02/09/2026
ඊශ්‍රායලයේ වාණිජ හා සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය කරන මුලික සුදුසුකම්
ඊශ්‍රායල් රාජ්‍යයේ පහත සඳහන් කාර්යයන් ඉටු කිරීම සඳහා සුදුසුකම සහිත වෘත්තිකයන් තෝරා ගැනීමට අපේක්ෂා කරයි. (ඔබ පහත සදහන් කාර්යයන් කිහිපයන් සිදු කිරීමේ හැකියාව සහිත පුද්ගලයින් විය යුතුය)
- රෙදි සේදීම (Laundry Service)
- මස් කැපීම / මාළු කැපීම
- උද්‍යාන අලංකරණය
- අවන්හල් නොවන ආහාර ආයතන වල මුළු තැන්ගෙයි කටයුතු (උදා: නෙස්කැෆේ බාර්)
- ප්‍රතිචක්‍රීකරණ එකතු කිරීමේ සේවාවන්
- වෙලඳ සැල්වල භාණ්ඩ අතින් ඇසුරුම් කිරීම (උදා: Delis ආයතන)
- රාක්ක ගබඩා කරන්නන් සහ වෙලඳුන්
- පාර්සල් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් (පණිවිඩකරුවන්/ රැගෙන යන්නන්)
- ආහාර නිෂ්පාදන යන්ත්‍ර ක්‍රියා කිරීම (මුලික)
- ඇසුරුම් යන්ත්‍ර ක්‍රියා කිරීම (මූලික)
- භාණ්ඩ හසුරුවන්නන්/ භාණ්ඩ එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට රැගෙන යන්නන්
- පිරිසිදු කිරීමේ කාර්යයන්
1. වයස අවුරුදු 25 - 45 අතර පිරිමි / ගැහැණු විය යුතුය. (පීබා ආයතනය වෙත නම් යොමු කරන "NAME CHECK" අවස්ථාව වන විට උපරිම වයස අවුරුදු 45 සීමාව නොඉක්ම විය යුතුය)
2. සියලුම රටවල් සඳහා වන වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකික අයදුම්කරුවෙකු විය යුතුය.
3. ඉංග්‍රීසි භාෂා දැනුම (ඉංග්‍රීසි බසින් සන්නිවේදනය කිරීමේ හා කියවීමේ හැකියාව තිබිය යුතුය) අයදුම්කරු සතුව SLFBE ඉංග්‍රීසි භාෂා සහතිකය හෝ ඊට සමාන / ඉහල සුදුසුකම් සහිත පිලිගත් ආයතනයකින් ලබාගත් සහතිකයක් තිබීම. මෙහිදී අයදුම්කරු හට ද්වීතියික මට්ටමේ ඉංග්‍රීසි භාෂා හැකියාව තිබීම සලකා බලනු ලබයි.
4. අවම වශයෙන් වසර 10 ක කාල සීමාවක් පාසල් අධ්‍යාපනය ලබා තිබිය යුතුය.
5. අයදුම්කරුවන් මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර නොමැති අයෙකු විය යුතුය.
6. අයදුම්කරුගේ කලාත්‍රයා, දෙමව්පියන්, දරුවන් හා සහෝදර/සහෝදරියන් ඊශ්‍රායලයේ සේවය කරමින් හෝ පදිංචිව නොසිටිය යුතුය. (මෙම අදාල තත්වයන් යටතේ එරට පදිංචිව සිටිය හොත් අයදුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පීබා ආයතනය සතුය)
7. අයදුම්කරැවන් දැඩි ශ්‍රම සැපයීමකට, ශාරීරිකව හා මානසිකව යෝග්‍ය වීම හා බර ඉසිලීම සහ දිගු වේලාවක් සිටගෙන සිටීමත්, ඇවිදීමත් ඇතුළු ඊශ්‍රායලයේ දුෂ්කර කාර්යයන් කිරීමට හැකියාවක් තිබිය යුතුය.
8. මනා මානසික සහ ශාරීරික නිරෝගීතාවයෙන් යුක්ත විය යුතු අතර, ආහාර හෝ පිරිසිදු කාරක ආසාත්මිකතාවන් නොමැති අයෙකු විය යුතුය. ක්ෂය රෝගය, හෙපටයිටීස් බී සහ සී, එච්. අයි. වී/ඒඩස් හෝ වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැනි බෝවන රෝග නොමැති අයෙකු විය යුතු අතර, නිදන් ගතරෝග පිළිබඳ ඉතිහාසයක් හෝ රෝග ලක්ෂණ නොමැති අයෙකු විය යුතුය.තවද මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතය පිළිබඳ ඉතිහාසයක් නොමැති අයෙකු විය යුතුය.
9. ශ්‍රී ලංකාව තුල චෝදනා වලින් තොර පිරිසිදු පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය. ( අයදුම්කරු මාස 6 කට වැඩි කාලයක් විදේශ ගතව සේවය කර ඇත්නම් එම සේවය කළ රටෙන් චෝදනා වලින් තොරව සේවය කළ බවට සඳහන් පොලිස් වාර්තාවක් සාක්ෂියක් ලෙස ඊශ්‍රායල පාර්ශවය ඉල්ලීම් කළ හොත් එය ලබා දීමට හැකි විය යුතුය) තවද මත්ද්‍රව්‍ය / මත්පැන් භාවිතය පිලිබඳව ඉතිහාසයක් නොතිබිය යුතුය.
10. බඳවා ගැනීමේදී ඊශ්‍රායලයේ ජනගහණ, සංක්‍රමණික හා දේශසීමා ආයතනය (PIBA) විසින් ඉල්ලුම් කරනු ලබන නිර්ණායක සම්පූර්ණ කළ යුතුය.
11. අයදුම්කරුවන් ඉහත සදහන් කල ක්ෂේත්‍රයන්ට අදාල සේවා පලපුරුද්ද ලබා තිබිය යුතුය.
12. ඊශ්‍රායල් පාර්ශවය මඟින් ඉල්ලුම් කරනු ලබන ඕනෑම වෛද්‍ය පරීක්ෂණයකට හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට අයදුම්කරු එකඟ විය යුතුය.
13. අයදුම්කරුගේ ඥාතියෙකු ඊශ්‍රායලයේ නීත්‍යානුකූල නොවන ආකාරයට හෝ වෙනත් ආකාරයකට රැදී සිටීමට අදහස් කර හෝ අදහස් කරමින් නොසිටිය යුතුය. (එමෙන්ම ගිවිසුම් කාලසීමාව අවසානයේ ඊශ්‍රායලයෙන් පිටව යා යුතුය)
14. ඊශ්‍රායල් පාර්ශවය මඟින් දැනුම් දෙන ඕනෑම කාර්‌යක් ඉටු කිරීමට බැඳී සිටි යුතුය.
15. ඊශ්‍රායලයේ රැකියා සඳහා කුමන හෝ ක්ෂේත්‍ර (Sector) දෙකක් යටතේ මීට පෙර අයදුම් කර ඇති පුද්ගලයන් නැවත අයඳුම් කිරීම සඳහා සුදුසුකම් නොලබයි.
16. අවම මාසික වැටුප NIS 6,247.67
17. සම්පුර්ණ කොන්ත්‍රාත් කාල සීමාව මාස 63 වේ.
18. එම මුලික සුදුසුකම් පරීක්ෂණ කාර්යාංශයේ දිස්ත්‍රික් හා පළාත් කාර්යාල වෙතින් සිදු කරනු ලබන අතර සම්මුක පරීක්ෂණය සදහා SMS පණිවිඩයක් මගින් කැදවීම් සිදු කෙරේ.
19. මුලික පරීක්ෂණය සමත් අයදුම්කරුවන් පුර්ව ශාරීරික යෝග්‍යතා සහ කුසලතා පරීක්ෂණය යොමු කරනු ලබන අතර එම පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන්ගේ නම් පමණක් PIBA ආයතනය වෙත නම් යොමු කරනු ලැබේ.
20. එම අවසන් කුසලතා පරීක්ෂණයෙන් සමත් වන අයදුම්කරුවන් PIBA ආයතනය විසින් පවත්වනු ලබන ලොතරැයිය සඳහා ඇතුළත් කරන අතර ඉන් තේරී පත් වන අය පමණක් රැකියා අවස්ථා සඳහා සුදුසු කම් ලබයි. තේරී පත් නොවූ අයදුම්කරුවන් PIBA ආයතනය විසින් ඉදිරි කටයුතු සඳහා සළකා බලනු නොලැබේ.
වෙබ් සබැදිය අයදුම් කිරීමට, මූලික සම්මුඛ පරීක්ෂණ, කුසලතා පරීක්ෂණ සහ ලොතරැයි ක්‍රමවේද ඔස්සේ තෝරා ගැනීම වැනි කිසිදු කරුණක් සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ගෙවීම සිදු නොකල යුතු අතර, කාර්යංශය විසින් ඔබව දැනුවත් කර අයකරනු ලබන සේවා ගාස්තු සහ කාර්යංශ ලියාපදිංචි ගාස්තු පමණක් ගෙවීමට සෑම අයඳුම්කරුවකුම වගබලා ගතයුතුය. එමෙන්ම සියළුම අනුමත ගෙවීම් සඳහා කාර්යාංශය විසින් ලදු පතක් නිකුත් කරනු ඇත.
Israel Web Portal -
https://services.slbfe.lk/Israel/WebPortal_Home
සැලකිය යුතුයි.
- හැදුනුම්පත් අංකය හා ගුවන්ගමන් බලපත්‍ර අංකය නිවැරදිව පරික්ෂාකර ඇතුලත් කරන්න.