Southern Province Governor's Secretariat

Southern Province Governor's Secretariat දැක්ම
දකුණු පළාත් ජනතාව වෙත වඩාත් ඵළදායී හා මානව හිතවාදී රාජ්‍ය සේවයක් සැපයීම.

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද "දක්ෂිණ කෘෂි අභිමන් 2026" ව්‍යවසායක නිෂ්පාදන ප්‍රදර්ශනය අද (0...
06/08/2026

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද "දක්ෂිණ කෘෂි අභිමන් 2026" ව්‍යවසායක නිෂ්පාදන ප්‍රදර්ශනය අද (06) උදෑසන බෙන්තොට නිවාඩු නිකේතන පරිශ්‍රයේදී දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මැතිතුමන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් ආරම්භ විය.

දකුණු පළාතේ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම, දේශීය නිෂ්පාදන සඳහා වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීම සහ කෘෂිකාර්මික නවෝත්පාදන ජනගත කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදේශයේ ව්‍යවසායකයන් විසින් නිෂ්පාදනය කරන ලද විවිධ කෘෂි නිෂ්පාදන, මල් හා පළතුරු පැළ, අත්කම් නිෂ්පාදන ඇතුළු නිර්මාණාත්මක නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනය කෙරිණි. එමෙන්ම ප්‍රදර්ශනයට පැමිණි ජනතාවට එම නිෂ්පාදන සෘජුවම මිලදී ගැනීමේ අවස්ථාවද සලසා දී තිබිණි.

මෙහිදී පැවැති කෙටි උත්සව සභාව අමතමින් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා සඳහන් කළේ, දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමට මෙන්ම දකුණු පළාතේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නව තලයකට ගෙන යාමට මෙවැනි වැඩසටහන් මහත් පිටිවහලක් වන බවයි. එමෙන්ම කෘෂිකාර්මික ව්‍යවසායකත්වය දිරිගන්වමින් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධතාවක් ගොඩනැගීමට මෙවැනි ප්‍රදර්ශන වැදගත් දායකත්වයක් සපයන බවද එතුමා අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ප්‍රේමකුමාර විජේවර්ධන මහතා, ගරු උප සභාපති ප්‍රසන්න ගුණවර්ධන මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා අනූෂා පලිහවඩන මහත්මිය, බෙන්තොට ප්‍රාදේශීය ලේකම් ඩබ්. ඒ. ජනහිත මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ව්‍යවසායකයින් සහ ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණි විශාල ජනතාවක් එක්ව සිටියහ.

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59 වැනි වාර්ෂික මහා දේව පූජෝපහාර පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සංවිධා...
06/08/2026

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ 59 වැනි වාර්ෂික මහා දේව පූජෝපහාර පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සංවිධානය කරන ලද උදා සමුළුව අද (06) පෙරවරුවේ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සියවස් ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික මහා දේව පූජෝපහාර පෙරහැර දකුණු පළාතේ ප්‍රධානතම ආගමික හා සංස්කෘතික මංගල්‍යයන්ගෙන් එකක් වන අතර, මෙවර එහි 59 වැනි පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 8, 9, 10 සහ 11 යන දිනයන්හි වීථි සංචාරය කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර, දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමය සුරැකීමට මෙවැනි ඓතිහාසික පුණ්‍යෝත්සවයන් ඉටුකරන කාර්යභාරය අතිශය වැදගත් බවත්, ආගමික සහජීවනය, සමාජීය සුහදත්වය සහ ජාතික සමගිය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවැනි උත්සව මහඟු දායකත්වයක් ලබා දෙන බවත්ය. එමෙන්ම මෙම මහා පෙරහැර සාර්ථකව සංවිධානය කිරීම සඳහා කැපවී සිටින සියලු පාර්ශ්වයන්ට ද ගරු ආණ්ඩුකාරතුමන් සිය ප්‍රශංසාව පළ කළේය.

මෙම උත්සවයට සමගාමීව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස තෝරාගත් ගර්භනී මව්වරුන් වෙත අවශ්‍ය උපකරණ කට්ටල සහ වියළි සලාක පාර්සල් බෙදාදීම ද සිදු කෙරුණු අතර, එය මෙම අවස්ථාවේ සුවිශේෂී අංගයක් විය.

මෙම අවස්ථාව සඳහා ගෞරවනීය මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති සුනිල් ගමගේ මහතා, හික්කඩුව නගර සභාවේ සභාපති යසස්වින් ගොඩකන්ද මහතා, සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාලයේ භාරකාර දිනුක චතුරංග විජේරත්න මහතා, රජ්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති දුලාජ් තරංග මහතා, රාජ්‍ය නිලධාරීන්, දේවාල භාරකාර මණ්ඩලයේ නියෝජිතයන්, ප්‍රදේශවාසීන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඇල්පිටිය, මිරිස්වත්ත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හා විහාරාධිකාරී පූජ්‍ය දූවේගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන් වහන්සේ...
05/08/2026

ඇල්පිටිය, මිරිස්වත්ත ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති හා විහාරාධිකාරී පූජ්‍ය දූවේගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා හා මූලිකත්වය යටතේ, ප්‍රදේශයේ දානපති පින්වතුන්ගේ සහ සැදැහැවත් දායක ජනතාවගේ උදාර මූල්‍ය පරිත්‍යාගයන්ගේ දායකත්වයෙන් අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැළැන්දවීමේ මහා පුණ්‍යෝත්සවය පසුගිය (03) දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම පුණ්‍යෝත්සවය සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

ප්‍රදේශයේ බෞද්ධ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා තවත් පූජනීය ස්ථානයක දායාද කරමින් ඉදි කළ මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ, විහාරස්ථානයේ ආගමික හා ආධ්‍යාත්මික කටයුතු තවදුරටත් සවිමත් කරමින් අනාගත පරපුර වෙනුවෙන් ඉතිරිවන වටිනා බෞද්ධ උරුමයක් ලෙස සැලකේ.

මෙම අවස්ථාව අමතමින් දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා ප්‍රකාශ කළේ, බුදුදහම සහ ජාතික සංස්කෘතික උරුමය සුරක්ෂිත කරමින් සමාජයේ සදාචාරාත්මක වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා මෙවැනි ආගමික පුණ්‍ය කටයුතු ඉටුකරන කාර්යභාරය අතිශය වැදගත් බවයි. එමෙන්ම, මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම සඳහා අනුශාසනා ලබාදුන් විහාරාධිපති පූජ්‍ය දූවේගොඩ මෛත්‍රීමූර්ති ස්වාමීන් වහන්සේටත්, ඒ සඳහා නොමසුරු අයුරින් මූල්‍යමය දායකත්වය ලබාදුන් ප්‍රදේශයේ දානපති පින්වතුන්ට, දායක සභාවට සහ සියලු සැදැහැවත් බැතිමතුන්ටත් සිය ප්‍රණාමය හා ස්තුතිය පුද කළේය.

මෙම පින්බර අවස්ථාව සඳහා ප්‍රදේශයේ අති ගෞරවණීය මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, දානපති පින්වතුන්, දායක සභාවේ නිලධාරීන් සහ සැදැහැවත් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

Dissanayake

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වැනි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මැතිතුමා සහ දකුණු පළාත් ගරු ...
04/08/2026

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වැනි අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මැතිතුමා සහ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා අතර හමුවක් පසුගිය ජූලි 09 වැනිදා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මැතිතුමා විසින් කරන ලද නිල ආරාධනයකට අනුව, දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා පසුගිය අගෝස්තු 01 වැනිදා මිරිස්ස පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකා (SLCG) මූලස්ථානයේ ජීවිතාරක්ෂක පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝෂප් මහතා විසින් ආණ්ඩුකාරතුමන් පිළිගනු ලැබූ අතර, වෙරළාරක්ෂක බලකායේ අණදෙන හා පාලන පද්ධතිය, මෙහෙයුම් සම්බන්ධීකරණය සහ සමුද්‍රීය ආරක්ෂක සූදානම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

එහිදී ඩ්‍රෝන නිරීක්ෂණ හැකියාවන්, ධීවර හා වෙරළබඩ ප්‍රජාව වෙත ලබාදෙන සහාය, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වැඩසටහන්, ජීවිතාරක්ෂක මෙහෙයුම්, තෙල් කාන්දුවීම්වලට ප්‍රතිචාර දැක්වීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඉටුකරන කාර්යභාරය පිළිබඳව ආණ්ඩුකාරතුමා සවිස්තරාත්මකව නිරීක්ෂණය කළේය.

තවද, දියේ ගිලීම් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා ප්‍රජා මූලික ජීවිතාරක්ෂක වැඩසටහන් පුළුල් කිරීම, ධීවර වරායන්හි ආරක්ෂාව ශක්තිමත් කිරීම, සමුද්‍රීය පරිසර සංරක්ෂණය, මගී යාත්‍රා මෙහෙයුම් විධිමත් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවේදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද සජීවී ජීවිතාරක්ෂක නිදර්ශනය ද ආණ්ඩුකාරතුමා විසින් නිරීක්ෂණය කළ අතර, මහජන ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය ඉටුකරන කැපවූ සේවාව ඉහළින් අගය කළේය.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සංවර්ධනයට නව ශක්තියක් ලබාදෙන ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළ...
02/08/2026

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සංවර්ධනයට නව ශක්තියක් ලබාදෙන ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර අද (02) නිල වශයෙන් ආරම්භ කෙරිණි. දශක ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දුන් වාරි ජල ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එච්. එම්. අබේවික්‍රම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3 ක මුදලක් වෙන් කර ඇති අතර, මාස 20 ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000 කට අධික ජනතාවට සහ 8,000 කට අධික ගොවි ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1952 වර්ෂයේ ඉදිකරන ලද ඉල්වත්ත අමුණ මඟින් මාතර දිස්ත්‍රික්කයේ බොරාල, පලල්ල, ජඹුරගොඩ බටහිර, ජඹුරගොඩ නැගෙනහිර, වැලිපිටිය, පාදිලි කොක්මාදුව, සහබන්දු කොක්මාදුව සහ නලවන යන ග්‍රාම නිලධාරී වසම්වලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ හොරදුගොඩ, ඇල්ලලගොඩ සහ කෝදාගොඩ යන ප්‍රදේශවලටත් වාරි ජලය සැපයෙයි. ඒ හරහා අක්කර 3,000 කට අධික කුඹුරු යායක් සහ කොරටු අක්කර 62 ක වගාවන් සිදුකරන ගොවි පවුල් 2,000 කට ආසන්න සංඛ්‍යාවක ජීවනෝපායට මෙය මූලික ආධාරකයක් වී තිබේ.

1987 වසරේදී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව නඩත්තු කටයුතු ප්‍රමාණවත් ලෙස සිදු නොවීම, 2006/2007 කාලසීමාවේ නඩත්තු සේවකයන් විශ්‍රාම යාම සහ 2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අමුණේ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස අඩාල වී තිබිණි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වත්මන් රජය හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය එක්ව මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ප්‍රදේශවාසී ගොවි ජනතාව සිය සතුට සහ ප්‍රසාදය පළ කළහ.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු වාරි ජල කළමනාකරණය වඩාත් විධිමත්ව සිදු කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සැලකිය යුතු දායකත්වයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සංවර්ධනයට නව ශක්තියක් ලබාදෙන ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළ...
02/08/2026

මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කෘෂිකාර්මික සංවර්ධනයට නව ශක්තියක් ලබාදෙන ඓතිහාසික ඉල්වත්ත අමුණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර අද (02) නිල වශයෙන් ආරම්භ කෙරිණි. දශක ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දුන් වාරි ජල ගැටලුවට දිගුකාලීන විසඳුමක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සමාරම්භක උත්සවයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එච්. එම්. අබේවික්‍රම මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා ඇතුළු දේශපාලන අධිකාරිය සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම් මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 594.3 ක මුදලක් වෙන් කර ඇති අතර, මාස 20 ක කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 57,000 කට අධික ජනතාවට සහ 8,000 කට අධික ගොවි ජනතාවට සෘජු හා වක්‍ර ප්‍රතිලාභ හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1952 වර්ෂයේ ඉදිකරන ලද ඉල්වත්ත අමුණ මඟින් මාතර දිස්ත්‍රික්කයේ බොරාල, පලල්ල, ජඹුරගොඩ බටහිර, ජඹුරගොඩ නැගෙනහිර, වැලිපිටිය, පාදිලි කොක්මාදුව, සහබන්දු කොක්මාදුව සහ නලවන යන ග්‍රාම නිලධාරී වසම්වලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ හොරදුගොඩ, ඇල්ලලගොඩ සහ කෝදාගොඩ යන ප්‍රදේශවලටත් වාරි ජලය සැපයෙයි. ඒ හරහා අක්කර 3,000 කට අධික කුඹුරු යායක් සහ කොරටු අක්කර 62 ක වගාවන් සිදුකරන ගොවි පවුල් 2,000 කට ආසන්න සංඛ්‍යාවක ජීවනෝපායට මෙය මූලික ආධාරකයක් වී තිබේ.

1987 වසරේදී පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව නඩත්තු කටයුතු ප්‍රමාණවත් ලෙස සිදු නොවීම, 2006/2007 කාලසීමාවේ නඩත්තු සේවකයන් විශ්‍රාම යාම සහ 2017 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් අමුණේ ක්‍රියාකාරීත්වය බරපතළ ලෙස අඩාල වී තිබිණි. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වත්මන් රජය හා ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය එක්ව මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ප්‍රදේශවාසී ගොවි ජනතාව සිය සතුට සහ ප්‍රසාදය පළ කළහ.

මෙම ව්‍යාපෘතිය නිමවීමෙන් පසු වාරි ජල කළමනාකරණය වඩාත් විධිමත්ව සිදු කිරීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් සැලකිය යුතු දායකත්වයක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ 38 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (28) ගාල්ල ජෙට්වින් ලයිට්හවුස් හෝටලයේ...
02/08/2026

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ 38 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා (28) ගාල්ල ජෙට්වින් ලයිට්හවුස් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

සාමාජික සාමාජිකාවන්, අනුග්‍රාහකභවතුන්, ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය, ගාල්ල දිස්ත්‍රික්කයේ වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රමුඛතම සම්මේලන අවස්ථාවක් ලෙස විශේෂ අවධානයට ලක්විය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතා, හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් හර්වින්දර් සිං මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතා ඇතුළු රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාවේ ප්‍රමුඛයන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ ආරාධිත පිරිසක්ද ඊට එක්ව සිටියහ.

මෙම අවස්ථාවේදී සමාජය, ආගමික, සෞඛ්‍ය හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි දිගුකාලීනව විශිෂ්ට සේවාවක් ඉටු කරමින් ප්‍රජාවගේ යහපත උදෙසා කැපවූ පුද්ගලයන් තිදෙනෙකු විශේෂ සම්මාන හා උපහාර මඟින් ඇගයීමට ලක් කිරීමද උත්සවයේ සුවිශේෂී අංගයක් විය.

එහිදී ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කිරීම, අධ්‍යාපනික හා සමාජීය මෙහෙවර උදෙසා ඉටු කළ අනූපම සේවය වෙනුවෙන් දර්ශනපති ශ්‍රී අතිගෞරවාර්හ කණුමුල්දෙණියේ චන්දවිමලාභිධාන මහ නාහිමිපාණන් වහන්සේ උපහාරයට පාත්‍ර වූහ. එමෙන්ම ගාල්ල සමූපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතා සහ ප්‍රකට ව්‍යාපාරික ගෝවින්ද වැලිවිටිය මහතා ද සිය ක්ෂේත්‍රයන්හි ඉටු කළ සුවිශේෂී සේවාව හා සමාජයට ලබාදුන් දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් කෙරිණි.

ලංකා බැංකුව සහ Fairway Holdings ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කළ මෙම වාර්ෂික උත්සවය සම්මාන ප්‍රදානය, ඇගයීම් සහ සුහද හමුවීම්වලින් වඩාත් වර්ණවත් වූ අතර, රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් මංසලකුණක් බවට පත්විය.

ගාල්ල කිතුලම්පිටිය මහා විද්‍යාලයේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කරන ලද "කලා සංකලන 2026" සෞන්දර්ය ප්‍රදර්ශනය පසුගියදා (27)...
01/08/2026

ගාල්ල කිතුලම්පිටිය මහා විද්‍යාලයේ සෞන්දර්ය අංශය මඟින් සංවිධානය කරන ලද "කලා සංකලන 2026" සෞන්දර්ය ප්‍රදර්ශනය පසුගියදා (27) දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

සිසු දරු දැරියන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නැංවීම, ශ්‍රී ලාංකීය සම්ප්‍රදායික කලා උරුමය නව පරපුරට හඳුන්වාදීම සහ සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

ප්‍රදර්ශනය තුළ චිත්‍ර හා මූර්ති නිර්මාණ, නර්තන රංග උපකරණ හා රංග වස්ත්‍රාභරණ, රංග වාද්‍ය භාණ්ඩ, ශාන්ති කර්ම සැරසිලි, බතික් නිර්මාණ ඇතුළු විවිධ කලා අංග මහජනතාවගේ නැරඹීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ අතර, රූකඩ කලාව, වෙස් මුහුණු නිර්මාණ, මැටි භාණ්ඩ, බීරළු කර්මාන්තය සහ ලාක්ෂා නිර්මාණ පිළිබඳ එම ක්ෂේත්‍රවල නියුතු ශිල්පීන් විසින් ප්‍රායෝගික දැනුවත් කිරීම් ද සිදු කරන ලදී.

එමෙන්ම සිසුන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් මිලදී ගැනීමේ අවස්ථාවද ප්‍රදර්ශනයට පැමිණි අමුත්තන් සඳහා සලසා තිබුණි.

ප්‍රදර්ශනය නිරීක්ෂණය කළ දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්, සිසු දරු දැරියන්ගේ කලා කුසලතා සහ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කළ අතර, ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වෙමින් ඔවුන්ගේ අනාගත කලා දිවිය සඳහා සිය සුබාශිංසන එක් කළේය.
මෙම අවස්ථාවට ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු දරු දැරියන් සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ආසියාවේ හා ශ්‍රී ලංකාවේ පැරණිතම මෙතෝදිස්ත පාසල ලෙස සැලකෙන ගාල්ලේ පාසල ආරම්භ කර වසර 212ක් සපිරීම සහ එහි නිර්මාතෘ වූ බෙන්ජ...
31/07/2026

ආසියාවේ හා ශ්‍රී ලංකාවේ පැරණිතම මෙතෝදිස්ත පාසල ලෙස සැලකෙන ගාල්ලේ පාසල ආරම්භ කර වසර 212ක් සපිරීම සහ එහි නිර්මාතෘ වූ බෙන්ජමින් ක්ලොෆ් දේවගැතිතුමා සිහිපත් කිරීම නිමිත්තෙන් විශේෂ අනුස්මරණ උත්සවයක් ගාල්ල රිච්මන්ඩ් කන්ද මෙතෝදිස්ත දේවස්ථානයේදී ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරටියේ නන්ද නාහිමියන් විසින් පවත්වන ලද අතර, අධ්‍යාපනය, සදාචාරාත්මක වටිනාකම් සහ සමාජ මෙහෙවර උදෙසා මෙතෝදිස්ත අධ්‍යාපන සම්ප්‍රදාය ඉටුකර ඇති අමිල දායකත්වය එහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමා සිය අදහස් දක්වමින්, තමන් ද මෙතෝදිස්ත පාසලක ආදි ශිෂ්‍යයෙකු බව සඳහන් කළ අතර, මෙතෝදිස්ත අධ්‍යාපන ක්‍රමය මඟින් විනය, සමාජ වගකීම, මානව දයාව සහ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට ලැබුණු දායකත්වය ඉතා ගෞරවයෙන් සිහිපත් කළේය. එමෙන්ම, සියවස් දෙකකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට හා ජාතික සංවර්ධනයට මෙම පාසල ඉටුකර ඇති සේවාව ද ඇගයීමට ලක් කළේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අවීන්ද්‍ර ජයවර්ධන මහතා, බෙන්ජමින් ක්ලොෆ් දේවගැතිතුමාගේ අධ්‍යාපනික දර්ශනය සහ මෙරට අධ්‍යාපන ඉතිහාසයට ඔහු සිදු කළ සුවිශේෂී මෙහෙවර පිළිබඳ සවිස්තරාත්මක දේශනයක් පැවැත්වීය. එහිදී ඓතිහාසික ඡායාරූප සහ ලේඛන මඟින් 1814දී ආරම්භ වූ "ගාල්ලේ පාසල" 1882 වසරේදී "රිච්මන්ඩ් විද්‍යාලය" ලෙස නම් කරන ලද ආකාරයද පැහැදිලි කරනු ලැබීය.

මෙම උත්සවයට ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සහ ටී. කේ. ජයසුන්දර මහතා, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ දකුණු පළාත් සම්බන්ධීකාරක සංජය ධනුෂ්ක මහතා, ගාලු උරුමය පදනමේ සභාපතිතුමාගේ නියෝජිතයා ලෙස එහි අධ්‍යක්ෂ අසංග ධර්මදාස මහතා, ආගමික නායකයන්, ආරාධිත අමුත්තන්, ආදි ශිෂ්‍යයන් සහ විශාල පිරිසක් එක්ව සිටියහ.

INFORMATICS INSTITUTE OF TECHNOLOGY (IIT - Galle Regional Centre) ආයතනයේ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශනය යටතේ පාසල් සිසු ද...
31/07/2026

INFORMATICS INSTITUTE OF TECHNOLOGY (IIT - Galle Regional Centre) ආයතනයේ මඟපෙන්වීම හා තාක්ෂණික උපදේශනය යටතේ පාසල් සිසු දරුදැරියන් විසින් නිර්මාණය කරන ලද නවෝත්පාදන මෘදුකාංග විශේෂ ප්‍රදර්ශනය දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) ගාල්ල නගර ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

පාසල් සිසුන්ගේ තාක්ෂණික නිර්මාණශීලීත්වය, නවෝත්පාදන හැකියාවන් සහ ගැටලු සඳහා ඩිජිටල් විසඳුම් නිර්මාණය කිරීමේ දක්ෂතාවය සමාජයට හඳුන්වාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම ප්‍රදර්ශනය සඳහා දකුණු පළාතේ පාසල් රැසක් සහභාගී වූ අතර, සිසුන් විසින් සකස් කරන ලද විවිධ මෘදුකාංග, ජංගම දුරකථන යෙදවුම් (Mobile Applications), වෙබ් පද්ධති සහ නවීන තාක්ෂණය පදනම් කරගත් ව්‍යාපෘති රැසක් මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

මෙහිදී එක් එක් පාසල විසින් නිර්මාණය කරන ලද මෘදුකාංග සහ ඒවායේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ දකුණු පළාත් ආණ්ඩුකාරතුමන්, සිසු දරුදැරියන් සමඟ සුහද සංවාදයක නිරත වෙමින් එම නිර්මාණවල අරමුණු, භාවිත කරන තාක්ෂණය, සමාජයට හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදිය හැකි ප්‍රයෝජන මෙන්ම ඉදිරියේදී ඒවා වාණිජ මට්ටමට හෝ රාජ්‍ය සේවාවන් සඳහා යොදා ගැනීමේ හැකියාව පිළිබඳවද විමසීය.

එහිදී පැමින සිටි නිලධාරීන් සමග සුහද පිරිසඳරක නිරත වූ ආණ්ඩුකාරතුමන් ප්‍රකාශ කලේ තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය වේගයෙන් දියුණු වන වර්තමාන යුගයේ පාසල් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් දිරිගැන්වීම ජාතික සංවර්ධනයට ඉතා වැදගත් වන බවයි. මෙවැනි වැඩසටහන් මඟින් සිසුන් තුළ නවෝත්පාදන චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ තාක්ෂණික නායකත්වය වර්ධනය වන බවද, අනාගත ශ්‍රී ලංකාව තාක්ෂණයෙන් බලගැන්වූ රටක් බවට පත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් විශාල ශක්තියක් වන බවද එතුමන් පවසා සිටියේ ය.

මෙම ප්‍රදර්ශනය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ. චන්ද්‍රලාල් මහතා, ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා, INFORMATICS INSTITUTE OF TECHNOLOGY (IIT) ආයතනයේ ප්‍රධානීන්, ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, සිසු දරුදැරියන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Address

Lower Dickson Road
Galle
80000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Southern Province Governor's Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share