08/09/2025
තෙවෙනි මාර්ගයේ දේශපාලන න්‍යාය යනු කුමක්ද?
තෙවෙනි මාර්ගය කියන්නේ සම්පූර්ණ සමාජවාදයේ (socialism) රාජ්‍යමය පාලනය හා නිදහස් වෙළඳපොළ ආර්ථිකයේ (liberalism) සම්පූර්ණ ස්වාධීනතාවය අතරින් ගමන් කරන මධ්‍යස්ථ මාර්ගයක්. එහි අරමුණ සමාජ සාධාරණය සහ වෙළඳපොළ කාර්යක්ෂමතාව යන දේශපාලන න්‍යායන් දෙකෙහි සාධනීය ගුණාංග ඒකාබද්දව යාන්ත්‍රණය කිරීමයි. සමාජ අසමානතා අඩු කිරීමටත්, මධ්‍ය පන්තිය සහ අඩු ආදායම් කාණ්ඩ ආරක්ෂා කිරීමටත් රජය වගකීම් දරණ අතර, පුද්ගලික ක්ෂේත්‍රයේ නවෝත්පාදන, ආයෝජන හා ව්‍යාපාරික වර්ධනය මඟින් ආර්ථිකය ඉදිරියට ගෙන යාම මෙහි මූලික අරමුණයි.
න්‍යායමය පදනම
තෙවෙනි මාර්ගය සම්පූර්ණයෙන්ම නව සංකල්පයක් නොවන අතර, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (social democracy) සහ නව ලිබරල් ආර්ථික න්‍යාය (neoliberalism) අතර ඒකාබද්දව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයකි.
සමාජ සාධාරණය – සියලු පුරවැසියන්ට සමාන අවස්ථා ලබාදීම. සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂාව වැනි අත්‍යවශ්‍ය සේවාවන් නොමිලේ සැපයීම, පිළිසරණක් නොමැති පුරවැසියන් හා මධ්‍යම පන්තිය ආරක්ෂා කරගැනීම සහ ආදායම් විෂමතාව අඩු කිරීම.
වෙළඳපොළ කාර්යක්ෂමතාව – පුද්ගලික අංශය හා නිදහස් වෙළඳපොළේ ගතිකත්වය, නවෝත්පාදන, තාක්ෂණය, ව්‍යාපාරික වර්ධනය සහ ආයෝජන මඟින් ආර්ථික ප්‍රගතිය උද්දීපනය කිරීම. මෙමඟින් ආර්ථිකය තුළ “නියාමන නිදහස” (regulated freedom) සැලසීම මත තරඟකාරීත්වය හරහා කාර්යක්ෂමතාව වැඩිකර පුරවැසියාට ගුණාත්මක සේවාවන් සැපයීම.
ක්‍රියාත්මක වන්නේ කෙසේද ?
රාජ්‍යය – සමාජ ආරක්ෂණ ජාල සැපයීම.
උදාහරණ: නොමිලේ අධ්‍යාපන, සෞඛ්‍ය, පොදු සේවා, පාරිසරික ආරක්ෂාව වැනි....
නීති, ප්‍රතිපත්ති සම්පාදනය, නියාමනය සහ අවශ්‍ය අවස්ථාවල ආර්ථික සම්බන්ධීකරණය ස‍්ඳහා මැදිහත්වීම.
පුද්ගලික ක්ෂේත්‍රය – වෙළඳපොළේ සජීවීත්වය වර්ධනය කරමින් ඉදිරියට යාම.
නවෝත්පාදන, තාක්ෂණය, නිෂ්පාදන, සේවා හා ව්‍යාපාරික අවස්ථා වර්ධනය.
රැකියා උත්පාදනය සහ ආදායම් උපයාගැනීම.
අරමුණ කුමක්ද ?
ආර්ථික වර්ධනයත්, සමාජ සාධාරණයත් සමාන්තරව වර්ධනය කරමින් පවත්වා ගැනීම.
මෙම දේශපාලන න්‍යාය අත්හදා බැලූ රටවල් මොනවාද ?
ටෝනි බ්ලෙයාර් - එක්සත් රාජධානිය “New Labour” Third Way
බිල් ක්ලින්ටන් - එක්සත් ජනපදය “New Democrats”
ස්කැන්ඩිනේවියානු රටවල් - ස්වීඩන්, ඩෙන්මාක්, ෆින්ලන්ඩ් “Social Democracy”
තෙවෙනි මාර්ගය යනු සමාජ සාධාරණය හා වෙළඳපොළ කාර්යක්ෂමතාව එකට ගැලපීමේ යථාර්ථවාදී මාර්ගයක් ලෙස සැලකිය හැක. එය සම්පූර්ණ සමාජවාදය හා සම්පූර්ණ නිදහස් වෙළඳපොළ දෙකම ප්‍රතික්ෂේප කරන අතර, නව දේශපාලනික හා ආර්ථික මගක් සොයාගැනීමේ විවෘත මාර්ගයක් වේ. නමුත්, එය සම්පූර්ණව හා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ගෝලීය හා දේශීය අභියෝග නොකඩවා පවතී.