිස්ස හාමුදුරුවෝ ඒජී නෝනා සමඟ කියූවේ ආවාසය උදෙසා ගම්මුන්ගෙන් උපකාර ඉල්ලීමට නොසිතෙන බවද කියන අතරය.
කාමර තුනක්, නාන කාමරයක්,දාන ශාලාවක් හා කුස්සියකින් සමන්විත අංග සම්පූර්ණ ආවාස ගෙයක් තැනීම දිනූෂා අගලවත්ත ඒජී නෝනා විසින් ආරම්භ කළේ ඒ අනුවය. එය තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන්ම සිදු කළ යුතු යැයි කියූ ඇය අනෙකුන්ගේ ආධාරද ප්‍රතික්ෂේප කිරීම කතා බහට ලක්විය.
ඒජී නෝනාත් තිස්ස හාමුදුරුවෝත් එක්ව ගමන් බිමන් යෑමත් ඒජී නෝනා පන්සලට එන වාර ගණනත් වැඩි විය.
"ඒජී නෝන තිස්ස හාමුදුරුවන්ට ගෙයක් හදනවා.."
"කැම්පස් එකේ ඉන්න කාලෙ ඔය නෝන හාමිනේගේ කාමරේලු වැඩි හරියක් අපෙ උන්නාන්සෙ හිටිය කියන්නෙ.."
"සිවුරු ඇරල නොයන්නෙ ලොකු හාමුදුරුවො හන්ඳලු.."
"ඒජී නෝනත් බැඳල නෑ..පව් ඉතිං..ඕං දැක්කද හිත ගිහාම..තෘෂ්ණාව..ඔය කොළඹ යනව කියල ගිහාම කොහෙ කොහෙ හරි යනව ඇති."
"ආයෙ ඔය මෙහෙට්ටම පත්වීම අරන් ඇවිත් තියෙන්නෙ ඉල්ලලා කියනවනෙ..පේන දුරින් ඉන්ඩ වෙන්ඩැ"
ඒ ගම්මුය.ඒ අතර ඇතැම් ගම්වාසීන් මෙසේද කීහ.
"අනේ මන්දා...එහෙම එකක් තියනව නං ඉතිං සිවුරු ඇරල යනවනෙ.මට නං හිතෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ හිතේ මොකුත් නෑ..ඒජී නෝන හදන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සිවුර ගලවලා අරන් යන්ඩ වාගෙ.."
"කොහොම වුනත් ඔය ගෑනි පන්සල පැත්තෙ එන එක නවත්තන්ඩ ඕනෑ."
සැමියාගේ මුදලින් තම නිවස ඉදිකරන තැනට, වරින් වර යන බිරිඳක පරිද්දෙන් පන්සලට ආ ගිය ඒජී නෝනා පුද්ගලිකවම ඉදිකිරීම් නිරීක්ෂණය කරන බවක් පෙනුණෙන් එයද ගම්වාසීන්ගේ නොරිස්සුමට හේතු විය. ඉක්බිති එළඹි කාලයේ මෙම කට කතාව පිළිබඳව දැනගත් තිස්ස හාමුදුරුවෝ මුලින්,මුලින් සිනාසී එය නොසළකා හැරිදයද පසුව උන්වහන්සේටද එය හිසරදයක් බවට පත්විය. ආවාසයේ වැඩ නිමවූ බව දැනගත් දිනයට පසු එළඹි පළමු ඉරිදා දිනයේම ඒජී නෝනා පන්සලට ගියාය. එදින තිස්ස හාමුදුරුවන් වෙනුවට ලොකු හාමුදුරුවන් ඇය හමුවට වැඩියේ, තිස්ස හිමියන්ගේ අනුදැනුම ඇතුවය..
"විස්ස විද්ද්දියාලෙ ඉන්න කාලෙ ඉඳම්ම සම්බන්ධකමක් තියෙන්ඩ ඇති කියල ගම්මු කියනව කියලයි කියන්නෙ.තිස්ස උන්නාන්සෙගෙත් ඩිංගක් හිත හෙල්ලිලා.."
ලොකු හාමුදුරුවෝ දීර්ඝ විස්තරයක් අවසානයේ කීහ. ඒ ජී නෝනා නිහඬය.
"හැබෑටම නෝනා මේ හැටි වියදං කරලා මේ ආවාසෙ තනියෙම්ම හදා දෙන්නෙ ඇයි කියලා මං වුනත් හිතලා තියෙනව"
"මං ගිහින් එන්නම් අපෙ හාමුදුරුවනේ.මං ආයේ මේ පැත්තෙ එන්නෙ නෑ."
"අපේ නෝනා හිත නරක් කරගන්න එපා.පින කියන්නෙ පිනමයි..ආවාසෙ විවෘත කරන දාට නෝන එන්නම ඕන."
ඒජී නෝනා පිටව ගියාය.ඉක්බිති ආවාස ගෙය විවෘත කිරීමේ සරළ උත්සවයට ඇයට ආරාධනා කිරීමට ගිය තිස්ස හාමුදුරුවෝ රතු කරගත් මුහුණින් යුතුව එළියට ආ අයුරු කීපදෙනෙකු දැක තිබිණි. ==========================================
උත්සවය දා ඒජී නෝනාගේ නිළ රථය පැමිණෙන විට ගම්මුන් තොලපිට පෙරලූ අතර තිස්ස හාමුදුරුවෝ ඇයව පිළිගත්තේ මවාගත් සිනාවකින් යුතුවය.
" මගෙ අන්තිම කාලෙ පහසුවට ඉන්නයි යන්නෙ..දිනූෂා නෝනා හදා දුන්න ආවාසෙ...බොහොම පින් "
ලොකු හාමුදුරුවෝ එසේ කියමින් ගම්මුන් දෙස බලා නොබලා ආයාසයෙන් මෙන් සිනාසුනහ. ඒජී නෝනාගේ මුහුණේ යම් කළකිරීමක් මෙන්ම ජයග්‍රාහී බවක්ද ඒ යට සැඟවුනු වේදනාවක්ද ඇතැයි හොඳින් බලන්නෙකුට වටහා ගත හැකිවිය. තිස්ස හාමුදුරුවෝ ඇයව මඟාරින බව දැකීම ගම්වාසීන්ගේ සතුටට හේතුවන්නට ඇත. ආවාසයේ වැඩ නිමවා දුන් පාදේශීය ලේකම් තුමිය දිනූෂා අගලවත්තට වචන ස්වල්පයක් කතා කරන්නැයි ආරාධනා කළ නිවේදකයා අසුන් ගත්තේය. ඒජී නෝනා නැගිට්ටාය.සියල්ලන්ගෙන් අවසර ගත් ඈ මෙසේ කීවාය.
"මං දන්න කතාවක් කියන්නම්.මම මේක සරළම භාෂාවෙන් කියන්න කැමතියි. මේ එක හාමුදුරු කෙනෙක් ගැන කතාවක්.මං අද මේ පන්සලට ආවේ ඒක කියලා යන්නමයි. ...
මේකයි කතාව...එක ගමක පොඩි මානසික ආබාධයක් තිබ්බ මිනිහෙක් හිටියා.ඒ මිනිහගෙ රස්සාව හරක් දක්කන එක.. ඒ කිව්වෙ මුස්ලිම් මිනිස්සු මස් කඩේට අරන් යන හරකුන්ව දක්කගෙන යන එක. මුදලාලි බයික් එකේ ඈතින් යනවා..මේ මිනිහ පයින් හරකව දක්කගෙන යනවා.
මිනිහට මී මැස් මොර කියන ලෙඩේ හැදෙන නිසා කවුරුත් කුලියක් මලියක් දුන්නෙත් නෑ. හරකව මස් කඩේ දිහාට යනකම් දක්කගන ගියාම මුදලාලි කීයක් හරි දෙනවා.
පොඩි දා ඉඳන් කළේ හරක් බලන එක නිසාද කොහෙද හරක් දක්කන්න මිනිහට පුලුවන්. හරක් කීකරුයි මිනිහට...
මේ මිනිහට ගෑනියෙකුයි ළමයෙකුයි හිටියා..ඒ ගෑනු කෙනාට කිසිම මොළේ ආබාධයක් නෑ..දෙමව්පියෝ කරලා දුන්න කසාදයක්..මිනිහ යමක් තියන පවුලක වුනත් ඒ සහෝදරයො ඒ මිනිහට කිසි දෙයක් දුන්නෙ නෑ. ගෑනි කුලියට ගියා. ගෑනිට කුලියකුත් නැති ,මිනිහට හරක් දක්න්නත් නැති දාට කන්නත් නැතිවෙන තරම් දුප්පත්.
හරක් දක්කන එක පව් කියලා ඒ මිනිහට තේරුණේ නෑ..
එහෙම නම් පව් වෙන්න ඕන හරක් විකුනපු මිනිස්සු කියලා හිතලා ගෑනිත් කරබාගන හිටියා..
මේ මිනිහා පිස්සෙක්..ඔව් අත්තටම පිස්සෙක්..
ඒත් තමන්ගෙ ළමයට හරිම ආදරේ පිස්සෙක්..
ඒ ලමයත් ඇට පෑදුන දුර්වල ළමයෙක්..
ඒ මිනිහගෙ ගෙට ගෙවල් දෙක තුනකට මෙහායින් පන්සලක් තිබ්බා. පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ පවුලට උදව් කරන්න ඕන කම තිබ්බත් දෙතුන් වතාවක් ඉතුරු දානෙ ටික දුන්න කියලත් දායකයො කතාවක් හදලා තිබ්බා .
අර පිස්සගෙ ගෑනිට ලොකු හාමුදුරුවොන්ගෙ ඇල්ම වැඩි කියලා.
ඊට පස්සෙ උන්නාන්සෙ ඉතුරු දානෙ ටිකක්වත් දෙන්න ගියෙ නෑ.
ටික කාලයක් යද්දි අර මනුස්සයගෙ ගෑනි ලෙඩ වුනා.උනක් හැදිලා.. කුලියක් කරගන්නත් බැරි තරම්. හැමදාම හරක් දක්කන්න කතා කරන්නෙත් නෑ.
මිනිහා දවසක් ළමයා එක්ක පන්සලට ආවම දැක්කා බුදු මැදුර ඇතුලෙ පාත්තරේක දාල තියනව බත් මාලු පිනි.බුද්ධ පූජාව කියන එක ගැන ඒ මිනිහට හැඟීමක් නෑ..
මිනිහා ඒ කෑම ටික සරමට හලාගන ගෙදර අරන් ගියා. මේ මනුස්සය මිනිස්සු එක්ක කතා බහට යනව අඩුයි.කිසිම කතා බහක් නෑ කිව්වොත් හරි..
පන්සලට අනුව නම් ඒක හොරකමක් වෙන්න ඇති. හැබැයි අර මිනිහට ඕකෙ තේරුමක් නෑ. කෙලින්ම පන්සලට එනව පාත්තරේ තියන දෙයක් සරමට හලාගන්නව. කවුරුත් හිටියත් නැතත්..
එක වතාවක් මනුස්සයෙක් ඕක දැකලා මේ මිනිහට ගහලත් තිබ්බා.. ඒ කාලෙ ඒ ගම එච්චර දියුණු නෑ...පන්සලත් දියුණු නෑ..අවුරුදු දෙකක් විතරම ඒ මිනිහා බුද්ධ පූජාව තියන පාත්තරේ තිබ්බ කෑම සරමට හලාගන ගියා.
මේකෙ පුදුම කාරණා දෙකක් තියනව.. පළවෙනි එක අද දානෙ හම්බුන්නෑ අපි බඩගින්නෙ කියලා පොඩි හාමුදුරුවො අර ළමය එක්ක කියපු දවස් තිබ්බා..
පන්සලේ වැට ගාවට දැල් හොඬ කඩන්න කලු කම්බේරිය කඩන්න ආව වෙලාවට....ඒත් ඒ දවස්වලත් අර පාත්තරේ මොනවමහරි තිබ්බා. අඩු ගානේ ලපටි පොල් කෑලි ටිකක් හරි..
උදේ දවල් රෑ තුනටම..ඔව් රෑටත්..රෑට හාමුදුරුවො වලඳන්නෙ නැති එක නෙවෙයි පුදුම.රෑටත් බුද්ධ පූජාව තියපු එක... බුද්ධ පූජාව තියන ලොකූ පාත්තරේට එහා පැත්තෙ පුංචිම පුංචි පාත්තරේකුත් තිබ්බා..
ඒත් ඒක තිබ්බෙ මේ මිනිහට ගන්න බැරි තරම් ඈතින් බුදු පිළිමෙ ලඟම හින්ඳ ඒක ගන්න බැරිවුන බව ඒ මිනිහ ළමයා එක්ක කියලා තියෙනවා..
එක දවසක් ලොකු හාමුදුරුවො පොළඟෙක් කාලා ඉස්පිරිතාලේ අරන් ගියා.එදා රෑත් අර මිනිහා වෙනද වාගෙම බුද්ධ පූජාව අරන් යන්න පන්සලට ආවා. මේ මිනිහා කට්ට කලුවරේ බුදු ගේ ඇතුළෙ ඉඳන් එලියට එද්දි දැකපු මිනිස්සු හිතුවෙ මේ මිනිහා පිං කැටේ කඩන්න ආව කියලා හාමුදුරුවනේ....
මිනිස්සු ඒ මිනිහට ගැහුවා.. දුර්වල මිනිහා...පන්සලේ මිදුලෙම මී මැස් මොරේ හැදිලා මළා.....
ලොකු හාමුදුරුවො ඉස්පිරිතාලෙන් එද්දි කුමියා වළදාලා කුමියගෙ ගෑනියි ලමයයි ගමෙනුත් ගිහින් හාමුදුරුවනේ......
හරක් දක්කන මිනිහ කියලා අයින් නොකර,ඒ මිනිහගෙ ගෑනි එක්ක යාලුයි කියලා ගම්මු කියයි කියනවට බයට කෙලින්ම උදවු කරන්නත් නොයා,,සමහරක්දාට පන්සලේ පොඩි නමටත් ලෙවකන්න දීලා කුමියගෙ දුර්වල ළමයට කන්න පාත්තරේට මොනවහරි දාල ......බුදු මැඳුරෙන් තිබ්බ ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ටයි මම මේ ආවාසෙ හැදුවෙ හාමුදුරුවනේ....
එහෙමයි අපෙ ලොකු හාමුදුරුවනේ..ළමයගෙ උප්පැන්නෙ හැටියට නං තාත්තගෙ නම සිරිනාම අගලවත්ත..ඒත් ගමම ඒ පිස්සු මිනිහට කිව්වෙ කුමියා කියලා....
ලොකු හාමුදුරුවන්ගේ දෑස කඳුලින් බරව තිබූ අතර උන්වහන්සේ දත් සපාගනිමින් තමා තුළ වූ උපේක්ෂාව කොහි ගියේදැයි සෙවීමට මෙන් දෑස් එහා මෙහා යැවූහ. තිස්ස හාමුදුරුවෝ දෑස් හයා බලා සිටියහ.ඒ තම විශ්ව විද්‍යාල මිතුරිය දිනූෂා අගලවත්තමද?
"මං මේ ආවාස ගේ හදලා පූජා කරන්නෙ තිස්ස හාමුදුරුවන්ට නෙවෙයි..අපේ ඤානානන්ද ලොකු හාමුදුරුවන්ට...උන්නාන්සෙට කළගුණ සලකන්න කුමියගෙ දුව හැටියට මට කරන්න පුලුවන් උපරිම දේ මං කළා හාමුදුරුවනේ.."
නිමි.
සුජාතා මැණිකේ ඉහළගෙදර.